තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 සැප්තැම්බර් 04, සඳුදා 14:55

ෂවර් ෂේප් මල් කලඹක අපූර්වත්වය විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
තමා සැබෑවටම මනාලියක් වෙමින් මල් කලඹක් අත දරා සිටින පිවිතුරු මොහොත ඊට වසර ගණනාවකට පසුව වුවත් සුන්දර මතකයන් රැසක් ආවර්ජනය කරන්නකි.

 

මංගල මල් කලඹක් නිර්මාණය කරන්න හැකිවීම, මල් සැකසුම් කලාව කෙරෙහි උනන්දුවක් ඇති කෙනෙක් සුවිශේෂී ජය ටැඹක් කරා ගෙන යන්නට සමත් වන්නකි.

මේ ෂවර් හැඩයේ මල් කලඹකි. එහි පැහැයන් කිහිපයකින්ම යුතු මල් යොදා තිබීමෙන් මනා වර්ණ සංකලනයක් එකතුව තිබේ. මල් කලඹක් නිර්මාණය කරන්නට යෑමේදී මනාලිය හැඩවැඩවන සාරිය, ආභරණ, ඇගේ සිරුරේ උස, මහත මෙන්ම දෙවැනි මනාලියන්ගේ ඇඳුමේ පැහැය පිළිබඳත් සිතන්නට සිදුවේ. ෂවර් හැඩයේ මල් කලඹක් උඩරට ක්‍රමයට ඔසරියකින් හැඩවැඩවුණු යුවතියකට කදිමට ගැළපේ.

මල් කලඹක් නිර්මාණය කිරිම තරමක් සංකීර්ණ කටයුත්තකි. එය පියවර කිහිපයකම එකතුවකි. එවන් මල් කලඹක් නිර්මාණය කරන්නට ඔබ දරන වෑයම අනුව එහි නිර්මාණශීලීත්වය ඉහළින්ම පවතීවි.

මේ සඳහා අවශ්‍ය වන්නේ

සුදු, රෝස හා ආමන්ඩ් පැහැති

රෝස මල්

ඕකිඩ් මල් සහ පොහොට්ටු

පැලනොප්සිස් ඕකිඩ් මල්

අයිවී කොළ

බේබිස් බ්‍රෙත්

මල් වර්ණ ගැන්වීමට ස්ප්‍රේ

මල් සැකසුම් සඳහා ගන්නා කොළ

පැහැති ටේප් එකක්

පුළුන්

ගේජ් 20, 22, 26 ප්‍රමාණයේ කම්බි

මල් කලඹ සාදන අයුරු

පළමුව රෝසමල් ටික ගෙන සියල්ල එකට එකතුකර නටුව කොටස එක ප්‍රමාණයට සිටින සේ කපා ගන්න. මලින් මලට පුළුන් තබා ගේජ් 26 කම්බිය රෝසමල් අතරින් හතර පැත්තට යවා කම්බිය නවාගෙන මල නොතෙමෙන පරිදි පුළුන් කෑල්ල පමණක් තෙමා ගන්න. දැන් මල් සැකසුම සඳහාම ගන්නා කොළ පැහැති ටේප් එකෙන් රූපයේ දිස්වෙන පරිදි ඔතා ගන්න. කම්බියක් මල තුළින් යැවීමෙන් පහසුවෙන් මල එහාට මෙහාට නැමිය හැකිවේවි.

ඕකිඩ් මල් සහ පොහොට්ටු මල් කිනිති වශයෙන් ගෙන ඒවා ද පෙර පරිදිම කම්බි දමා පුළුන් තබා ටේප් කරගන්න. ඒ ගේජ් 20 කම්බියෙනි. පැලනොප්සිස් මල් අත්තේ ගේජ් 26 කම්බිය යවා එලෙසම සකස්කර ගන්න.

අයිවි කොළ ද එසේම ඔතා ගත යුතු අතර ඒ සඳහා ගන්නේ ගේජ් 22 කම්බියයි. බේබිස් බෙ‍්‍රත් සඳහා ද ගේජ් 22 කම්බිය යොදා ගෙන පුළුන් තබා තෙත් කොට ටේප් කරගන්න.

ඕකිඩ් මල් සඳහා ආමන්ඩ් පැහැයත්, පොහොට්ටු අතරින් පතර ගෝල්ඩ් පැහැය ස්ප්‍රේ කළ යුතුවේ. රෝස පොහොට්ටු සඳහා ආමන්ඩ් පැහැය ස්ප්‍රේ කළ යුතුවේ.

ගෝල්ඩ් පැහැය ස්ප්‍රේ කළ පොහොට්ටු මල් කලඹේ පහළටම සිටින ලෙසත් ඒ අතරට රෝස පොහොට්ටුත් එක් කරන්න. මේවා පොළොවට එල්ලවන සේ සකස් කරයි. දැන් ඉහළට ඉහළට සිටින සේ රූපයේ දැක්වෙන පරිදි පැලනොප්සිස් මල්, රෝස මල් ඒ අතරට හිඩැස් ඉවත් කිරීම සඳහා (Filling Flowers) බේබිස් බ්‍රෙත් සහ අයිවී කොළ එකතු කරගන්න.

මල් කලඹේ ඉහළට වන්න පෝසී හැඩයට මල් ටික සකස් කළ යුතුවේ. අයිවී කොළ සහ බේබිස් බ්‍රෙත් ද එකතු කළ යුත්තේ ඒ අනුවයි. මෙහිදී කම්බි එකම පැත්තට කරකැවෙන සේ සකස් කළ යුතුය. නැතිනම් මනාලියට මල් කලඹ අතදරා සිටීම පහසුවක් නොවේවි.

මෙම මල් කලඹේ ප්‍රධානම මල් වර්ගය ලෙස සැලකෙන්නේ පැලනොප්සිස් මල්ය. එය කැපී පෙනෙන ලෙස සකස් කළ යුතුයි. ඒ අතරට ස්වභාවික රෝස මල් හා ස්පේ‍්‍ර රෝස මල් ද එකතු කරගන්න.

මල් කලඹේ පිටුපස දැක්වෙන ඡායාරූපය දෙස බලන්න. එයට අයිවී කොළ එකතු කිරීමෙන් නිම කොට ඇත. ඉන් මනා නිමාවක් මල් කලඹට එකතුවේ.

මේ මල් කලඹ මනාලියට බරින් වැඩි එකක් නොවිය යුතුයි. ස්වාභාවික මල් කලඹක් සාමාන්‍යයෙන් බරින් වැඩියි.

දැන් ඔබ මල් කලඹ නිර්මාණයේ සියලුම පියවරයන් අවසන් කොට හමාරයි. නිර්මාණශීලීත්වයෙන් අගතැන්පත්, මනා වර්ණ සංකලනයෙන් යුතු මේ මල් කලඹ මනාලියගේ රුව ගුණ තව තවත් ඔප් නංවන්නක් වීම නම් සිකුරුයි.

  විශේෂ ස්තූතිය

ලස්සන ෆ්ලෝරා අධිපති වෛද්‍ය

ලසන්ත මලවිගේ ට

1431 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 04, සඳුදා 14:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න