තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 11:45

සොඳුරු රුවකට පොල් තෙල්වල බලපෑම විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
නිරෝගී සම්පත උතුම්ම ලාභය වන්නාසේම මනා රූප සම්පත්තියක් යනු විශේෂයෙන්ම කාන්තාවන්ට ආභරණයකි. නමුත් දැන් කාන්තා, පිරිමි භේදයකින් තොරව රුව රැක ගැනීමට රූපලාවණ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. සැබැවින්ම එය සතුටට කාරණයකි.

 

පසුගිය සතියේදී අපි කතා කළ ජොජෝබා සත්කාරය ඔබට මතක ඇති. ජොජෝබා පිටරටින් ගෙන්වන ඖෂධයක් නිසා එය තරමක් මිල අධික නිසාත් බොහෝ දෙනාට ඒ සත්කාරය කිරීමට අපහසු විය හැකියි. නමුත් අද අප රුව ලස්සන කරන්න යොදා ගන්නේ ලංකාවේදී පහසුවෙන් ලබාගත හැකි ස්වභාවික අමුද්‍රව්‍යයකි.

වර්තමානයේදී රූපය අලංකාර කිරීම සඳහා නොයෙක් කෘත්‍රිම දෑ කෙරේ වැඩිදෙනෙක් යොමුවුවද අතීතයේ රුව රැක ගැනීම සඳහා භාවිත කළ උපක්‍රමයන්ද රූපලාවණ්‍ය ක්ෂේත්‍රය හරහා තවදුරටත් භාවිතයේ යෙදේ. පොල්තෙල් ඊට හොඳම නිදසුනයි.

ආහාර පිසීමට හොඳම තෙල් වර්ගය පොල්තෙල් බව මුළු ලොවම පිළිගන්නා අතර තවද පොල්තෙල් රූපලාවණ්‍ය සඳහා අගනාම අමුද්‍රව්‍යයක් ලෙස ද සනාථ වී ඇත. ඒ නිසා දැන් විදෙස් රටවල් අපගේ පොල්තෙල් රැගෙන සමට ආලේපනද හිසකෙස් සඳහා ආලේපනද නිෂ්පාදනය කර අධික මිලකට අලෙවි කරයි. නමුත් ඔබට පුළුවන් නිවෙසෙහිම හිඳවාගත් හෝ පිරිසුදු කරන ලද පොල්තෙල් භාවිත කරන්න.

පොල් තෙල්වල ගුණ

පොල් තෙල් කියන්නේ ගුණාත්මක බවෙන් ඉතාම වැඩි ස්වභාවික සංයෝගයක්. නිවැරැදිව කොලෙස්ටරෝල් මට්ටම පාලනයට වගේම හෘදයටත් එය හිතකරය. විසබීජ නාශනය, සමට තෙතමනය ලබාදීම, පෝෂණය කිරීම වගේ බොහෝ ප්‍රයෝජන පොල් තෙල් භාවිතයෙන් ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම විවිධ රෝග සහිත සමකට පොල් තෙල්වලින් ලබා ගත හැකි සුවය ඉතා අනර්ඝයි. ඔබ දැනට සම පැහැපත් කර ගන්න, ලස්සන වෙන්න, කුරුලෑ කැළැල් ඉවත් කරගන්න මිලදී ගන්න කෘත්‍රිම සංයෝග වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස පොල් තෙල් හැඳින්විය හැකියි. කෘත්‍රිම ආලේපන මිලෙන් වගේම ශරීරයට විස සහිත දේවල් ද එක් කරයි. ඒත් පොල්තෙල් කියන්නේ ඉතාම ආරක්ෂාකාරි ස්වභාවික සංයෝගයක් නිසා කිසිම බයක් නැතුව මේ ප්‍රතිකර්මයන් කරගන්න ඔබටත් පුළුවන්. පොල්තෙල් සමට හිතකර සේම නිරෝගී කෙස් කළඹක් සඳහාත්, ශරිරයේ බර අඩුකර ගැනීමටත්, ආහාර ජීර්ණයට සහ ප්‍රතිශක්තිකරණයටත් පොල්තෙල් වල අන්තර්ගත පෝෂණය හරි ඉහළයි.

මුඛ පිරිසුදු කාරකයක් ලෙස

පොල් තෙල් මුඛයේ පිරිසුදුකාරකයක් ලෙස භාවිත කළ හැකියි. මුඛයේ ඇති බැක්ටීරියා සියල්ල විනාශ කර මුඛ ආසාදන නැති කරයි. මුඛයේ ප්‍රසන්න සුවඳක් ඇති කරයි. දත් අවපැහැවීම වළකා සුදු කරයි. විදුරුමස් නිරෝගිව පවත්වා ගත හැකියි. එමඟින් ඔබට ප්‍රසන්නවත්, නිරෝගී මුඛයකට හිමිකම් කිව හැකියි.

මේක් අප් ඉවත් කිරීමට

පොල් තෙල් යොදා ගත හැකි තවත් ඉතා සාර්ථක කාර්යයක් වන්නේ මුහුණට දැමූ මේක් අප් එක ඉවත් කිරීමයි. පොල් තෙල් මඟින් වතුරට ඔරොත්තු දෙන මස්කාරා ආලේපය පවා ඉවත් කර ගන්නට හැකියි. මේ සඳහා ඔබ කළ යුත්තේ පුළුන් ගුලි කිහිපයක් සාදා ගෙන ඒවා එකින් එක පොල් තෙල්වලින් පොඟවා මේක් අප් කරන ලද තැන්හි අතුල්ලා පිරිසුදු කිරීමයි. පොල් තෙල්වල කිසිදු හානිකර ද්‍රව්‍යයක් අඩංගු නැති නිසා ඇස්වල තැවරුණත් කිසිම අපහසුවක් දැනෙන්නේ නැහැ. මේ විදිහට ක්‍රමයෙන් මුළු මුහුණේම මේක් අප් ඉවත්කර ගන්නට පුළුවන්. එමඟින් අතිරේක වාසියක් ලෙස ඔබට දිදුලන සමකුත් ලබාදෙනවා.

සම සඳහා

මුහුණ පිරිසුදු කිරීමට ඉතා අගෙයි. එමගින් සම පිරිසුදු වනවා සේම සමට සුසුනිඳු බවක් ද ලැබෙනවා. සම වියැළීම වළකනවා. රැළි වැටීම නැති කරනවා. එමඟින් සම වයසට යාම වළක්වනවා. ඒ නිසා ඔබ කෙතරම් වයසට ගියත් ඔබේ සම නිරෝගීව පැහැපත්ව පවතිනවා. ඒ වගේම පොල් තෙල් සමට හොඳින් උරා ගන්නා නිසා සමෙහි තෙතමනය පවත්වා ගන්නත් පහසුයි. ඒ වගෙම මුළු ශරීරයේම ආලේප කළ හැකියි.මඳක් උණුසුම් කළ පොල් තෙල් ගෙන සමෙහි ආලේප කර සම්බාහනය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. එමඟින් සම මතුපිට ඇති විස නසා සම හොඳින් පිරිසුදු වෙයි. එබැවින් චර්ම රෝග, කුෂ්ඨ දද වැනි ආසාදන සහිත අය සඳහා පොල් තෙල් සත්කාරය ඉතාම යෝග්‍යයි. එමෙන්ම පොල් තෙල් සමට උරාගන්නා නිසා මාංස පේශීන්වලටත් ඉතා අගනා ඖෂධයක්.

හිසකෙස් සඳහා

හිස කෙස් මත පොල් තෙල් ආලේප කිරීමෙන් හොඳ නිරෝගී කෙස් කළඹක් හිමිකර ගත හැකියි. එමඟින් හිස කෙස් පැළීම වළක්වයි. කෙස් වල ඝනත්වය වැඩි කරයි. හිස කෙස් හොඳින් වර්ධනය කරන අතරම හිස කෙස් වැටීම වළක්වයි. කෙස් කැඩීයාම වළක්වා කෙස් සුදු වීම වළක්වයි. එමෙන්ම දුර්වර්ණ වීම ද වළකාලයි. තවද පොල් තෙල් හිස මත ආලේප කිරීමෙන් හිස්හොරි ඇතිවීම වළකාලයි. පොල් තෙල් ආලේප කිරීමෙන් නිරෝගී කෙස් කළඹක් මෙන්ම නිරෝගී හිස් කබලක් ද හිමි කර දෙයි. තවද මද උණුසුම් පොල් තෙල්වලින් හිස සම්බාහනය කිරීමෙන් මනස සුවපත් වේ. එමඟින් නිවැරැදි තීරණ ගැනීමට ද හැකි වේ.

පැහැපත් දෙතොලකට

දෙතොල් මත පොල් තෙල් ආලේප කිරීමෙන් හා සම්බාහනය කිරීම තුළින් වියළි, ඉරිතැලුණු ස්වභාවය මඟහැරි ලස්සන දිදුලන නිරෝගි තොල් සඟළක් හිමිකර ගත හැකිය. එමගින් සම මෙන් තුන් ගුණයක් සියුම් පැහැපත් තොල් සඟලක් හිමි වේ.

තවද පොල් තෙල් ආලේප කිරීමෙන් දිගු ඇහි පිහාටු සහ ඝන ඇහිබැමක් ද හිමි කර දෙයි.

තවද ගර්භණි සමයේදී සම ඇදීමට Stretch marks) ලක්වීමෙන් ඇති කරන අවලස්සන බවත් ඒ සළකුණුත් අවම කර ගන්න පොල්තෙල්වලට හැකියාව තිබෙනවා.

පොල් තෙල්වල විටමින් ඒ, ඕ, ඡ්, ම්, ච් ද ඊට අමතරව තවත් බොහෝ වවිටමින් වර්ග අඩංගුය. තවද මිනරල්, කැල්සියම්, මැග්නීසියම්, සින්ක්, අයන් සහ ඇමයිනෝ අම්ලය ද අන්ර්ගතය. පොල් තෙල්වල විශේෂ උරාගැනීමේ හැකියාව නිසා සම මතුපිට මෙන්ම අභ්‍යන්තරය ද එක ලෙස පෝෂණය කරයි.

නමුත් මේ සියලු සත්කාරයන් කළ යුත්තේ පිරිසුදු පොල් තෙල්වලින් හෝ ගෙදරදීම හිඳවාගත් පොල් තෙල්වලින් පමණක්ම බව මතක තබාගන්න. එවිට ඔබටත් නිවෙසේ සිටම පොල්තෙල් භාවිත කර ලස්සන රුවක හිමිකාරියක් වන්නට හැකියාව ලැබෙයි.

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම  Degreens Salon

 සහ නුගේගොඩ Seven Look, හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

 

 

700 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 11:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න