තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 දෙසැම්බර් 11, සඳුදා 14:57

අද මේ කලාව මුදල්වලට යටවෙලා..

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
ගැහැනියකගේ රුවේ නියමාකාර සුන්දරත්වය දකින්නේ පිරිමි ඇසකි. මෙය බොහෝ දෙනාගේ මතයයි. එය සත්‍යයක් බව ගම්‍ය වන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට නැඹුරුව සිටින පුරුෂ පාර්ශවය දකින විටයි. අද බොහෝ තරුණයන් කේෂාලංකරණ හා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසිය ද මීට දශක තුන හතරකට පෙර තත්ත්වය වෙනස් ය.

 

ඒ කෙසේ වෙතත් එම යුගයේ දී ද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිස මේ වන විටත් තමාගේ තත්ත්වය තවමත් එකසේ රඳවාගෙන සිටිනා රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස තුසිත ඇතුගල හැඳින්විය හැකිය.

සෙංකඩගල පුරවරයෙන් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසි මේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියා පසුගිය දා ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ඉතිං කොහොමද තුසිත..?

මේ දවස්වල සතුටින් තමයි ඉන්නේ... මම දැනට නුවර රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමයේ සභාපති ලෙසින් කටයුතු කරනවා.. ඊට අමතරව පබා රූපලාවණ්‍ය සංගමයේ භාණ්ඩාගාරික විදියටත් කටයුතු කරනවා.

මුලින් ම ක්ෂේත්‍රයට ආවෙ කොහොමද කියලත් කියමු නේද?

මම මුලින් ම මල් එක්ක තමයි කටයුතු කළේ.. ඒ කියන්නේ ෆ්ලවර් ඩෙකරේෂන්. උත්සව අවස්ථාවලට මල් සැරසිලි කරන අතරතුර තමයි මට හිතුණේ රූපලාවණ්‍ය ගැනත් අධ්‍යාපනයක් ලබා ගත්තොත් හොඳයි කියලා.. මොකද මල් සැරසිලි, රූපලාවණ්‍ය එක ළඟින් තියෙන ක්ෂේත්‍ර දෙකක්නේ.. ඒ නිසා මම මුලින් ම නුගේගොඩ ඒෂියන් ලංකා ආයතනයෙන් රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරුවා.. ඉන් පස්සේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහයන්ගෙන් රූපලාවණ්‍ය ගැන ගුරුහරුකම් ලබා ගත්තා. එතුමා පන්ති පැවැත්තුවේ නැති වුණත් මට පෞද්ගලිකව රූපලාවණ්‍ය විෂය ගැන මම කරන දේවල්වල අඩුපාඩු පෙන්වා දෙමින් උපදෙස් ලබා දුන්නා.. මේ විදියට මම ක්ෂේත්‍රයට ආවේ 1990 වර්ෂයේ දී.

ඉතිං ඊට පස්සේ....

පස්සේ දේශීය විදේශීය තරගවලට සහභාගී වෙන්නත් ඒවායින් ජයග්‍රහණ ලබා ගන්නත් මට පුළුවන් වුණා. 1996 අවුරුද්දෙදී ‘රුවනි’ නමින් මධ්‍යම පළාතේ පැවැත්වූ මනාලියන් හැඩගැන්වීමේ තරගයකින් පළමු ස්ථානයත් සමස්ථ ලංකා තරගයෙන් සිව්වැනි ස්ථානයත් ලබා ගත්තා. රටපුරා පැවැත් වූ සන්සිල්ක් හෙයා බියුටි තරගවලින් පළමු ස්ථානයන් දිනා ගන්නත් මට හැකි වුණා. ඒ වගේම හෙයා ඒෂියා පැසිපික් තරගයේ දහ වැනි තැනට පත් වීමටත් හැකියාව ලැබුණා.

මේ අතරතුර මම ඕස්ට්‍රේලියාව, තායිලන්තය වගේ රටවලට ගොස් රූපලාවණ්‍ය ඩිප්ලෝමා පාඨමාලා හැදෑරුවා.. ඒවායින් මගේ දැනුම තව තවත් වැඩි දියුණු කරගත්තා..

දැනට මම නුවර රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා... ඒ වගේම ලංකාව පුරා පවත්වන වැඩමුළු සඳහා නොමිලේ මනාලියන් හැඩගැන්වීම, මල් කලඹ සැකසීම ආදිය ගැන දැනුම බෙදා දෙනවා.

තුසිතට මෑතක දී ලැබුණ කේෂාලංකරණ හා රූපලාවණ්‍ය ජනාධිපති සම්මානය ගැන මොනවගේ හැඟීමක් ද තියෙන්නේ?

ඇත්තට ම මට ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්. මොකද මෙතෙක් අපේ රටේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් ඇගයීමට කිසිම කෙනෙක් උනන්දු වුණේ නෑ. ඒ අතර වසර 25කට වඩා ක්ෂේත්‍රයේ ඉන්නා ප්‍රවීණ ශිල්පීන් ඇගයීමට ලක් කිරීම ගැන ක්ෂේත්‍රයේ හැමෝම සතුටු වෙන්න ඕනේ.. මේ වෙනුවෙන් මම ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම්ට හද පත්ලෙන් ම කෘතවේදී වෙනවා. මොකද ඔහු තමාට සම්මාන ලබා නොගෙන අනිත් අයගේ සේවය අගයන්න තරම් මහත්මා ගතිගුණ ඇති පුද්ගලයෙක්. ඒ වගේම ක්ෂේත්‍රයේ දියුණුව ගැන හිතන කෙනෙක්. බොහෝ අය තමා ගැනම විතරක් හිතමින් තමාගේ ලාභය ගැන පමණක්ම හිතන වෙලාවක ප්‍රේම් මේ වගේ දෙයක් කිරීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු දෙයක්. ඔහු හැම වෙලාවකම ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. ප්‍රේම් නොහිටින්න කවදාවත් අපිට ජනාධිපති සම්මාන කියලා දෙයක් ලැබෙන්නේ නෑ.

තුසිතගේ පවුලේ විස්තරත් දැන ගන්න අපි කැමතියි..

මගේ ජීවන සහකාරිය වගේම මගේ ව්‍යාපාරික සහකාරිය තමයි නිලංකා.. නිලංකා ඇතුගල ඇය තමයි මගේ ආදරණීය බිරිය. ඇයත් රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඒ නිසා හැම වෙලාවකම අපි දෙන්නා හොඳ සහයෝගයකින් වැඩ කරනවා. අපි විවාහ වුණේ යෝජනාවකින්. ඇය ඒ වෙනකොටත් රූපලාවණ්‍ය ගැන දැනුමක් සමඟින් හිටියේ. අපේ විවාහයත් ව්‍යාපාරයත් මේ තරම් සාර්ථක වුණෙත් අපි දෙන්නම එකම ක්ෂේත්‍රයක ඉන්න නිසා කියලයි මට හිතෙන්නේ..

අපි දෙන්නට දුවලා දෙන්නෙකුත් පුතෙකුත් ඉන්නවා. ඒ තුන් දෙනාම පාසල් අධ්‍යාපනය ලබනවා.

ඔබ රූපලාවණ්‍ය ශිල්පියෙක් වෙන්න ගත්ත තීරණේ ගැන දැන් තියෙන්නේ මොන වගේ හැඟීමක් ද?

ඇත්තට ම මට දැන් මම ගත්ත තීරණේ සාර්ථකයි කියලා හිතෙනවා. ඒ ගැන සතුටක් වගේම ලොකු තෘප්තියකුත් මම ලබනවා. රූපලාවණ්‍ය ශිල්පියෙක් වීමෙන් මට හිමි වුණ දේවල් බොහොමයි. ඒ හැමදේම මට ලැබුණේ මේ ක්ෂේත්‍රය නිසා...

මේ ක්ෂේත්‍රයට එන අලුත් පරම්පරාවට ප්‍රවීණයෙක් හැටියට දෙන උපදේශය...

අලුතෙන් ක්ෂේත්‍රයට පැමිණිලා ඉන්න ගොඩක් අය ප්‍රවීණයන්ට ගරු කරන්න දන්නේ නෑ.. එයාලා වැඩියෙන් තැන දෙන්නේ මුදල්වලට.

අපි තාමත් ප්‍රවීණයන්ට ගරු කරනවා. අද මේ කලාවත් මුදල්වලට යටවෙලා තියෙන බව තමයි පේන්නේ.. අපි මේ වෘත්තියේ නියැළුණේ අපෙන් සේවයක් ගන්න එන කෙනා සතුටු කිරීමෙනුයි, එහිදී මුදල්වලට මුල් තැන දුන්නේ නෑ. දැන් මේක රැල්ලක් වෙලා..

සංස්කෘතියට එහා ගිය දේවල් කරනවා.. වෙනත් රටවල දේවල් අමු අමුවේ කොපි කරනවා.. ඒවා අපේ රටට, අපිට කොයි තරම් ගැළපෙනවාද කියලවත් හිතන්නේ නෑ.. හරියට ඡායාරූප කලාවේ වගේ තමයි.

ඉස්සර මැනුවල් කැමරාවලින් ෆොටෝ ගත්තට දැන් හරිම ලේසියෙන් ඕනම කෙනෙක් ඩිජිටල් කැමරාවෙන් ෆොටෝ ගන්නවනේ.. දැන් රූපලාවණ්‍ය කලාවත් ඒ වගේ වෙලා.. මනාලියන්ගේ මේකප් භාගයක් කරන්නේ ඡායාරූප ශිල්පියා ෆොටෝ එඩිට් කරලා..

අපි මේකෙන් කරන්න ඕන කෙනකුගේ සැබෑ ලස්සන මතු කරන එකයි. එහිදී කෘත්‍රිම බවක් පෙනුණොත් රූපලාවණ්‍ය ශිල්පියා අසාර්ථකයි. හැම කෙනාට ම එකම විදියේ මෝස්තර හරියන්නේ නෑ. මේකප් එකත් එහෙමයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට එයාගේ ස්වරූපය අනුව මේකප් එක වෙනස් වෙන්න ඕනේ..

අපේ රැඳීමත්, මේ වෘත්තියේ දියුණුවත් තියෙන්නේ අද අපි හරියට වැඩක් කළොත් විතරයි.

 

 

 

 

 ඡායා -ශාන් රූපස්සර

1899 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 11, සඳුදා 14:58
අදහස් එක් කිරීමට ලොග් වෙන්න