තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 අගෝස්තු 29, අඟහරුවාදා 11:40

මේක් අප් කරනවා වගේම ඉවත් කිරීමත් වැදගත් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
මේක් අප් නිසා වැඩි දෙනකුට ඇතිවන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තැවරූ මේක්අප් හොඳින් ඉවත් කරගන්නේ කොහොමද කියන එක? මේක් අප් එකක් හරියට කරනවා වගේ මේක් අප් එකක් නිවැරැදිව ඉවත්කර ගන්නේ කොහොමද කියන එකත් සමහරුන්ට ගැටලුවක්.

 

එම නිසා ඒ පිළිබඳ දැනුවත් බවක් ලබාගැනීම ඔබට වඩාත් වැදගත් වේ යැයි අප සිතනවා.

මේක් අප් ඉවත් කිරීමේදී සමහරුන් ඉතා තදින් මුහුණ පිස දමනවා. අතුල්ලනවා. සම ඇදෙන ආකාරයට සෝදනවා. මෙන්න මේ දේවල් නිසා මුහුණේ සම ඇදීම, රැලි වැටීම, එල්ලා වැටීම වැනි තත්ත්වයක් මතුවෙන්නට පුළුවන්.

මේක් අප් කිරීමේදී එය නිවැරැදිව, ක්‍රමානුකූලව ඉවත් කළ යුත්තේ කොහොමද? අද අපි ඒ පිළිබඳ විමසා බලමු.

මේක් අප් ඉවත් කිරීමේදී පළමුව ඉවත් කළ යුත්තේ තොල් ආලේපනයි.

මෙහිදී තොල් පෙති තදින් පිසදැමීම නොකළ යුතුයි. මේ සඳහා තෙත පුළුන් කැබැලිවලින් තැවරූ තොල් ආලේපන ඉවත් කරගන්න. ඉන්පසු නැවතත් පුළුන් කැබැල්ලක් තෙමා පිස දමන්න. එවිට දෙතොලට හානියක් නොවන ආකාරයට මෘදුව තොල් ආලේපන ඉවත්කර ගත හැකියි.

මීළඟට අයිමේක් අප් එක ඉවත් කරන්නට සූදානම් වන්න. මේ සඳහා වඩාත් මෘදු ෆේස් වොෂ් එකක් භාවිත කරන්න. අයිමේක් ඉවත් කිරීමේදී ඉතාමත් සැලකිලිමත්ව, ආරක්ෂාකාරි ලෙස එය කිරීම වැදගත්.

මෙහිදී මුලින් වතුරින් පොඟවා ගත් පුළුන්වලින් ඇස් දෙක පිස දමන්න. ඉන්පසු වෙනත් පුළුන් කැබැල්ලක් ගෙන එයට ෆේස් වොෂ් එකෙන් ස්වල්පයක් දමා ඇස යට සිට උඩු අතට වන ආකාරයට ප්‍රවේශමෙන් පිස දමන්න.

අප ඇස්වල මේක් අප් ඉවත් කිරීමේදී වඩාත් කල්පනාකාරී විය යුත්තේ ඇස්වල ගල්වා ඇති අයි ෂැඩෝ, අයිලයිනර්, මස්කාරා තවරා තිබීමයි. මේ දේවල් නොසැලකිලිමත් ලෙස ඉවත් කරන්නට ගියහොත් ඒවා ඇස තුළට ගොස් යම් යම් හානිකර තත්ත්වයක් ඇතිවිය හැකි නිසයි.

නැවත පුළුන් කැබලි දෙකක් එකට එකතුකර සෙමෙන් උඩු අතට පිසදමන්න. මෙහිදී ෆේස්වොෂ් මෙන්ම ඩීප්ක්ලෙන්සර් එකක් වුවත් පෙර කී පරිදි භාවිත කරන්නට පුළුවන්.

එසේත් නැත්නම් දැන් ඒ සඳහා ඇති මේක් අප් රිමුවර් ක්‍රීම් වෙළෙඳසල්වලින් ලබාගන්න පුළුවන්.

මේක් අප් රිමුවර් ක්‍රීම් භාවිතයෙන් ගැල් වූ මේක් අප් අපට පහසුවෙන් ඉවත් කරගන්නට පුළුවන්. සමහරුන් ඇස් හැඩ ගැන්වීමේදී අයිලැෂස් (කෘත්‍රිම ඇස් පිහාටු) සවි කරගන්නට පෙලඹෙන අවස්ථා තියෙනවා. එසේ නම් ඔබ මෙහිදී අවධානයට ගතයුතු දෙයක් නම් අයිමේක් අප් ඉවත් කිරීමට ප්‍රථම අයිලැගස් ගලවා ඉවත් කළ යුතුවීමයි. මෙහිදී පුළුන් කැබැල්ලක් ගෙන එය ඇසෙහි ලයින් එක උඩ මඳක් තෙරපා ඉන්පසු අයිලැෂස් දෙක සෙමෙන් ගලවා ඉවත් කරන්න.

දැන් අප සූදානම් විය යුත්තේ මේක් අප් කිරීමේදී භාවිත කරන ලද ෆවුන්ඩේෂන් එක එනම් බේස් එක ඉවත්කර ගැනීමටයි. මෙහිදී මුලින්ම හොඳින් තෙමාගත් පුළුන් කැබලි දෙකක් ගෙන නිකටේ සිට උඩු අතට නළල ප්‍රදේශය දෙපැත්තට පිසදමමින් ඉවත් කරන්න.

ඉන්පසුව ෆේස්වොෂ් එක ගෙන එයත් ඒ ආකාරයටම නිකටේ සිට උඩු අතට ද කම්මුල් දෙපසට ද වන අයුරින් ඉවත් කරන්න.

3 වැනි අවස්ථාවේදී ක්ලෙන්සර් එකක් හෝ ඩීප්ක්ලෙන්සර් එකක් භාවිතකර මුළු මුහුණම ක්ලෙන්සර් කරගන්න.

මෙහිදී තදින් මුහුණ පිස දැමීමෙන් වැළකෙන්න. එවිට සම ඇදීමට ලක්වීමෙන් සම පීඩාවට පත් විය හැකියි.

මේ නිසා මුහුණේ ක්ලෙන්සර් හෝ ඩීප්ක්ලෙන්සර් තවරා ඉතාමත් මෘදුව පිරිමදිමින් තැවරූ ආලේපන ඉවත් කරන්න. ඉන්පසු ඔබට සුදුසු යැයි හැඟෙන ටෝනර් එකකින් භාවිත කරන්න.

මේක් අප් ඉවත් කිරීමට පුළුන් භාවිත කරන විට සමහරුන් එකම පුළුන් කැබැල්ලෙන් මුහුණ පිරිසුදු කරන්නට උත්සාහ කරන අවස්ථාවන් ද නැතුවා නොවේ. නමුත් කිසිම විටෙක මේක් අප් එක ඉවත් කරලීමක් කරන විට එකම පුළුන් කැබැල්ල භාවිත කිරීම සුදුසු වන්නේ නෑ. විශේෂයෙන්ම අයි මේක් අප් ඉවත් කිරීමේදී එකම පුළුන් කැබැල්ලක් යොදා ගනිමින් එය කිරීමට තැත් කිරීම කිසිසේත්ම සුදුසු දෙයක් නෙවෙයි. මේ සඳහා වෙන වෙනම පුළුන් කැබලි යොදා ගන්න.

පුළුන් වෙනුවට මේක් අප් ඉවත් කරලීමට අපට ස්පොන්ජ් භාවිත කළ හැකි අවස්ථා ද තිබෙනවා. මෙහිදී ෆේෂල් ස්පොන්ජ් දෙකක් භාවිත කිරිම අවශ්‍යයි. එම ස්පොන්ජ් දෙක තෙත මිරිකා ඉන්පසු එය ආධාර කරගෙන මෘදු ආකාරයෙන් මේක් අප් ඉවත් කළ යුතුයි. එම ස්පොන්ජ් භාවිත කළ පසු එය හොඳින් පිරිසුදු කර ශීතකරණය තුළ තබා නැවත භාවිත කිරීම සඳහා යොදාගත හැකියි.

නමුත් එක් අයකුට භාවිත කළ මෙම ස්පොන්ජ් තවත් අය සඳහා භාවිත කිරීම කිසිසේත්ම සුදුසු නොවේ. සමහරුන් එසේ කරන අවස්ථා තිබුණ ද එය මෙහිදී කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නොවේ.

දැන් බොහෝ විට සැලෝන්වලදී නම් මේ සඳහා පුළුන් පමණක් භාවිත කරන අතර එය භාවිතයෙන් පසු ඉවත දමයි. එය නැවත නැවත භාවිත කිරීමක් නොකරයි.

අපේ රුව ලස්සන කිරීම සඳහා යොදා ගනු ලබන සෑම දෙයක්ම ඉතාමත් පිරිසුදුව භාවිත කිරීමට මතක තබාගන්න. හේතුව රුව ලස්සන සමඟ අපගේ සෞඛ්‍ය සම්පන්න බවත් රැක ගැනීම ඉතාමත් වැදගත්වන දෙයක් නිසයි.

  උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ශිල්පී

සුරේෂ් ප්‍රනාන්දු

(දකුණු කොරියාව - තායිලන්තය - ඉන්දියාව පුහුණුව ලත්)

1344 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 29, අඟහරුවාදා 11:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න