තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජනවාරි 09, අඟහරුවාදා 10:34

සන්ස්ක්‍රීන් එකකින් සම දුර්වර්ණවීම වළක්වා ගත හැකියි විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍ය ආලේපන අතර විශේෂත්වයක් ගන්නා තවත් එක් ආලේපනයක් ලෙස සන්ස්ක්‍රීන් පිළිබඳවත් අප කතාබහ කරන අවස්ථා බොහොමයි. Sunscreen - සන් බ්ලොක් සන්ප්‍රොටෙක්ෂන් වශයෙන්ද මෙය අපට දක්නට පුළුවන්. Sunscreen යන්නෙහි සාමාන්‍ය අර්ථය නම් හිරුට තිරයක්, එනම් හිරු ආවරණ ආලේපයක් යන්නයි.

 

බොහෝවිට අහිතකර හිරුකිරණයන්හි බලපෑම හේතුවෙන් සම වඩාත් වියැලී වයසට වඩා වයස්ගත පෙනුමක් ගෙන දිය හැකියි. එපමණක් නොවෙයි දැඩි හිරුකිරණට නිරාවරණය වන සම ඉතාමත් ඉක්මණින් දුර්වර්ණ වීමට ඇති හැකියාව ද වැඩියි.

මෙය සමේ පැල්ලම් ඇතිවීමට ද ප්‍රධාන හේතුවක්. නමුත් හිරු කිරණ යනු අපට ඉතාමත් වැදගත් දෙයක්. විටමින් ච් ලබාදෙන්නේද හිරු කිරණයි.

නමුත් දැඩි හිරුරැස්වලට නිරාවරණය වීම සමට හානිකරයි.

එම නිසා ඉන් සමට වන හානිය වළක්වාගනිමින් සම ආරක්ෂා කර ගන්නට අපට හිරු ආවරණ ආලේපයක් එහෙමත් නැත්නම් සන්ස්ක්‍රීන් එකක් භාවිත කිරීම වඩාත් වැදගත් වනවා.

හිරුකිරණින් ආරක්ෂාවීමට කලු කුඩයක් භාවිත කිරීම පහසුම දෙයක් වුවත් වැඩි දෙනෙක් කලු කුඩ භාවිත කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ.

නමුත් ක්‍රීඩාවන්හි නිරතවන අයට අව්වේ වැඩ කරන අයට, පිහිනීමේ යෙදෙන අයට සහ වාහන පදවන අයට කුඩ ඉහළාගෙන යාමේ හැකියාවක් නොවන නිසා එවන් අය අනිවාර්යයෙන්ම හිරු ආවරණ ආලේපනයක් එසේත් නැත්නම් සන්ස්ක්‍රීන් එකක් භාවිත කළ යුතුයි.

සන්ස්ක්‍රීන් එකක් අපට වැදගත් වන්නේ කුමන ආකාරයෙන්ද යන්න ගැන කතා කළොත් සන්ස්ක්‍රීන් නිපදවා තිබෙන්නේ හිරු කිරණින් ආවරණය වීමට පමණක්ම නොවෙයි.

හිරු කිරණින් ඇතිවන බලපෑම්වලට අමතරව පරිගනක ආශ්‍රිතව කටයුතු කරන නිතර ටියුබ්ලයිට් යට කටයුතු කරන අවස්ථාවන්හී වුවත් ඉන් ඇතිවන කිරණේ හානිකර බලපෑම් ඇතිවන්නටත් පුළුවන්.

මෙවන් අය අව්වේ නොගියත් සනස්ක්‍රීන් එකක් භාවිත කිරීම වැදගත්. එසේ නොවුණහොත් සම දුර්වර්ණ වීමට එයද හේතුවක් විය හැකියි.

පරිගනකය හා කටයුතු කරන විට බොහෝවිට ඇස් වටා කළුවීමක් සිදුවිය හැකියි.

එම බලපෑම අවම කරගැන්මට ඇස්වටා තැවරිය හැකි ආලේපනයක් ලෙස SPF 30 සහිත සන්ස්ක්‍රින් අලේපනයක් ඇස් වටා තැවරීම සුදුසුයි. එමගින් ඇස්වටා වන කළුවීම වළක්වා ගත හැකියි.

සන්ස්ක්‍රීන් එකක් මිල දී ගන්නා විට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද යන්න විමසා බලමු.

මෙහිදී SPF අගය වශයෙන් දක්වන්නේ කුමක්ද යන්න ගැන අප සැලකිලිමත් විය යුතුයි. ඉන් හඳුන්වන්නේ හිරු කිරණින් අපව ආරක්ෂා කරන ප්‍රමාණයයි.

සාමාන්‍යයෙන් ලංකාවේ දේශගුණයට අනුව SPF අගය 30 ට වඩා වැඩිවිය යුතුයි. ඇතැම් සන්ස්ක්‍රීන් වර්ග මුහුණට සහ ශරීරයට වශයෙන් ගත හැකියි. එයද සම අනුව තෝරාගත යුතුයි.

සන්ස්ක්‍රීන් එකක් භාවිත කරනවිට පිටතට යාමට විනාඩි තිහකට පමණ කලින් එනම්, පැය භාගයකට පෙර ආලේප කළ යුතුයි. මේක්අප් භාවිත කිරීමේදී සන්ස්ක්‍රීන් එකක් ඒ සමඟ භාවිත කළ හැකිද යන්න සමහරුන්ට ප්‍රශ්නයක්.

එහි කිසිම ගැටලුවක් නොවන බව කිව යුතුයි.

සන්ස්ක්‍රීන් ආලේප කර ඉන්පසුව එයට උඩින් මේක්අප් කිරීම කළ හැකියි.

එමගින් සමට ආරක්ෂාවක් ගෙන දෙන අතරම මේක්අප් එකට වඩාත් හොඳ පෙනුමක්ද ලබාගන්න පුළුවන්.

සමහරුන් සන්ස්ක්‍රීන් භාවිත කිරීමේදී අව්වට නිරාවරණය තැන්වල පමණක් එය ආලේප කරන්නට පෙළඹෙන අවස්ථා දැකිය හැකියි.

නමුත් ක්‍රීඩාවල යෙදෙන, පිහිනන අයට සිරුරේ සම්පූර්ණයෙන්ම සන්ස්ක්‍රීන් තැවරීම ඉතාම වැදගත්.

ඒ අය පිහිනීමට පැය භාගයකටවත් කලින් සන්ස්ක්‍රීන් එක තැවරිය යුතුයි.

එසේ නොවුණහොත් එම මොහොතේම එය තැවරීමට පෙළඹුණොත් එය දියවී යාමෙන් සමට ආරක්ෂාව නොලැබී යාමට පුළුවන්.

රථවාහනවල ගමන් කිරීමේදී හිරුඑළියෙන් තමන්ගේ සමට හානි සිදුවේවි කියා බොහෝ දෙනෙක් සිතන්නේ නෑ. නමුත් රථය තුළට එන හිරුඑළියෙන් ඔවුන්ගේ අත් ගෙල මුහුණ පා ආදිය හිරු කිරණේ අහිතකර බලපෑම්වලට හසුවන්නට පුළුවන්.

මෙනිසා රථවාහනවල යාමේදි වුවත් අනිවාර්යයෙන් සන්ස්ක්‍රීන් එකක් සමෙහි ගල්වාගෙන යාමෙන් සම අව්වට පිළිස්සීම වලක්වා ගත හැකියි.

නිතර අව්වේ ගමන් කරන අයෙකු නම් බොහෝ අවස්ථාවල හිරු කිරණට නිරාවරණය වන අයෙකු නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් භාවිත කළ යුතුයි.

දුර්වර්ණ වූ පැල්ලම් සහිත සමකට සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කිරීමෙන් එම දුර්වර්ණතා මගහරවා ගන්නට හැකිවන අතරම නැවත නැවත සම මතුපිට පැල්ලම් ඇතිවීම ද වළක්වාගත හැකියි.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ස්වීනීතා කොතලාවල

Salon Swini

 

 

 

1258 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 09, අඟහරුවාදා 10:35
අදහස් එක් කිරීමට ලොග් වෙන්න