තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 13:02

ෆේෂල් එකක් කරන නිවැරැදි ක්‍රමය හඳුනා ගැනීම ඔබට හරිම වැදගත් විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(1 මනාපය)
    ඉතාමත් සීඝ්‍රයෙන් දියුණු වන ක්ෂේත්‍රයක් වන රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ දී NVQ Level 3, 4 සමත්ව තිබීමේ වටිනාකම ඔබට මේ වන විට අවබෝධ වී ඇතැයි සිතමි.

 

NVQ පාඨමාලාවකින් අනතුරුව ක්ෂේත්‍රයට පිවිසෙන රූපලාවණ්‍ය ශිල්පීන්ට වෘත්තීමය දැනුම වර්ධනය කර ගැනීමට තරුණී හරහා මේ ලබා දෙන දැනුම ඉතාම වැදගත්.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ දී ෆේෂල් සත්කාරයන් සඳහා වැඩි ඉල්ලුමක් පවතී. ඒ නිසා ෆේෂල් සත්කාරයන් කිරීමේදී ඒ සඳහා නිසි පුහුණුවක් ලබා තිබීම අවශ්‍යයයි. ෆේෂල් එකක් යනු සම සඳහා කරනු ලබන සත්කාරයකි. මෙහිදී වඩාත් සැලකිය යුතු කරුණ වන්නේ ප්‍රතිකාර කිරීමට පෙර එය කුමන වර්ගයේ සමක්දැයි හඳුනාගෙන තිබීමයි.

ඊට පෙර නිවැරැදි උපදේශන ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුයි. පළමුව සේවාලාභියාට සුබපතා පිළිගෙන ඔබව හඳුන්වා දෙන්න. මෙහිදී සේවාලාභියාට වඩාත් නිවැරැදි සත්කාරයන් ලබාදීමට ඔබට දැනුවත්භාවයක් තිබිය යුතුයි. එම උපදේශනයේදී,

1. සත්කාර පිළිබඳ ප්‍රධාන තොරතුරු වාර්තාගත කරන්න.

2. එම සත්කාරය සේවාලාභියාට උචිතදැයි සලකා බලන්න.

3. සිදු කරන ආකාරය සහ මිළ ගණන් පවසන්න.

4. සේවාලාභියාට ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබා දෙන්න.

5. හොඳ සම්බන්ධතාවයක් හා විශ්වාසයක් ගොඩ නඟා ගනිමින් ඵලදායි සත්කාරයක් ලබා දෙන්න.

පළමු උපදේශනයේදීම සේවාලාභියාගේ තොරතුරු වර්තාගතව තබාගන්න අමතක නොකරන්න.

 

සත්කාර සැලැස්ම

සෑම සත්කාරයක් කිරීමට පෙර සේවාලාභියාට තමන් අපේක්ෂා කරන ප්‍රතිඵල සඳහන් කරන්න.

පුද්ගල ඉඩකඩ

පුද්ගල ඉඩකඩ යනු පුද්ගලයකු සහ තමා අතර පවතින ඉඩකඩයි. බොහෝ විට රූපලාවණ්‍ය සත්කාරයන් කිරීමේදී ඔබට සේවාලාභියාගේ පුද්ගල ඉඩ වෙත නිතර ළඟාවීමට සිදු වේ. එම නිසා එහිදී පුද්ගලයන්ට ඇතිවන හැඟීම් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

 

ආත්මීය පරතරය

මෙහිදී ද කතා කරනු ලබන්නේ පුද්ගලයකු අතර පවතින ඉඩ ප්‍රමාණය පිළිබඳවයි. එහිදී පුද්ගලික පරතරය සෙන්ටි මිටර් 45 ක් හෝ 120 ත් අතර පැවතිය යුතුයි. සමාජීය පරතරය සෙන්ටි මීටර් 120 සිට මීටර් 3.7 දක්වා පැවතිය යුතුයි.

 

ෆේෂල් කිරීමේ ප්‍රධාන  අරමුණු

එහි අරමුණ නම් සම පිරිසුදු කිරීම, මැරුණු සෛල ඉවත් කිරීම, මාංශ පේශීන් ශක්තිමත් කිරීම, සමට විවේකය ලබාදීම, සමට පෝෂණය ලබා දීම, සම වියපත් බවින් මුදවා ගැනීම, සමේ නඩ අගය සමතුලිතව පවත්වා ගැනීම සහ සමෙහි ඉලාස්්ටික් සහ කොලජන් ප්‍රමාණය වැඩි කර ගැනීමයි. මේ සියලු කරුණු ෆේෂල් එකක් හරහා සිදු වේ.

ෆේෂල් සත්කාරයක් කිරීමට පෙර ආයතනයේ උෂ්ණත්වය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි. එමෙන්ම ඒ සඳහා ලබා දිය යුතු ආලෝකය පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත්.

තෝරා ගන්නා ස්ථානය ඉතා පිරිසුදු හා නිස්කලංක විය යුතුයි. බිත්ති සහ තිර රෙදි ලා පැහැති විය යුතුයි. සරල සංගීතයක් තිබිය යුතුයි. රූපලාවණ්‍ය ශිල්පිනිය ලා පැහැති ඇඳුමක් ඇඳ ඉතා පිරිසුදුව සිටිය යුතුයි. සේවා ට්‍රොලිය සකසා තිබිය යුතුයි.

 

ෆේෂල් එක සඳහා  අවශ්‍ය ද්‍රව්‍ය

ෆේෂල් පුටුව, ඇඳ, හෙයා බැන්ඩ්, ෆේෂල් ගවුම, මැග්නිෆයින් ලාම්පුව, ස්කින් ඇනලයිසරය වැනි උපකරණ ද ගැල්වනික්, ස්පොන්ජ් මේ සඳහා අවශ්‍ය වේ. මේවා තෝරා ගැනීමේදී කල් ඉකුත් නොවූ පිළිගත් වෙළඳ නාමයක් සහිත ආලේපන භාවිත කරන්න.

 

සේවාලාභියා සූදානම්  කළ යුතු ආකාරය

පළමුව සේවාලාභියාගේ මනස ද නිරවුල් තත්ත්වයකට පත් කළ යුතුයි. කන, කර ආභරණ ඉවත් කර සුදුසු ස්ථානයක තැබීමට උපදෙස් දිය යුතුයි. පාවහන් ඉවත් කළ යුතුයි. තනිවම ඇඳුම් මාරු කිරීමට අපහසු නම් ඒ සඳහා සහායිකාවකගේ සහය ලබා දිය යුතුයි.

ඉන් පසුව ඇඳෙහි වැතිරීමට සලස්වන්න. ඇඟට තුවායක් එලන්න. හෙඩ් බෑන්ඩ් එකක් ගෙන හෙයාර් ලයින් එක මත රඳවා ගන්න. හිස කෙස් ෂවර් කැප් එකකින් හෝ තුවායකින් ආවරණය කර ගන්න.

දැන් ෆේෂල් එක අරඹන්න පුළුවන්. පළමුව මුහුණ හොඳින් ක්ලෙන්සර් කර ගත යුතුයි. ක්ලෙන්සර් කිරීම මඟින් සම මතු පිට ඇති කුණු දූවිලි පමණක් නොව රෝම කූපවල ඇති කුණු, දූවිලි සහ මේකප් වර්ග හොඳින් පිරිසුදු වී යයි. ක්ලෙන්සර් වර්ග අතර ක්‍රීම් ක්ලෙන්සර්, ජෙල්, ක්ලෙන්සින් බාර්, ක්ලෙන්සින් සෝප් භාවිත කිරීමට පුළුවන්.

දෙවනුව ස්ක්‍රබ් කිරීම කළ යුතුයි. ස්ක්‍රබ් කළ හැකි ආකාර දෙකකි. එනම් එන්සයිම පාදක කරගත් ස්ක්‍රබ් හා යාන්ත්‍රිකව පාදක කරගත් ස්ක්‍රබ්ය. එහි ඇති කුඩා කැට මඟින් මැරුණු සම ඉවත් කරයි. ස්ක්‍රබ් එකක් සැම විටම රවුම් ආකරයට කළ යුතුයි. මේ සඳහා ගත වන කාල සීමාව සමෙහි ස්වභාවය අනුව තීරණය වේ.

 

එක්ස්පොලියන් කිරීම

මෙමඟින් මැරුණු සෛල ඉවත් කරයි. ගැඹුරු පිරිසුදු බවක් ලැබේ. මෙය ආකාර දෙකකින් කළ හැකිය. එනම්, යාන්ත්‍රික උපකරණ මඟින් සහ දියමන්ති හිසක් සහිත කුඩා උපකරණයකින්.

ඉන් අනතුරුව ස්ටීම් කරගත යුතුයි. මෙය සිදු කිරීම අනිවාර්ය නොවේ. ජලයෙන් ලැබෙන හුමාලයෙන් ස්ටීම් කිරීම මෙහිදී සිදු වේ. ස්ටීම් කරන විට සේවාලාභියාගේ ඇස් මත සිසිල් ජලයෙන් පෙඟ වූ අයිපෑඩ්ස් තබන්න. ඉතා වියළි සමක් නම් ඔලිව් තෙල් පෙඟ වූ ගෝස් කැබැල්ලක් මුහුණෙහි එලා ස්ටීම් කර ගන්න.

 

සම්බාහනය කිරීම

ෆේෂල් සත්කාරයෙහි වඩා වැදගත් කොටස සම්බාහනයයි. එමඟින් විශාල සත්කාරයක් ලැබේ. මෙය විනාඩි 20 ක් කළ යුතුයි. මෙමඟින් කායික මෙන්ම මානසිකව ද සහනයක් ලැබේ. සමෙහි තත්ත්වය වැඩි දියුණු වේ. රුධිර සංසරණය ක්‍රමවත් කරයි. අභ්‍යන්තර සෛලවලටත් පෝෂණය ලැබෙයි.

මෙහිදී ලිස්සා යාමෙන් දෑත්වල ඇඟිලි, මුහුණ මත යවා සම්බාහනය කළ යුතුයි.

සම්බාහන ක්‍රම 5 කි.

Effeyraye - මෙය අත්ලේ ඇඟිලි තුඩු මඟින් අරඹයි.

Petriffate  - අත්හැරීම සහ තෙරපීම මඟින් මාංස පේශීන් සහ ඉන්ද්‍රියන් හි පටක තෙරපීම සිදු කරයි.

Priction  -ඉක්මනින් සිදු කරන චලනයකි.

Tapotment  - සැහැල්ලු කෙටි චලනයන්ගෙන් කරන සම්බාහනයකි.

Vibration - සුළු රිදීමක් සමඟ සිදු කරන චලනයකි.

මේ ෆේෂල් එක කිරීමේදී මේ සියලු ක්‍රම අනුගමනය කරයි. එක් එක් ක්‍රමයන් සම්බන්ධ කරන විට පළමු ක්‍රමය අනිවාර්යෙන් කළ යුතුයි. ඉන් පසු සමට ගැළපෙන පරිදි පැක් එකක් භාවිත කළ හැකියි. තර්මෝ පැක්, වයිට්නින් පැක්, කැරටින් පැක්, ග්ලෝ පැක් ආදී පැක් වර්ග මේ සඳහා භාවිත කළ හැකියි. පැක් එක ආලේප කර විනාඩි 20 කින් ඉවත් කර ටෝනර් ඒකක් භාවිත කරන්න.

දැන් ඔබට ෆේෂල් එකකදී අනුගමනය කළ යුතු සියලුම කරුණු පිළිබඳව දැනුවත්භාවයක් ලැබී ඇති. මේ කරුණු ඔබේ NVQ විභාගය ජය ගැනීමට අත්වැලක් කර ගන්න.

 

 

 

 

උපදෙස්

Chamalie Kaldera Hair Design & Beauty Academy

මනාලි රූ මැඳුර, සැලෝන් චිත්මල් සහ ආයුර්වේද අත්‍රි යන ආයතනයන් හි අධිපතිනිය, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාමලී කල්දේරා

905 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 13:10
අදහස් එක් කිරීමට ලොග් වෙන්න