තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 මාර්තු 27, අඟහරුවාදා 13:08

මම සල්ලි බලාගෙනම වැඩ කරන කෙනෙක් නෙමෙයි..

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
    කුසුම්සිරි යැයි කියූ පමණින් රූපලාවණ්‍ය කලාවේ පමණක් නොව ඒ හා සම්බන්ධ අනික් ක්ෂේත්‍රවල අය හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස ඔහු කවුරුන්දැයි දනී.

 

එපමණට ම ඔහු ක්ෂේත්‍රය තුළ ජනපි‍්‍රය ශිල්පියෙකි. ජනපි‍්‍රය වීමට ඔහු තුළ ඇත්තේ කුමක්දැයි සිතන කෙනකුට ඔහුගේ චරිතය කියවන්නැයි අපි ආරාධනා කරන්නෙමු.

ඉතිං කුසුම්සිරි අයියා මේ ක්ෂේත්‍රයට ආව විදිය අපි දැනගන්න කැමැතියි...

ඇත්තට ම ඒ ගැන කියන්න නම් අවුරුදු 37 ක් ආපස්සට යන්න වෙනවා. ඇත්තට ම මම මේ ක්ෂේත්‍රයට ආවේ අහම්බෙකින්. ඒ කාලේ මට රූපලාවණ්‍ය කලාව ගැන දැනුමක් තිබුණේ නෑ. මේ ක්ෂේත්‍රයට එන්න ඕනේ කියලා හැඟීමක් තිබුණෙත් නෑ. ඒත් මම පාසල් යන කාලේ නාට්‍ය කලාවට සම්බන්ධයි. ඒ නිසා නාට්‍යවල මේකප් කරලා මේකප් ගැන දැනුමක් තිබුණා. මේ දවස්වල අපේ ඥාතියකුගේ ගෙදර මංගල උත්සවයක් තිබුණා. මනාලියට අන්දවන්න හිටිය රූපලාවණ්‍ය ශිල්පිනිය එදා ආවේ නෑ. අද වගේ ඒ ගැන කියන්න, කලින් දන්වන්න ෆෝන්වත් ඒ දවස්වල තිබුණේ නෑ. ඒ වගේම අද වගේ රූපලාවණ්‍යාගාර හැම තැනකම තිබුණෙත් නෑ. මේ අපහසුතාවෙන් ගැළවෙන ක්‍රමයක් ගැන හැමෝම හිතද්දි තමයි අක්කා කෙනෙක් කිව්වේ කුසුම්සිරි මල්ලිට මනාලිය අන්දන්න පුළුවන් වෙයි මේකප් ගැන දන්න නිසා කියලා. ඉතිං මම මගේ ළඟ තිබුණ මේකප් බඩු ටිකෙන් කොහොම හරි මනාලියව හැඩගැන්වුවා. හැමෝම කිව්වා මනාලිය ලස්සනයි කියලා. එදා තමයි මම මේ ක්ෂේත්‍රයට නොදැනුවත්ව හරි පය තියපු දවස.

ඉන් පස්සේ දිගින් දිගටම මනාලියන් ඇන්දුවද?

නෑ. ඒ කාලේ අද වගේ දැනුම ලබා ගන්න පහසු නෑ. මේ දේවල් ඉගෙන ගන්න තැනක් තිබුණේ නෑ. ඉතිං අපි චිත්‍රපට බලද්දි වැඩියෙන් නිළියන්ගේ ඇඳුම් මෝස්තර, මේකප් කරලා තියෙන විදිය, කොණ්ඩ මෝස්තර දිහා හොඳින් බැලුවා. මේවා තමයි අපේ දැනුම දියුණු කරන්න යොදා ගත්තේ. කොහොමටත් ඒ කාලේ රූපලාවණ්‍ය කලාව ලොකු ව්‍යාපාරයක් වුණේ නෑ. ඒ නිසා මම ඡායාරූප ශිල්පියෙක් වශයෙන් සේවය කළා. එහෙම අවුරුදු තුනක් ගතවුණාට පස්සේ නැවතත් රූපලාවණ්‍ය ගැන උනන්දුවක් ඇති වුණා. ඒ අතර මම රසායනාගාරයක වැඩ කළා. එහිදී කෙමිකල් වර්ග හඳුනා ගන්නත් ඒවා මිශ්‍ර කරමින් එක එක

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අත්හදාබැලීම් කරන්නත් පුළුවන් වුණා. ඒ දවස්වල අපි බ්ලීචිං ගැන දන්නේ නෑ. ඒත් රසායනාගාරෙදි මම සමේ පැහැය පිච්චිලා යන මේ ද්‍රව්‍ය ගැන දැනගත්තා. ඒක

සමට හොඳ දෙයක් නෙමෙයි කියන එකත් තේරුම් ගත්තා.

මේ ක්ෂේත්‍ර කිහිපයකම දැනුම මට රූපලාවණ්‍ය ශිල්පියෙක් විදියට ඉදිරියට එන්න උදවු වුණා. මොකද ඡායාරූප ශිල්පියෙක් නිසා මනාලියක් ආලෝකයට, ඡායාරූපවලට ගැළපෙන විදියට හැඩගන්වන්නත් රසායනික දේ පිළිබඳ දැනුම ආලේපන ගැල්වීමේදීත් ප්‍රයෝජනවත් වුණා.

කොහෙන්වත් හරියට රූපලාවණ්‍ය ඉගෙනගන්න හිතුණෙ ම නැද්ද?

ඇයි නැත්තෙ, මට හිතුණා විධිමත්ව රූපලාවණ්‍ය විෂය ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ නිසා මම 80 ගණන්වල ආසියානු කේන්ද්‍රයේ ජාත්‍යන්තර රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරුවා. ඉන්පස්සේ හැරිස් වජේසූරිය ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියාගේ ආශ්‍රය ලැබුණා. ඔහු මට ගොඩක් උපදෙස් ලබා දුන්නා. ඒ හැමදේම මේ ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න මට රුකුලක් වුණා. ඉන් පස්සේ මට මේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් සම්මාන ගණනාවක් ම ලැබුණා. ඒ අතර තරුණී පුවත්පතේ රූපලාවණ්‍ය ශිල්පීන් වෙනුවෙන් තිබූ බියුටි ස්ටාර් සම්මාන ප්‍රදානයේ ටොප් ටෙන් සම්මානයත්, ජනපි‍්‍රයම රූපලාවණ්‍ය ශිල්පියා සඳ මඬල සම්මානයත්, ජනාධිපති සම්මානයත් ඇතුළත්.

ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීම පුද්ගලයකුට ලැබෙන අවස්ථාවක්.. ඒ ගැන ඔබගේ හැඟීම මොනවගේද?

ඇත්තටම ඔව්. ජනාධිපති සම්මානයක් ලැබෙනවා කියන්නේ ජීවිතේ ඕනෑම පුද්ගලයකුට ලැබෙන දුර්ලබ අවස්ථාවක්. ඒත් රූපලාවණ්‍ය ශිල්පීන්ට එවැනි සම්මාන ප්‍රදානයක් මෙතෙක් කලක් තිබුණේ නෑ. අපිට ඒක හීනයක් විතරක් වෙලා තිබුණ කාලයක ඒක හැබෑවක් කළේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම්. ඇත්තට ම ප්‍රේමසිරි කළේ කවුරුවත් කරන්න ඉදිරිපත් නොවුණ දෙයක්. ක්ෂේත්‍රයේ අනාගතයට ප්‍රවීණයන් ඇගයීම කළ යුතුයි. ඒකට ක්ෂේත්‍රයේ ම අය ඉදිරියට එන්නේ නැත්නම් කවුරුවත් ඒක කරන්නේ නෑ. ප්‍රේමසිරි කළ දේ අගයන්න ඕනේ ඒ නිසයි. ක්ෂේත්‍රයේ වසර 25 කට වඩා කාලයක් රැඳී සිටිය ප්‍රවීණ ශිල්පීන්ට ජනාධිපති සම්මාන ලබා දීම ඇත්තට ම ක්ෂේත්‍රයේ උන්නතියට වැදගත්. ඒක නිසා ප්‍රේමසිරිට ස්තුති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

 

ඔබේ පවුලෙන් මේ ක්ෂේත්‍රය රැකියාව කරගන්නවාට තිබුණු කැමැත්ත අකැමැත්ත කොහොමද?

මට අක්කලා තිදෙනෙක් හා අයියා කෙනෙක් තමයි ඉන්නේ. ඒ කවුරුවත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නෑ. ඒ වගේම මම මේ ක්ෂේත්‍රයට එනවට ඔවුන් එතරම් කැමැති වුණේ නෑ, විරුද්ධ වුණා. මොකද ඒ කාලේ වැඩ කළාට මුදල් ගත්තේ නෑ. මුදලක් උපයන්නේ නැති නිසා මේක රැකියාවක් කියන අදහස නෙමෙයි ඔවුන්ට තිබුණේ. ඒ නිසා මේක අතෑරලා වෙන රැකියාවක් කරන්න කියලා තමයි එයාලා මට කිව්වේ.

මේ ක්ෂේත්‍රයේ වසර 37 ක අත්දැකීම් අතර අමතක නොවෙන දේත් ඇති..

අමතක නොවෙන දේවල් නම් ගොඩක් තියෙනවා. ඒ අතර මගේ හදවතට දැනුණ දෙයක් මම කියන්නම්. දවසක් අම්මා කෙනෙක් මම හම්බෙන්න ඇවිත් කිව්වා එයාගේ දුව මනාලියක් විදියට අන්දවගන්න තියෙනවා හැබැයි ගෙවන්න මුදල් නෑ කියලා.

මහත්තයා අසනීපවෙලා රැකියාවෙන් ඉවත්වෙලා ඉන්න නිසා එතනින් ලොකු ගාණක් ලැබෙන්න තියෙනවා, ඒක ලැබුණම සල්ලි දෙන්නම් කිවුවා. පස්සෙ අහලා බලද්දි තමයි දැනගත්තේ ඒ මනමාලිගේ තාත්තට කැන්සර් එකක්. එයාට දුව මනාලියක් වෙනවා බලන්න ආසයි කියලා තමයි ඉක්මනට වෙඩිං එක ගත්තේ.

මනාලිය අන්දවගෙන යන්න ඒ තාත්තත් ආවා. දුව මනාලියක් වෙලා ඉන්නවා දැකලා මගේ අත්දෙක අල්ලගෙන හැඟීම්බරව කඳුළු පිරුණ ඇස්වලින් බලාගෙන හිටියා. එයාට කතා කරන්න බෑ. මොකද උගුරේ තමයි පිළිකාව තිබුණේ.

එදා දුව මනාලයට බාර දීලා ඒ තාත්තා එතනම ඇදගෙන වැටිලා මිය ගිහින් තිබුණා. මේ දේ මට ජීවිත කාලෙටම අමතක වෙන්නේ නෑ. පස්සේ සල්ලි ලැබුණම මේ අම්මා ඇවිත් මට සල්ලි දෙන්න හැදූ වෙලාවේ මම කිව්වා මට සල්ලි එපා කියලා. මොනවද කරන්න ඕනේ කියලා ඇය ඇසුවා. පන්සලේ කොටසක් හදන්න මම බාරගෙන තිබුණ නිසා ඒකට උදවු කරන්න කිව්වා. එයාලා ඒ කොටස තනිවම හදලා නමක්වත් සඳහන් කළේ නෑ. එහෙම මිනිස්සු අපි අතර තවමත් ඉන්නවා.

වැඩමුළු පෙළක් කරනවා නේද? ඒ ගැනත් කතා කරමුද?

අපි ‘ලිය අභිමානී’ නමින් වැඩමුළු පෙළක් කරගෙන යනවා. මේ සඳහා මාත් සමඟින් ලංකා චාන්දනී, සෆ්රාස් වගේ තවත් රූපලාවණ්‍ය ශිල්පීන් පිරිසක් එකතුවෙනවා. පසුගියදා කුරුණෑගලදී පවත්වපු වැඩමුළුවත් අතිසාර්ථකයි. මීළඟ වැඩමුළුව පැවැත්වෙන්නේ අප්‍රේල් 01 දා මීගමුව පුරහලේ දී. මෙය සම්පූර්ණයෙන් ම නොමිලේ පැවැත්වෙන වැඩමුළුවක්. මෙහිදී මනාලියන් හැඩගැන්වීමේ තරගයක් පවත්වනවා. එහිදී පළමුස්ථානය හා දෙවැනි, තෙවැනි ස්ථාන ලබාගන්නා තිදෙනාට මීගමුවේ අනුරාධා ජුවලර්ස් අනුග්‍රහයෙන් රනින් තෑගි ලබා දෙනවා. ඔරියන්ට් ලංකා හා කොස්මික් අනුග්‍රහයෙන් පළමු දහදෙනාට ත්‍යාග ලබා දෙනවා. ඊට අමතරව ඒ සඳහා සහභාගී වන හැම දෙනාට ම සහභාගීත්ව සහතිකයක් ලබා දෙනවා.

මෙහි මනාලියන් හැඩ ගැන්වීම, මේක්අප්, ෆේෂල් වර්ග, සාරි ඇන්දවීම ආදී හැමදෙයක් ම උගන්වනවා. ඒ නිසා ඒකට සහභාගීවෙලා දැනුම ලබා ගන්න කියලා හැම දෙනාටම විවෘත ආරාධනාවක් කරනවා.

1322 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 27, අඟහරුවාදා 13:12
අදහස් එක් කිරීමට ලොග් වෙන්න