තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 අප්‍රේල් 09, සඳුදා 14:22

දෑස් රකින රහස්... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
  ‘ඇස්’ අපි හැම දෙනකුට ම වඩාත් වැදගත් ඉන්ද්‍රියයක්. එහි ප්‍රයෝජනය මෙන්ම ඇස් දෙකෙන් මුහුණට, රුවට ලැබෙන අලංකාරයත් මෙතෙකැයි කිව නොහැකිය.

 

කතා කරන ඇස් ඇති යුවතියන් පමණක් නොව පිරිමින් පවා කොතෙකුත් අප දැක ඇත.

ඔවුන් කෙරේ බොහෝ දෙනා ආකර්ෂණය වන්නේ දෙනෙතේ ඇති කාන්තිමත් බව නිසාමයි.

මෙතරම් රුවට මෙන්ම ජීවිතයට වැදගත් වන ඇස් දෙක රැක ගැනීමට අප කොතරම් වෙහෙසෙනවාදැයි මඳකට සිතා බලන්න. දවසේ වැඩි පැය ගණනක් අපි නොදැනුවත්වම දෙනෙතට කොතරම් අවිවේකී වෙහෙසකර බවක් දරන්නට සිදු වී තිබෙනවාද? නිදා ගන්නා පැය කිහිපය හැරුණු විට දවසේ අනෙකුත් සම්පූර්ණ වේලාවම දෙනෙත වෙහෙසෙයි.

මේ නිසාම ඇස්වල විවිධාකාර රෝගාබාධ මෙන්ම ඇස්වල දීප්තිය හීන වී යාම සිදු වේ.

අපි ඇස් ලස්සන කිරීම සඳහා ගල්වන විවිධ වූ ආලේපන වර්ග නිසාම ඇතැම් විට අපේ ඇස්වල රෝග ඇති වීම මෙන්ම කලක් ගතවීමේ දී අන්ධභාවය වුවද ඇතිවිය හැකියි. විශේෂයෙන් ම ඇස් අලංකාර කිරීම සඳහා යොදා ගන්නා විවිධ ආලේපනවල ඊයම් අඩංගු විය හැකිය.

බාල ආලේපන වර්ග තෝරා ගැනීම මෙන්ම වැඩි වේලාවක් ආලේපන ඉවත් නොකර සිටීම ද ඇස්වල සෞඛ්‍ය තත්ත්වයට අහිතකර ලෙස බලපෑම් සිදු කරයි. ඇස්වල දීප්තිය, ලස්සන නැතිකරන හේතු බොහොමයකි.

ඒ අතර අද වැඩි වශයෙන් කාන්තාවන් පීඩා විඳින්නේ ඇස් වටා කළු වීම, ඇස් වටා රැලි වැටීම, ඇස් යට සම එල්ලා වැටීම ආදියයි. මෙම ගැටලු නිසා පුද්ගලයකුට විශේෂයෙන් ම කාන්තාවකට වයසට වඩා වයස පෙනුමක් ලැබීම වැළැක්විය නොහැකිය. මේ ගැටලුව ඇති කාන්තාවන් ඒ සඳහා නොයෙකුත් කෘත්‍රිම, රසායනික ආලේපන ගැල්වීමට යාමෙන් ගැටලුව වඩාත් තීව්‍ර කරගනී.

මෙලෙසින් ඇස්වල රෝග තත්ත්වයන් හට ගැනීමට හේතු වනුයේ කරුණු ගණනාවකි.

ඒ අතර ඇස් අධික ලෙස වෙහෙස කරවීම, නිසි පරිදි නින්ද නොලැබීම, නළල අවට ඇති ලළාට කෝෂවල නරක් වූ සෙම හිරවී තිබීම, පීනස, ඉරුවාරදය, මානසික ආතතිය, පෝෂණ ඌණතා, රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන භාවිතය, වැරැදි ඉරියව්, තද අව්රශ්මියේ දෙනෙත් කුඩාකර බැලීම (මෙය නිතර නිතර කිරීමෙන් ඇස් යට නිත්‍ය රැලි මතු වේ.)

මේ සඳහා කේරළයේ මෙන්ම අපේ රටේ පවතින ආයුර්වේදයේ ද ප්‍රචලිත වූ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස අක්ෂි තර්පණ, නේත්‍ර වස්ති ලෙස නම්කර ඇති අක්ෂි ප්‍රතිකර්මයන් හඳුන්වාදිය හැකියි.

මෙය විශේෂයෙන් ඇස්වල පෙනීම ඇතිකර ගැනීමටත්, ඇස් වටා ඇති රැලි අවමකර ගැනීමටත්, ඇස් වටා ඇති කළු පැහැය නැතිකර ගැනීමටත්, ඇස්වල පවතින විඩාබර බව අඩු කිරීමටත් හැකියාව ඇති ප්‍රතිකාර ක්‍රමයකි.

මෙහිදී සිදු කරන්නේ උඳු පිටිවලින් සාදා ගන්නා වැටියක් ඇස් වටා තබා එය හොඳින් තදකර ඉතා සුළු වශයෙන් රත් කරනලද ඖෂධීය තෙල් වර්ගයක් වත්කර තැවීමයි. මෙය නිවෙසේ දී අපට සිදු කිරීම අපහසු වන්නේ මෙම ප්‍රතිකර්මය ඒ සඳහා පළපුරුද්දක් ඇති පුද්ගලයකු විසින් සිදු කළ යුතු නිසයි.

මෙහිදී මෙම ප්‍රතිකර්මය ඇස් පියන් වසා ඇස් තුළට තෙල් නොයන ආකාරයෙන් සිදු කළ යුතුයි.

මෙහිදී ඇස්වල ඇති විෂ කොටස් මෙම උඳු පිටි හා තෙල්වලට උරා ගැනීම නිසා ඇස් නිරෝගී වන අතර සිසිලසක් ද ලබා දෙයි.

ඇස්වල ඇති අවපැහැය ඉවත් කරගැනීමට නම් මඳක් රත්කර ගත් කෝමාරිකා යුෂ, රෝස වතුර, දෙළුම් යුෂ, තල තෙල් සම ප්‍රමාණවලින් ගෙන එකට මිශ්‍රකොට එම මිශ්‍රණය ඇස් වටා වෙදැඟිල්ලෙන් ගල්වා සම්බාහනය කළ යුතුයි. මෙහිදී වෙදැඟිල්ලෙන් මෙය කිරීම වැදගත් වන්නේ අතේ පීඩනය අඩුවෙන් ම යෙදෙන ඇඟිල්ල වෙදැඟිල්ල වීම නිසයි.

ඇස් මතට වැඩි පීඩනයක් යෙදීම සුදුසු නොවන නිසා මෙම සම්බාහනය සිදු කිරීම වෙදැඟිල්ලෙන් පමණක් සිදු කළ යුතුයි. රවුමෙන් රවුමට ඖෂධීය මිශ්‍රණය ගල්වමින් ඇස් වටා සම්බාහනය කරන්න. මෙය කිරීමේ දී ද ඇස් වසා සිටීම සුදුසුයි.

දෙළුම් කොළ තැම්බූ වතුරෙන් දෙනෙත් සේදීම, සමන් පිච්ච මල් රැයක් වතුරේ දමා තබා එම වතුරෙන් ඇස් සේදීම, රෝස වතුර, පිපිඤ්ඤා යුෂ පෙඟවූ පුළුන් කැබැලි දෑස් මත තබාගෙන සිටීම ඇස්වල වෙහෙස අඩුකර සිසිලසක් ලබා දීමට සුදුසු ම ප්‍රතිකර්ම වේ. අර්තාපල් ගෙඩියක් අමුවෙන් බ්ලෙන්ඩ්කර එයට එළකිරි ස්වල්පයක් මිශ්‍රකර ඇස් වටා ආලේපකර විනාඩි කිහිපයක් තබා සෝදා හැරීමෙන් ඇස් වටා ඇති කළු පැහැය ඉවත්කර ගැනීමට හැකියාව ඇත.

ආමන්ඩ් ඇට පැය 24 ක් එළකිරිවල පොඟවා එය අඹරා ඇස්වටා ගල්වා තබන්න. මෙම මිශ්‍රණය වේලුණු පසුව වතුරෙන් තෙත්කර ගලවා ඉවත් කරන්න.

මෙය ද ඇස්වලට හොඳ ප්‍රතිකර්මයකි. ඇස්වටා කළු වීම මෙන්ම රැලි වැටීම ද අවමකර ගැනීමට මෙය සුදුසු වේ.

 

 

 

උපදෙස් - ප්‍රවීණ ආයුර්වේද රූපලාවණ්‍ය ශිල්පිනී- ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

 

2592 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 09, සඳුදා 14:23
අදහස් එක් කිරීමට ලොග් වෙන්න