තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2017 දෙසැම්බර් 27, බදාදා 09:19

ගෙදර ඉන්න දවසට මම තමයි කුක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
   සම්මානනීය රූපලාවණ්‍ය ශිල්පිනී නීශා මනහාරී     අම්මා මනමාලියන්ගේ කොණ්ඩ මෝස්තර දමද්දී නීශා කොණ්ඩකටු එකින් එක ඇය අතට දෙමින් උදව් කළේ ඉතාමත් කැමැත්තෙන්.

 

මනමාලිය ඇන්දුවට පස්සේ අඩුපාඩු බලලා ඒවා නැවත නිවැරැදි කරන කාර්යයත් පැවරුණේ නිශාට. ඇයට අවශ්‍ය වුණේ කවදහරි දවසක තනියම මනාලියක් හැඩගන්වන්න. නීශා පුල පුලා බලා සිටියෙත් මව ඇයට එම අවසරය ලබා දෙන තුරුයි. නීශා ද තම මව සමඟ හරි හරියට මනාලියන් ඇන්දවූවාය. මව මනාලිය මේක්අප් කරන විට ඇය කොණ්ඩ මෝස්තරය දැමුවාය.

දැන් දුවට හොඳට මනමාලියෝ අන්දන්න පුළුවන්. නීශාගේ ඉහේ මලක් පිපුණි. ඒ තමයි මට අම්මාගෙන් ලැබුණ මුල්ම සම්මානය.

ඊට පස්සේ මනමාලියන් අන්දන්න පටන් ගත්තා?

“නැතුව එදා ඉඳලා මේ වෙනකන්ම ඉතින් මගේ වැඩේ මනමාලියො අන්දන එක තමයි.

තම මවගෙන් මුල්ම ඇගැයුම ලත් නීශා තරුණී  4rever  බියුටිස්ටාර් තරගයේ බියුටි ස්ටාර් වෙමින් ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියට හිමි සම්මානය ද හිමිකර ගත්තාය.

නීශා එදා බියුටිස්ටාර් හැටියට ඔයාගේ නම සඳහන් වෙද්දී මොනවද හිතුණේ?

ඒක මට අදහගන්න බැරි වුණා. මට හොඳටම ඇඬුණා. කතාකරගන්න බැරුව ගියා. අනෙකුත් රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනයන් අතරින් මම බියුටිස්ටාර් වෙයි කියලා කොහොම හිතන්නද? මට ලැබුණ ඒ ජනතා සම්මානය මට රටක් වටිනවා. හේතුව මාව එතැනට ඔසවා තැබුවේ ඒ අය නිසා.

ඉන්පසුව ඔබේ වෘත්තිමය ජීවිතයේ ලොකු වෙනසක් වුණා නේද?

ඇත්තටම ඔව්. ඊට පස්සේ මම Beauty Recovery Clinic නමින් මහරගම මගේම කියලා ආයතනයක් ආරම්භ කළා. ඇත්තෙන්ම මා එය ආරම්භ කළේ මගේ සේවාදායකයන්ට සියලු පහසුකම් සහිතව රූපලාවණ්‍යාගාරයක වඩාත් හොඳ සේවාවක් ලබාදෙන්නටයි.

ඉතින් නීශා කොහොමද මේ දවස්වල ඔයාගේ වැඩකටයුතු?

මේ දවස්වල නම් ඔන්න ටිකක් ගෙදරට වෙලා විවේකයෙන් ඉන්නවා. මම ගෙදර ඉන්නවා නම් පුතා හරිම කැමැතියි. ඒ නිසාම මේ දවස්වල වැඩිපුරම කාලේ ගත වෙන්නේ එයත් එක්ක. හැබැයි ඉතින් මට කියලා කන්න කැමැති එක එක කෑම හදාගන්නවා. මම හදන කෑම කන්නයි පුතා වැඩියෙන් කැමැති. දැනුත් කට්ලට් හදලා දුන්නා. ගෙදර ඉන්න දවසට මම තමයි කුක්.

නීශාට හොදට උයන්න පුළුවන් කියලා ආරංචියි?

ඒ කතාව නං ඇත්ත. මට හුඟාක් රසට කෑම හදන්න පුළුවන්. හැබැයි ඉතින් මම ඉවුම් පිහුම් කරන්නේ ගෙදර ඉන්න දවසට තමයි.

විනෝදාංශ හැටියට මොනවද ඔබ වඩාත් ප්‍රිය කරන දේවල්?

මට හිනාවෙයිද මන්දා. මම විනෝදාංශයක් හැටියට කරන විශේෂ දෙයක් නෑ කියලා කිව්වොත්. ඒත් මම හැමදාම වගේ මගේ දින චරියාවෙ එක් දෙයක් හැටියට ආගමික දේවල්වලට යොමුවෙනවා. හැමදාම උදේ 6.30 ට මම පල්ලියේ පුජාවට යනවා. දැන් එය මගේ ජීවිතේ එක් කොටසක් වෙලා. ඒ තුළින් හිතට ලැබෙන සැනසීම වෙන කිසිම දෙයකින් ලබන්න බෑ.

එක දිගටම මනාලියන් හැඩගැන්වීම් කරද්දී එහි ඒකාකාරි බවක් දැනෙන්නේ නැද්ද?

කවමදාවත් එහෙම දැනිලා නෑ. මනාලියන් හැඩගැන්වීම කියන්නේ ඉතාමත් නිර්මාණශීලීව කැපවීමකින් ඉවසීමකින් කළ යුතු දෙයක්. එහි විවිධත්වයක් ඇතුව කරන නිසා ඒකාකාරී බවක් නම් දැනෙන්නේ නෑ. කවදාවත් දැනිලත් නැහැ.

ඔය අතරතුරදී මුහුණපාන්නට සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?

අපොයි ඔව්. ඕනෑතරම් තියෙනවා. දවසක් අපට ටිකක් දුරබැහැර පැත්තකට මනාලියක් ඇන්දවීමට යන්න තිබුණා. ඒ වැලිවේරිය පැත්තෙ. අපි රෑ දෙකට විතර ඒ ගෙදරට ගියා. නමුත් ගෙදර වහලා ලයිටුත් නිවලා. කිසිම සද්දයක් නෑ. කීපසැරයක් වාහනේ හෝන් කරද්දී ඔන්න ගෙදර අය එළියට ආවා. මේ අයට මහන්සි වෙලා වැඩිකමට හොඳටම නින්ද ගිහිල්ලා. මනමාලි, මනමාලිගේ යාළුවොත් නිදි, කිසිම සූදානමක් නෑ. කොහොම හරි කාලය කළමනාකරණය කරගෙන අපි නැකත් වෙලාවට කලින් මනමාලිව හැඩගැන්වූවා. මොනවගේ අසීරු තත්ත්වයකට මුහුණපෑවත් අපට පැවරිලා තියෙන වගකීම පැහැර හරින්න බෑනේ.

ඔබේ අලුතින් ආරම්භ කළ  Beauty Recovery Clinic එකෙහි වැඩකටයුතු කොහොමද?

හුඟාක් හොඳයි. ඇත්තටම මෙහි අප සිදු කරන කටයුතු වඩාත් විශේෂ වන්නේ රූපලාවණ්‍ය කටයුතු වගේම මනමාලියක් වීමට යන අයට විශේෂ පැකේජයක් යටතේ සියලු දේ ඉතාමත් ක්‍රමානුකූලව සර්ව සම්පූර්ණ ලෙස ඉටුකරගැන්මට අවශ්‍ය පහසුකම් අප සලසා තිබෙන නිසයි.

ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?

මගේ එකම බලාපොරොත්තුව මගේ කැපවීමෙන් උත්සහයෙන් ගොඩනැගූ මේ ආයතනය තව තවත් වැඩි දියුණු කර එය සාර්ථකත්වය කරා රැගෙන යාමටයි. මං බලාපොරොත්තු වෙනවා පුතා අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පස්සේ මේ සියල්ල භාර අරගෙන ඒ වගකීම් වඩාත් හොඳින් ඉටුකරාවි කියලා. පුතා තමයි මගේ විශ්වාසය සහ එකම බලාපොරොත්තුව.

 

 

ඡායා - ශාන් රඹුක්වැල්ල

3619 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 27, බදාදා 09:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න