තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 නොවැම්බර් 27, සඳුදා 14:20

හොඳින් ජීවත් වනවානම් අපට නරකක් වන්නේ නැහැ විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(1 මනාපය)
චාන්දනී බණ්ඩාර කියන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දිදුළන, බැබළෙන නාමයක්. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක් ම පමණක් නොව ඇය මෙරට තමන්ගේම රූපලාවණ්‍ය ආලේපන ව්‍යාපාරයක් පටන්ගත් ධෛර්වන්ත අපේ කාලයේ අභිමානවත් කාන්තාවකි.

 

4ever නම් වූ එම රූපලාවණ්‍ය ව්‍යාපාරය අදවන විට දෙස් විදෙස් ප්‍රචලිත ජනප්‍රිය වෙළෙඳනාමයක් වී හමාරයි.

චාන්දනි පහුගිය දවස්වල ලංකාවේ හිටියේ නෑ. කාලෙකට පස්සේ ඇය යළිත් මව්බිමට ඇවිත් සුපුරුදු විදිහට වැඩකටයුතුවල නියැලෙන්නට පටන් අරගෙන. ඒ අතරතුරයි අපි පුංචි කතාබහක යෙදුණේ.

ඉතින් කොහොමද තොරතුරු?

‘ජීවිතේ මල්’ ඇයගේ මුව පුරා පැතිරි යන මල් මල් හිනාව ඒ බව හොඳින් පසක් කරවයි. “මම හැමදේම හොඳින් කරන නිසා නරකක් නම් වෙලා නෑ.”

ඔස්ට්‍රේලියාව වගේ රටක අලුත් විදිහට අලුත් පරිසරයක ජීවත්වෙද්දී මොන ආකාරයේ හැඟීමක්ද ඇති වුණේ?

ඇත්තටම එහේ වැඩකටයුතුවල යෙදිලා ඉන්නකොට කාලය යනවා තේරෙන්නේ නෑ. ඔස්ට්‍රේලියාවේ අය හුඟක් හොඳයි. හුඟක් දේවල්වලට ඒ අය උදව් කරනවා. හොඳ සහයෝගයක් ලබාදෙනවා. එහේ අය ගත කරන්නේ හුඟාක් කාර්යබහුල ජීවිත. නමුත් මා දැක්ක දෙයක් තමයි මේ අය කාර්යයබහුල ජිවිත ගත කළත් හොඳින් ජීවිතේ සතුට විඳින බව. ඔවුන් හරියට විනෝද වෙනවා. සතුටු වෙනවා. ලංකාවේ අය වගේ ප්‍රශ්නවලින් පීඩාවට පත්වේවි ඉන්නේ නෑ.

ඒ කියන්නේ ඔබත් එහි ජීවිතේ වින්දා කියන එකද?

අනේ ඔව්. විවේක වෙලාවට මම කැමතිම සින්දු අහනවා. සින්දු කියනවා. මම වේග රිද්ම ගීතවලට හුඟාක් කැමැතියිනේ. ඩාන්සින්වලටත් කැමැතියි. ඒ නිසාම මම එහේ ඩාන්සින් ක්ලාස් එකකටත් ගියා.

ඔස්ට්‍රේලියාවල මම ඉන්න ගෙදර තියෙන්නේ බීච් එක ළඟ. හරිම සුන්දර පරිසරයක. ඉතින් මම දුවත් එක්ක බීච් එකට ගිහින් මගේ විවේක කාලය ගත කරනවා. ඇත්තටම ඒ කාලය ගත කළේ හරිම සතුටින්. ලංකාවේ නම් අපට උදව් කරන්න අය ඉන්නවා. නමුත් ඔස්ට්‍රේලියාවලදී අපි හැම දෙයක්ම තනියෙන් කරගන්න ඕන.

ඔස්ට්‍රේලියාවේ ඔබේ රූපලාවණ්‍යාගාරය තුළත් ඔබේ නිෂ්පාදන භාවිත කරන බවක් ඔබ සඳහන් කළා. කොහොමද අපේ ලංකාවේ නිෂ්පාදනවලට එහිදී ලැබෙන ප්‍රතිචාර?

හුඟාක් හොඳයි. එහෙ අය අපේ ශාකසාරවලට අපේ රූපලාවණ්‍ය නිෂ්පාදනවලට වගේම රූපලාවණ්‍ය සත්කාරවලට හරිම කැමැතියි. අපි දෙයක් හොඳයි කිව්වත් ඒ අය එය පිළිගන්නේ ඒ දේවල්වල සාර්ථකත්වය අත්හදා බලලයි. එහි විශ්වසනීය බව තහවුරු කරගත්තට පස්සෙ; ඒ අය අපේ නිෂ්පාදන වුණත් භාවිත කරන්නෙ. අපේ නිෂ්පාදන බොහෝමයක් දැන් ඔස්ට්‍රේලියාවේ හරිම ජනප්‍රියයි. ඒ වගේම හොඳ අලෙවියක් තියෙනවා. මට එය ලොකු ආඩම්බරයක්.

ලංකාවට පැමිණි දිනවල රුපලාවණ්‍ය ක්ෂේත්‍රයට කර ඇති මෙහෙය වෙනුවෙන් ඔබට ජනාධිපති සම්මානයක් හිමිවුණා නේද?

අනේ ඔව්. ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම හිමිවෙන්න ඕන ප්‍රේමසිරි හේවාවසම් මහතාට. ඇත්තෙන්ම මේ තාක්කල් රුපලාවණ්‍ය ශිල්පීන් කළ මෙහෙවර ගැන කවුරුවත් කතා කළේ නෑ. අගය කළෙත් නෑ. නමුත් රුපලාවණ්‍ය ශිල්පීන්ට ජනාධිපති සම්මාන ලබා දෙමින් ඔවුන්ට හිමි ගෞරවය ලබා දෙන්නට ඇගැයුමට ලක්කරන්නට මූලිකත්වය ගෙන කටයුතු කළ ප්‍රේමසිරි හේවාවසම් මහතාට රූපලාවණ්‍ය ශිල්පින්ගේ ගෞරවය හිමිවිය යුතුමයි.

පසුගිය කාල වකවානුව තුළදී ඔබ ආයතනය හා සම්බන්ධව කිසියම් ආකාරයක කසුකුසුවක් පැතිර ගියා. මොකද හිටිහැටියෙම ඒ වගේ ප්‍රශ්නයක් පැන නැගුණේ?

කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ඔස්ට්‍රේලියාවේ සැලොන් එක පටන්ගත්ත දවස්වල ඒ වැඩකටයුතුවලට මටත් ප්‍රියන්තටත් ටිකක් කාලයක් එහේ රැඳෙන්නට සිද්ධ වුණා. සමහරුන් විශ්වාස කරලා මෙහෙ සියල්ල භාරදී ගිය අයගේ වැරැදි ක්‍රියාකලාපයන් නිසා ඇතිවුණ ගැටලු තිබුණා. දැන් ඒ සියල්ල අපි නිරාකරණය කරගනිමින් යනවා.

මේ කාලය තුළදී අපට හැම දෙයක් ගැනම ඉතාමත් හොඳින් වටහාගන්නට හැකිවුණා. අනවශ්‍ය ආකාරයට මිනිසුන් විශ්වාස කිරීමට යාම නිසා ඒ අයට වගකීම් දීලා අපි ඒ විශ්වාසය මත ඔවුන් ගැන සොයා බැලීමක් නොකළ නිසා අපට යම්යම් පාඩු සිදුවුණා. එය අපට හොඳ පාඩමක්. නැවතත් එවන් දේ සිදුනොවන්න වගබලා ගන්නට අප දැන් කටයුතු කරනවා.

ලබන වසරේ ඔබ අලුත් වෙනස්කම් රැසක් කරන්නට බලාපොරොත්තු වන බව අපට දැනගන්නට ලැබුණා?

ඔව්. එක පැත්තකින් විතරක් නෙමෙයි පැති කීපයක්ම අරමුණු කරගෙන අප අලුත්ම ආකාරයකට ක්‍රියාත්මක වෙන්න සූදානමින් සිටිනවා. ඉදිරියේදී ලොකු වෙනසක් දකින්නට හැකිවේවි. ලබන වසරේ ඉඳලා හැම දෙයක්ම සාර්ථකව අලුත් විදිහට කරගෙන යන්නට අපි සැලසුම් කර තිබෙනවා. අපේ ඉදිරි ගමන දැන් ඉතාමත් පැහැදිලියි. හැම දෙයක්ම සුභ විදිහට සිදුවේවි.

ඔබේ සැමියාගෙන් ඔබේ ව්‍යාපාරික කටයුතු සඳහා ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද?

විශේෂයෙන්ම කියන්නට ඕන ප්‍රියන්ත හැම කටයුත්තක් ගැනම සොයා බලනවා. ව්‍යාපාරික කටයුතු ගැන ප්‍රියත්නට හොඳ දැනීමක් තියෙනවා. ඇත්තටම ප්‍රියන්තගෙන් ලැබුණු සහය මට මේ ගමන එන්න ලොකු ශක්තියක් වුණා.

ව්‍යාපාරික කාන්තාවක් හැටියට ඉදිරියට ආ ගමනේදි ඔබටත් යම් යම් අභියෝගවලට මුහුණ පාන්නට සිදුවන්නට ඇති?

ඇත්තෙන්ම ඔව්. බොහෝමයක් අභියෝග ජය ගන්නට මට සිදුවුණේ විවිධ දුෂ්කරතාවයන් මැද්දේ. මම මේ ගමනේදී කළ කැපකිරීම් බොහෝමයි. ව්‍යාපාරික කාන්තාවක් හැටියට මා ලබාගත් පන්නරය අති විශාලයි. මම අමාරුවෙන් ලබාගත් අත්දැකීම් පලපුරුද්ද තමයි අද මට ගුරුවරයෙක් වෙලා ඉන්නේ.

මාව අසාර්ථක කරන්න අධෛර්ය කරන්න මාව පහළට ඇදලා දාන්න, ඊර්ෂ්‍යා සහගතව කටයුතු කළ අය බොහොමයි. නමුත් අපි විදේශ රටකදී විදේශිකයින් සමඟ කටයුතු කරද්දී ඔවුන් අතර එවැනි පහත් මානසික තත්ත්වයක් නෑ. කවුරුවත් අපට ඊර්ෂ්‍යා කළා කියලා අපි ඒ අයත් එක්ක ගැටෙන්න අවශ්‍ය නෑ. අපේ පාඩුවේ අපේ දියුණුවට වැඩ කටයුතු කරගන්නත් අප උත්සාහ කරන්න ඕන.

අපි හොඳ දේ කරනවානම් හොඳින් ජීවත්වෙනවා නම් අපට කවදාවත් නරකක් වෙන්නේ නෑ. මම ආගම ධර්මය හොඳින් අදහන කෙනෙක්. බුදු දහම විශ්වාස කරන කෙනෙක්. මට ඊර්ෂ්‍යා කරන අයටත් මම යහපත ප්‍රාර්ථනා කරනවා.

 

 

 

ඡායා - ඉඳුනිල් සංජීව

3856 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 27, සඳුදා 14:21
අදහස් එක් කිරීමට ලොග් වෙන්න