තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 ඔක්තෝබර් 31, අඟහරුවාදා 15:45

ෆේස් වොෂ් සහ ක්ලෙන්සර් පාවිච්චි කරන විදිය හරියටම හරිද? විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
සම පැහැපත් කරන්න, රුව ලස්සනට පවත්වාගන්න අප රූපලාවණ්‍ය ආලේපන පාවිච්චි කරන අවස්ථා නම් බොහෝමයි. අප මෙවන් ආලේපන භාවිත කරනවානම් එය අප භාවිත කරන්නේ කුමක් නිසා ද?

 

එය අපේ සමට හරියන එකක් ද ඉන් ලබාගත හැකි ප්‍රතිඵලය කෙබඳු ද යන්න ගැන දැනුවත් බවකින් යුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. නමුත් වැඩි දෙනෙක් මෙවන් ආලේපන භාවිත කිරීමේදී ඒ පිළිබඳව අඩු අවධානයකින් යුතුව කටයුතු කරන බව පෙනී යනවා. එය තමන්ගේ හිතුමනාපෙට භාවිත කරනවා හැරෙන්නට ඉහත කී කරුණු ගැන විමසා බලන අවස්ථා නැතිතරම්. ආලේපන භාවිතයේ නොදැනුවත්කම නිසා සමේ ගැටලුවලට මුහුණපාන අය බොහොමයි.

හැම ආලේපනයක් ම එකවගේ හැම කෙනකුටම ගැලපෙන්නේ නෑ. ෂැම්පු එකක්, ක්ලෙන්සර් එකක්, ෆේස්වොෂ් එකක් ගෙදර තිබෙන විට එය පවුලේ හෑම කෙනෙක්ම භාවිත කරන අවස්ථා තිබෙනවා. මෙය සුදුසු දෙයක් නෙමෙයි.

ඔබ භාවිතයට ගන්නා රූපලාවණ්‍ය ආලේපන පිළිබඳව සහ එය භාවිත කළයුතු නිවැරැදි ආකාරය පිළිබඳව අප ඔබ දැනුවත් කරන්නට සිතුවේ එම දැනුවත්බව ඔබට වඩාත් වැදගත්වන නිසයි.

බලන්න ඔබ තෝරාගන්නා මෙම රූපලාවණ්‍ය ආලේපන භාවිත කරන ආකාරය නිවැරදිද කියා.

ෆේස්වොෂ්

අද වැඩි දෙනෙක් ෆේස්වොෂ් භාවිතයට නැඹුරුවී සිටිනවා. සම මතුපිට තිබෙන කුණු දූවිලි ඉවත් කරන්නට භාවිත කරන ආලේපනයක්. මෙය ද බොහෝවිට සම අනුව තෝරාගත යුතු දෙයක්. උදා. වියළි සමක් තිබෙන අයෙක් වැරැදීමකින් තෙල් සහිත සමක් සඳහා සැකසුණු ෆේස්වොෂ් එකක් භාවිත කිරීම සුදුසු වන්නේ නෑ. හේතුව එය සකසා තිබෙන්නේ තෙල් සහිත සමක ඇති තෙල් ගතිය ඉතා හොඳින් ඉවත් කිරීමටයි. වියළි සමක් සඳහා මෙය භාවිත කළහොත් සමේ තැන්පත්ව ඇති තෙල් ප්‍රමාණය තව තවත් ඉවත් වී ගොස් සම ඉතාමත් වියළි තත්ත්වයකට පත්විය හැකියි. ඒ විතරක් නොවෙයි සමේ රැළි ගැසුණු ස්වභාවයක් ගෙනදීමට සහ වයසට වඩා වයසක පෙනුමක් ගෙනදීමට එය හේතුවනවා.

තෙල් සහිත සමක් තිබෙන කෙනෙක් වියළි සමක් සඳහා සැකසී ඇති ෆේස් වොෂ් එකක් පාවිච්චි කළහොත් සිදුවන්නේ කුමක් ද?

එය නිෂ්පාදනය කොට තිබෙන්නේ සමේ තෙල් ගතිය වැඩි වශයෙන් රැඳෙන ආකාරයටයි. මෙහිදී එය භාවිතයෙන් මුහුණේ කුරුලෑ සහ බිබිළි මතුවීමට එය හේතුවන්නට පුළුවන්. මෙවන් ආලේපන නිවැරැදිව තෝරා ගැන්ම කළයුත්තේ එමනිසයි.

සමහරුන් ෆේස්වොෂ් භාවිත කිරීමේදී එය අත්ලට වැඩි ප්‍රමාණයක් ගෙන කෙළින්ම මුහුණේ අතුල්ලමින් සෝදන අවස්ථා දක්නට පුළුවන්. මෙය සුදුසු ක්‍රමයක් හෝ නිවැරැදි ක්‍රමයක් නොවෙයි.

ෆේස් වොෂ් එකක් භාවිත කළ යුතු නිවැරැදි ආකාරය කුමක් ද?

පළමුවෙන් ම මුහුණ තෙත් කරන්න. ඉන් පසු ෆේස් වොෂ් බිංදු කීපයක් අත්ලට ගෙන වතුර බිංදු කීපයක් ද අල්ලට දමා හොඳින් පෙණගන්වා ගන්න. එම පෙණ මුහුණේ තවරන්න. මෙහිදී තනුක කරන ලද ෆේස් වොෂ් පමණයි අප මුහුණේ ආලේප කරන්නේ. එසේ නොමැතිව කෙළින්ම සම මත ෆේස් වොෂ් ගැල්වීම නොකළ යුතු දෙයක්. එසේ කිරීමෙන් එහි සැරගතිය වැඩිවීමක් වන්නට පුළුවන්.

අත්ලට ගත් ෆේස් වොෂ් එසේ පෙණ ගන්වා ගත් පසු මුහුණේ තවරා ඉතා සියුම් ආකාරයට උඩු අතට පිරිමැද සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. මේ ආකාරයට උදේ සහ සවස මුහුණ සේදීමේදී ෆේස් වොෂ් භාවිතය සුදුසුයි. ඊට අමතරව වැඩිවෙලාවක් පිටත රැඳීම නිසා කුණු දූවිලි ආදිය මුහුණේ තැන්පත්වී ඇතැයි සිතුණේ නම් එවන් අවස්ථාවල ෆේස් වොෂ් භාවිතකර මුහුණ පිරිසුදු කිරීම වැදගත්. විශේෂයෙන් ම තමන්ට තිබෙන්නේ කුමන ආකාරයේ සමක්ද යන්න ගැන දැනුවත් වී සිටින්නේ නම් ඒ අනුව ඔබේ සමට ගැළපෙන ආලේපනය නිවැරැදිව තෝරා ගැන්මට හැකියාව ලැබේවි.

ක්ලෙන්සර්

ක්ලෙන්සර් භාවිත කළයුත්තේ මොන ආකාරයෙන් ද?

නෝමල් ක්ලෙන්සර් සහ ඩීප් ක්ලෙන්සර් වශයෙන් දක්නට පුළුවන්. නෝමල් ක්ලෙන්සර් වශයෙන් ගැනෙන්නේ ෆේස්වොෂ් එකයි. ඉන් සම මතුපිට පමණක් පිරිසුදු කිරීමක් සිදුකෙරෙයි. ඩීප් ක්ලෙන්සර් යනු සම ගැඹුරට ම පිරිසුදු කිරීමයි.

ඩීප් ක්ලෙන්සර් මඟින් තමන්ගේ මුහුණේ ඇති රෝම කූපවල කා වැදී සිරවුණු අපද්‍රව්‍ය හොඳින් ඉවත් කරනවා. එවිට සමේ ඉතා පැහැදිලි බවක් ගෙනදෙන අතර කුණු දූවිලි ආදිය සමේ එකතු නොවීම නිසා කුරුලෑ බිබිලි ඇතිවීම වළක්වයි. ක්ලෙන්සර් එකක් භාවිත කිරීමේදී විශේෂිත ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. ඩීප් ක්ලෙන්සර් දමා සාමාන්‍යයෙන් පිරිමැදීමක් කිරීම අවශ්‍ය වන අතර සමේ තැන්පත් වූ කුණු දුවිලි ඉවත් කිරීමට මෙම පිරිමැදීම උපකාරී වෙයි.

ක්ලෙන්සර් කළයුතු නිවැරැදි ක්‍රමය කුමක්ද?

ඩීප් ක්ලෙන්සර් කිරීමේදී මාංශ පේශීන්ගේ පිහිටීම අනුව එය සිදුකරන්න. නිවැරැදි දිසාවන් අනුගමනය කරන්න. පළමු ව කළයුත්තේ ඇස් පිරිසුදු කිරීමයි. ඇස් වටා ඉතා සියුම් ආකාරයට මෘදුව පිරිමදින්න. මේ සඳහා පීඩනය අඩුම ඇඟිල්ල වන හතරවන ඇඟිල්ල භාවිත කරන්න. සියුම්ව සම පිහිටා තිබෙන්නේ ඇස්වටායි. එම නිසා ඇස් වටා තදින් පිරිමදිමින් ක්ලෙන්සර් කළහොත් ඇස් වටා ගිලීගිය ස්වභාවයක් දැක්විය හැකියි. ඇස්වටා ඉතාමත් සියුම් ලෙස ඇතුළු පැත්තට මෘදුව පිරිමදින්න. ඉන්පසු දෙතොල ක්ලෙන්සර් කරන්න. මෙහිදී කට වටේට පිරිමැදීමට යාම නොකළ යුතුයි. දෙතොල ක්ලෙන්සර් කරන විට ඇතුළු පැත්තට ක්ලෙන්සර් කරන්න. නළල ක්ලෙන්සර් කිරීමේදී රවුමට රවුමට පිරිමදින්න. නාසය ඇඟිලි දෙකින් පහළ අතටත් කම්මුල් පිටතට සහ උඩු අතටත් පිරිමදින්න. ඉන්පසු තෙත මිරිකූ පුළුන්වලින් ක්ලෙන්සර් කිරීමේදී අනුගමනය කළ දිසාවන්ට අනුව පිසදමන්න. ක්ලෙන්සර් කිරීමෙන් පසුව සාමාන්‍ය වතුරෙන් සෝදා හැරීම කළයුතුයි. මෙය ද සමේ ස්වභාවය අනුව තෝරාගැන්ම වැදගත්.

ලබන සතියේ ටොනර් සහ අයි ක්‍රීම් භාවිත කළයුතු නිවැරැදි ක්‍රමය කුමක් ද?

 

 

 

උපදෙස්-ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්වීනිතා කොතලාවල

සැලෝන්  Swini 

532 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 31, අඟහරුවාදා 15:48
අදහස් එක් කිරීමට ලොග් වෙන්න