තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ජනවාරි 22, සඳුදා 15:40

මේ දිනවල කාලගුණයෙන් සමට අහිතකර බලපෑම් බලාගෙනයි ; සම වේළෙනවා විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
සීතලට ගුලි ගැහෙනා උඳුවප් මාසය ගෙවී ගිහින් දුරුතු මාසයත් උදාවුණා. මේ ගෙවී යන්නේ දුරුතු මාසයේ තෙවැනි සතියයි. ඒත් උඳුවප් සීතලට අපිව දමා යන්න අමතක වෙලා වගෙයි. තාමත් උදෑසන ශීත දේශගුණය ගතට දරාගන්න බැරිතරම්.

 

ඒ විතරක් ද..... උදා කාලයේ මේ සීතල නිසා විවිධාකාරයේ ගැටලු මතුවෙලා. විශේෂයෙන්ම අධික සීතල නිසා ඇතිවන සමෙහි ගැටලු බොහෝමයි. ඒ නිසාම අපේ කාන්තාවන් මේ දිනවල සම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළයුතු අතර අද අපි ඒ පිළිබඳ කතා කරමු.

මේ දිනවල හිමිදිරියේ පටන්ගන්නා තද ශීතල අභිබවායමින් දහවල් කාලයේ දැඩි උණුසුම් කාලගුණයක් හටගනියි. එබැවින් සීතල සහ උණුසුම අතර පවත්නා මේ වෙනස සමට දැඩි පීඩාවක් රැගෙන එයි.

සාමාන්‍ය ස්වභාවය වන්නේ සීතල සමඟ පරිසරයේ ජලවාෂ්ප ප්‍රමාණය එනම් ආර්ද්‍රතාවය අඩුවීමයි. එම නිසා ගතට කෙතරම් සීතලක් දැනුණ ද සමෙහි තෙතමනය ඉවත් වෙමින් සම වියළීම ආරම්භ වේ. ආයුර්වේදය අනුව බලන කළ මෙම කාලගුණය සම ඇසුරු කරමින් වාත දෝෂය විකෘති කිරීමකි. එසේ වී නමුදු අපට කිසිසේත් කාලගුණයට එරෙහි විය නොහැකියි. කළහැකි වන්නේ ඊට අනුරූපව සමට කළහැකි සත්කාර අනුගමනය කිරීමයි.

සීතල කාලගුණය සමඟ සමෙහි ඇතිවන ගැටලු

 

* සමෙහි වියළි ස්වභාවයක් ඇතිකරන අතර සමෙහි හොඳින් ඇදෙන සුළු ස්වභාවය (ඨතධඹ) ඉවත් වී යයි.

* සම මතුපිට ඉතා සිහින් රේඛා ඇතිවේ.

* සම මතුපිට ඉරක් ඇඳිවිට එය සුදු පැහැ ගැන්වේ.

* සම පමණක් නොව තොල් පෙති පවා වියළීමෙන් ගැටලු මතුවේ.

* සීත කාලගුණයට තවදුරටත් විවෘත වීම හරහා සමෙහි ඉරිතැලීම්, පැලීම් හෝ මතුපිට මියගිය සම ගැළවී යාම ආරම්භ වේ.

ඉහත සඳහන් කළ ගැටලුවලින් මිදෙන්නට නම්

ජලය

මේ කාලගුණික තත්ත්වය යටතේ ශරීරයෙන් ජලය ඉවත්වීම ප්‍රමුඛ වේ. එබැවින් අනිවාර්යයෙන්ම දිනකට ඔබ භාවිතකරන ජල ප්‍රමාණය විශේෂයෙන්ම පානය කරන ජල ප්‍රමාණය වැඩිකරගත යුතුයි. එම ජල ප්‍රමාණය දිනය පුරාවටම ක්‍රමානුකූලව සමානව පැතිරී යන ලෙස ලබාගන්නට වගබලාගන්න.

ආලේපන

සමෙහි ආරක්ෂාව සඳහා මෙන්ම තෙතමනය රඳවාගැනීම උදෙසා විවිධ ආලේපන භාවිත කිරීම කළහැකියි. මෙහිදී ආයුර්වේදයට අනුකූලව සකසාගත් ස්වභාවික ශාකසාරයන්ගේ ඝන ආලේපන භාවිතය තරමක් ප්‍රායෝගිකව ගැටලුකාරී සහිත වේ. එබැවින් එවැනි ඝන ආලේපන නිවෙසෙන් බැහැරට යනවිට භාවිත නොකරන්න.

නමුත් බාහිර පරිසරයට නිරාවරණයවන දෑත, දෙපා, ගෙල ආදිය වියළි බවින් රැකගැනීම සඳහා බැහැරට යනවිට භාවිත කරන්නට ආලේපනයක් ඔබට නිවෙසේදීම සකසාගත හැකියි.

 

මේ සඳහා,

* කෝමාරිකා මදය කොටස් 01 ක්

* මී පැණි කොටස් 1/2 ක්

* තල තෙල් කොටස් 1/4 ක්

ගෙන කුඩා බෝතලයකට දමාගන්න. අනතුරුව මිනිත්තු 15 ක් 20 ක් පමණ මේ බෝතලය සොළවා හොඳින් මිශ්‍ර කරගන්න. මෙය දින කිහිපයක් සුරැකිව තබා ඔබට භාවිත කළහැකියි.

 

තොල් ආලේපනයට

* මී පැණි කොටස් 01 ක්

* ගිතෙල් කොටස් 1/2 ක්

මී පැණි සහ ගිතෙල් ඉහත සඳහන් ප්‍රමාණවලින් ගෙන එකට කලවම්කර වරින්වර තොල් මත ආලේප කිරීම මඟින් තොල් වියළෙන්නට නොදී රැකගත හැකියි.

නොකළ යුතුයි

 

ඔබ නිවෙසින් පිටත හිරුඑළියට නිරාවරණය වන්නේ නම් ඖෂධීය හෝ වෙනත් තෙල් වර්ග භාවිත නොකරන්න. එවැනි අවස්ථාවක දී බැහැරට ගොස් නැවත පැමිණි පසුව හෝ රාත්‍රී කාලයේ නින්දට පෙර සමට ගැළපෙන තෙල් බිංදු තුනක් පමණ ගෙන නළලෙහි සහ කම්මුල් දෙපස මෘදුව ආලේප කරන්න.

 

 උපදෙස්

ආයුර්වේද සහ දේශීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ අධ්‍යාපන පියසේ ආයුර්වේද වෛද්‍ය

ආර්. ජී. එස්. සාරංගා 

 

3260 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 22, සඳුදා 15:43
අදහස් එක් කිරීමට ලොග් වෙන්න