තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 අගෝස්තු 22, අඟහරුවාදා 11:39

විඩාබර මුහුණට තෙල් සත්කාරයක වැදගත්කම විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(1 මනාපය)
මවක, බිරියක, ගෘහණියක ආදී වශයෙන් විවිධ භූමිකා කිහිපයක කටයුතු කරන කාන්තාව වූකලී වර්තමානයේ දී නම් අතිශය කාර්යබහුල තැනැත්තියකි. එදිනෙදා ජීවිතයේ දහසක් කටයුතු මැද කාලය ගතකරන ඇයට සිය රුව පිළිබඳ සැලකිලිමත් වන්නට කාලවේලාවක් නොමැති තරම්.

 

 

දින කිහිපයකට වරක් ස්නානය කිරීමත්, දිනපතා මුහුණ, ඇඟපත සෝදා පිරිසුදු කරගැනීමත් හැරුණුවිට වෙනයම් සත්කාරයක් සිය රුව වෙනුවෙන් ලබාදෙන කාන්තාවන් ඇත්තේ සීමිත පිරිසකි. නමුත් දිනපතා, සතිපතා, මාස්පතා ආදී වශයෙන් ක්‍රමානුකූලව සත්කාර කරමින් සිය රුව රැකගන්නට ඔබ උත්සාහ නොගතහොත් ඔබටත් හොරා ඔබේ වියපත් පෙනුම මතුවීම වළක්වා ගත නොහැකියි.

 

මුහුණ

මුහුණ කාන්තාවකගේ සුන්දරත්වය ලොවට හෙළිකරනා කැඩපතයි. නමුදු බොහෝ කාන්තාවන් මුහුණේ සොඳුරුබව වෙනුවෙන් සිදුකරනුයේ තම පහසුව තකා යම් ආලේපනයක් තැවරීම පමණකි. නමුදු මුහුණේ සුන්දරත්වය ඔප් නැංවීම උදෙසා කළහැකි සත්කාර බොහොමයක් ආයුර්වේදයේ සඳහන්වන අතර තෙල් සත්කාරය සමඟ සිදුකරන සම්බාහනය ඒ අතරින් ප්‍රධාන වේ.

 තෙල් සත්කාරය

සාමාන්‍යයෙන් හිසට කළ තෙල් සත්කාරය නිසා හිසට සහ මනසට ලැබෙන්නා වු සහනය, සැහැල්ලුව ඔබ අත්විඳ තිබුණද මුහුණට කළහැකි තෙල් සම්බාහනයක් පිළිබඳ අසා නොතිබෙන්නට ඇති. නමුත් තෙල් සත්කාරයක් හරහා ඔබේ මුහුණට හොඳ පෝෂණයක් සමඟ වාසි රැසක් ද අත්කරගත හැකියි.

දවස පුරාම විඩාබරව සහ තෙහෙට්ටුවට පත් ඔබේ මුහුණ සෝදා පිරිසුදු කිරීම සහ විවිධ ආලේපන ගැල්වීමට අමතරව මෙම තෙල් සත්කාරය කළහැකිනම් එය ඉතා අනර්ඝයි.

 

තෙල් වර්ග

මුහුණට තෙල් භාවිත කිරීම මඟින් කුරුලෑ ආසාදන ආදිය ඇතිවේවි යැයි ඇතැම්විට ඔබ බියපත් වනවා නොඅනුමානයි. නමුත් ඔබේ සමට ගැළපෙන තෙල් වර්ගයක් තෝරා ගැනීම සහ සුදුසු ඖෂධ එම තෙල් සමඟ මිශ්‍රකිරීම හරහා එවැනි තත්ත්වයක් ඇති නොවේවි.

ආයුර්වේදයට අනුව තෙල්වල ගුණය අතිමහත්ය. ශක්තිමත්, රළු දණ්ඩක් වුවද තෙල් යෙදීම හරහා නම්‍යශීලී කරගත හැකි බව සඳහන් වේ. ඒ නිසා ඔබේ මුහුණෙහි සම කෙබඳු ආකාරයක සමක්දැයි සොයා බලා ඒ අනුව ඊට සුදුසු තෙල් වර්ගය තෝරාගත හැකියි.

 සමෙහි ස්වභාවයට තෙල්

ඔබේ මුහුණෙහි සිදුවන රැලි වැටීම්, එල්ලා වැටීම් ආදිය මෙන්ම වියළි ස්වභාවයට ද මෙම තෙල් සම්බාහනය ඉතා අපූරුයි. මෙහිදී සමට ගැළපෙන තෙල් ගල්වා නිවැරැදිව සම්බාහනය කිරීම ඉතා වැදගත්.

ඔබට හිමිව ඇත්තේ තරමක් තද ස්වභාවයක, රළු සමක් නම් මඳක් තදින් තෙල් ගැල්වීම සුදුසු අතර එය ආයුර්වේදයේ මර්ධනය කිරීම ලෙස හැඳින්වේ. එහෙත් තද ගතිය අඩු සාමාන්‍ය සමකට එලෙස තදින් තෙල් ගැල්වීම අවශ්‍ය නොවන අතර එයට සාමාන්‍ය ලෙස තෙල් ගැල්විය හැකියි. ඉතා මෘදු, මොළොක් සමක් හිමි මුහුණට මෘදු තෙල් ගැල්වීමක් සහ මෘදු සම්බාහනයක් ප්‍රමාණවත් වේ.

 වැදගත්කම

මෙලෙස මුහුණට සිදුකරනා තෙල් ගැල්වීම් සහ සම්බාහන නිසා ඔබේ මුහුණේ විඩාබර ස්වභාවය ඉවත් වී ප්‍රබෝධමත් බවක් නිතැතින්ම ගලා ඒවි. සමේ අපිචර්මය ඔස්සේ සමට ඇතුළුවන මෙම තෙල නිසා සමේ තැම්පත් වී ඇති විස සහිත කොටස් ද ඉවත් වේ. එමනිසා සම ඇතුළාන්තයෙන්ම පිරිසුදු වේවි.

ඊට අමතරව ඔබේ මුහුණ උණුසුම් වේ. මුහුණෙහි රුධිර සංසරණය උත්තේජනය වේ. සමට මනා තෙතමනයක් ලැබීම හරහා සමේ වියළි ස්වභාවය වළක්වා ගතහැකියි. මුහුණෙහි මාංශපේශීන් හී ආතතිය දුරලමින් ඔබේ මනසෙහි ප්‍රසන්නතාවය ඇති කරයි. රෝම කුප සහ ස්වේද ග්‍රන්ථ වඩාත් විශාල වීමත්, පිරිසුදුවීමත් හා ඒවායේ ක්‍රියාකාරිත්වය උත්තේජනයක් වීමත් මේ හරහා සිදු වේ.

 

උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා

892 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 11:40
අදහස් එක් කිරීමට ලොග් වෙන්න