තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 දෙසැම්බර් 19, අඟහරුවාදා 11:40

සුදු වෙනවද ලෙඩ වෙනවද ?

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
‘සුසුදු සමක්, සුදු වන් සමක්, සුදු පැහැ සමක්’ මේ බොහෝ දෙනාගේ සිහිනයයි. ඒත් හැබෑවට ම මඳක් සිතා බලන්න. ලස්සන කියන්නේ සුදු විතරද? සුදු සමක් තිබුණත් අවලස්සන අය කොතරම් ඉන්නවද? කළු පැහැ සමක් තිබුණත් රූමත් බවින් අගතැන්පත් අය කොතරම් ඉන්නවද? ඇත්තටම සුදු පැහැ සමක් කියන්නේ හිතළුවක් විතරයි. 

 

ඒත් අද බොහෝ තරුණියන්ගේ සිහිනය, ප්‍රාර්ථනය වන්නේ තමාගේ සම ඉතා සුදු පැහැයෙන් බබලනවා දැකීමයි. මෙය දැන් කාන්තාවන් පමණක් නොව තරුණයන් අතර ද ව්‍යාප්ත වූවකි. අපේ රටේ බහුතරයකට තිබෙන්නේ තළෙළු පැහැ සමක්.

අධික හිරු එළිය නිසා නිකුත්වන අහිතකර කිරණ සමට පතිත වීමේදී එම අහිතකර තත්ත්වයන් පාලනය කරන මෙලනින් වර්ණකය නිසා මේ පැහැය සමට උපතින් උරුම වී තිබෙනවා.

මේ හේතුව නිසා නිසි ප්‍රමිතියකින් තොර, සම සුදු කරන ආලේපන වර්ග රටපුරා වෙළෙඳසල්වල විකිණීමට තිබේ. එපමණක් නොව ඇතැම් නිවෙස්වල, සැලෝන්වල පවා නම් ගම් විස්තර කිසිවක් නොමැතිව මෙවැනි ආලේපන වර්ග සකසා විකිණීම කරයි. කෙසේ හෝ සුදු වීමේ මානසිකත්වයෙන් සිටින අය මේවා භාවිතකර සමේ රෝග සාදා ගැනීම දැන් දැන් සුලබ තත්ත්වයක් වී ඇත.

සමට බෙහෙවින් අහිතකර රසදිය, කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය, සැර අධික බ්ලීච් පවුඩර් හෝ දියර වර්ග අන්තර්ගත කරමින් විවිධ සංයෝග සාදා කුඩා ඇසුරුම්වල දමා අධික මිල ගණන් යටතේ විකිණීම සිදු කරයි.

මේ කිසිවක් ගැන නොසිතා සම සුදුකර ගැනීම ගැන පමණක් හිතන බොහෝ දෙනා කෙටි කාලීනව සම සුදුකර ගැනීමට ගොස් දීර්ඝකාලීන සමේ රෝගවලට ගොදුරු වේ. ඇතැම් ක්‍රීම් වර්ග ලෝකයේ අන් රටවල තහනමට පවා ලක් වූ ඒවා ය.

එහෙත් අපේ රටේ දී ඒවා ඉතා පහසුවෙන් මිල දී ගත හැකිය. අද අන්තර්ජාලය තුළින් පවා ඔබට එවැනි අයහපත් ඖෂධ වර්ග, ක්‍රීම් වර්ග මොනවාදැයි සෝදිසි කිරීමේ හැකියාව ඇතත් එය සිදු කරන පිරිස ඉතාමත් අල්පය.

තමාගේ මුහුණ යනු අනන්‍යතාව පෙන්වන තමා වඩාත් ආදරය කරන ශරීරාංගයයි. බොහෝ විට සම සුදු කරගන්නට ක්‍රීම් ආලේප කරන්නේත් මුහුණේ ය.

ඔබ අපේක්ෂා කළ පරිදි ඉක්මනින් දින කිහිපයකින් සුදු පැහැ මුහුණක් දකින්නට ලැබුණත් ටික කාලයක් යන විට ඔබ ආදරය කළ ඔබේ මුහුණට සිදුවන අහිතකර ප්‍රතිඵලය දකින විට ඔබ

 

ප්‍රමාද වී වැඩි විය හැකිය. මුහුණ විරූප වූ පසුව ඔබ ශාරීරිකව මෙන්ම මානසිකව ද රෝගී තත්ත්වයට පත්වේ.

මෙලෙසින් විරූපී වූ මුහුණු නැවත යථා තත්ත්වයට පත් කරගැනීමට ඔබට කාලයත් මුදලුත් වැය කිරීමට සිදු වේ. එය ඔබට අනවශ්‍ය ආර්ථික ගැටලු ද ඇති කරයි.

මෙහි විශේෂත්වය වනුයේ මෙම තත්ත්වයට පත් වූ පුද්ගලයා පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සියලුදෙනා ද මානසිකව පීඩා විඳීමයි.

සුදු සමක් යනු සමේ ඇති මෙලනින් වර්ණකය අඩු සමක් යන්නයි. සම සුදු කිරීමේ දී සිදු වන්නේ ද සමේ ඇති මෙලනින් විනාශකර දැමී දිගටම සම සුදුකර ගැනීමේ ක්‍රම භාවිත කරනවා නම් සිදු වන්නේ සම තුළ මෙලනින් නිපදවීම අඩාල කිරීමයි. එහෙත් මෙය කොතරම් දුරට සාර්ථක වන්නේදැයි ඔබ ම සිතා බලන්න. මෙලනින් අඩුවීම නිසා සමට හිරු එළියෙන් සිදුවන හානිය විස්තර කළ නොහැකි තරම්ය. සුදු හම සහිත විදේශිකයන්ගේ සම මෙයට කදිම උදාහරණයකි. වයසට වඩා වියපත් බව සහ මුළු සිරුර පුරාම පිග්මන්ටේෂන් ලප වර්ග ද මෙවැනි සමක ඇති වේ.

ක්ලියෝපැට්රා රැජන කිරිවලින් ස්නානය කළ බවක් ඉතිහාසයේ අපි අසා ඇත්තෙමු. එසේ කරන විට සමේ වර්ණය පැහැපත් වන බව ඇයට දැනුණු නිසා ඇය කිරිවලින් ස්නානය කිරීමට පි‍්‍රයතාවක් දක්වා ඇත. කිරිවල අඩංගු ‘ස්වභාවික ලැක්ටික් අම්ලය’ නිසා ඇගේ සමේ වර්ණය පැහැපත් වූ බව විද්වත් මතයයි.

නවීන තාක්ෂණය ඔස්සේ ද ශාක, මල්, පලතුරු, බීජ වර්ග, මුල්, කොළ ආදී ස්වභාවික ද්‍රව්‍යයන්ගෙන් ලබා ගන්නා ස්වභාවික අම්ල වර්ග සහ විවිධ ක්ෂාරයන් අඩංගු කළ ආලේපන නිපදවා ඇතත් අපේ බොහෝ දෙනා ඒ පිළිබඳ නිසි දැනුවත් බවක් නැත. සමට කිසිදු අහිතකර තත්ත්වයක් නැති වුවත් මෙවැනි දෙයක් භාවිතයේ දී ඔබ ඒ පිළිබඳ කරුණු සොයා බලා නිසි දැනුවත් බවක් ලබා ගත යුතුමය.

ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් වුවද ඔබට ලබා ගත හැකියි. වෛද්‍ය නිර්දේශ මත ආලේප කළ හැකි ආලේපන (ථඥඤඪජචත ඵඬඪද තඪඨඩබදඥපඵ) වර්ග ද ඇත.

එබැවින් පළපුරුදු සහ සුදුසුකම් ඇති වගකිවයුතු සම සම්බන්ධ වැඩි දැනුමක් ඇති වෛද්‍යවරයකු මුණගැසී තමාගේ සමට ගැළපෙන ආරක්ෂාකාරී ආලේපන වර්ගයක් නිර්දේශ කරවා ගැනීම වඩාත් සුදුසු ය. කෙසේ වෙතත් සුදු වීමට වඩා අවශ්‍ය වන්නේ නිරෝගී පැහැපත් සමක් උරුමකර ගැනීමයි.

ඒ නිසා සුදු වීමට වෑයම් කරනවාට වඩා පැහැය කුමක් වුවත් නිරෝගී සමක් ලබා ගැනීමට උත්සුක වීමෙන් ඔබේ රුවට නව එළියක් ලබා ගත හැකි වේවි.

 

උපදෙස්

සම්මානිත මහාචාර්ය රමණී අර්සකුලරත්න

2175 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 19, අඟහරුවාදා 11:41
අදහස් එක් කිරීමට ලොග් වෙන්න