තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2012 ජූනි 24, ඉරිදා 18:01

ඕනෑම මනාලියකට ගැළපෙන මල් මෙහි අඩුමිලට

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(7 මනාප)
බංගසාල වීදියේ මල් මල් ලෝකයට පිවිසෙමු. පින්බර යුවතිය සොඳුරු මනාලියක වී කුලගෙයට පිවිසෙන දා ඇය සැබවින්ම සුන්දරයි. ඇයගේ මේ සුන්දරත්වය ඔප් නංවන්නට ගත දවටනා සාරියේ සිට සියලුම ඇඳුම් පැළඳුම් මෙන්ම අතරැඳි මල් කළඹ පවා දක්වන්නේ අපූරු දායකත්වයකි. මේ නිසාම ඕනෑම යුවතියක් මනාලියක වන්නට සැරසෙද්දී තම රුව හැඩවැඩ කරනා මෙවැනි අංගෝපාංග පිළිබඳ දක්වන්නේ වැඩි උනන්දුවකි.

විශේෂයෙන්ම තමන්ගේ රුචිකත්වයට සහ පෙනුමට ගැළපෙන පරිදි සාරිය, සපත්තු, ආභරණ, මල්කළඹ, හිස් පළඳනා තෝරා ගැනීමට වෙහෙසෙන අතර තමන් අතරැඳි මුදලට මේ ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි ස්ථාන කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කරති.

කොළඹ සවාරිය ඔස්සේ හැමදාමත් මෙවැනි ස්ථාන බොහොමයක් හඳුන්වා දුන්නා ඔබට මතක ඇති. විශේෂයෙන්ම මනාලියගේ මල් කළඹට පමණක් නොව මංගල උත්සවය කලඑළි කරනා මල් සැරසිලි අඩු මිලට ලබාගත හැකි බංගසාල වීදිය එයින් එක් ස්ථානයකි.

නේක වර්ණයේ කෘත්‍රිම මලින් පිරී ගිය මේ අපූරු මල් පුරවරය ගැන විමසා ලැබෙන දුරකතන ඇමතුම්වලින් නම් තව අදටත් අඩුවක් නොවේ.

අන්න ඒ නිසයි අපි අදත් මේ බංගසාල වීදිය ඔස්සේ පුංචි සංචාරයක නිරත වන්නට සිතුවේ.

හැබැයි... අද අපි ඔයාලට හඳුන්වා දෙන්නේ නිවෙස හැඩකරන මල් නොව මනාලියන්ගේ සුන්දර මල් කළඹවල් හැඩකරන්නට වෙළෙඳපොළට එකතු වූ අලුත්ම කෘත්‍රිම මල් පමණක්මයි.

මේ දවස්වල බංගසාල වීදියේ කඩ සාප්පුවල වැඩිම ඉල්ලුමක් ඇත්තේ කැට්ලියා ඕකිඩ් මලටයි. සුදු පැහැය, ක්‍රීම් පැහැය සහ සුදු මලෙහි මැද කොටස කහ පැහැය ගන්නා මල් වශයෙන් වර්ණ කිහිපයකින්ම දකින්නට ලැබෙන මේ කැට්ලියා ඔබට ඉති වශයෙන් මිලදී ගත හැකිය. ලොකු මල් 07 ක් ඇතුළත්වන මේ ඉත්තක මිල රුපියල් 390 ක් පමණ වෙයි.


ඊට අමතරව වෙළෙඳපොළට එකතු වූ අලුත්ම මල වූ සූරියකාන්ත මලට ද ඇත්තේ කදිම ඉල්ලුමකි.

දෙවැනි ගමනේ මල් කළඹ සඳහා බෙහෙවින් භාවිතවන මේ මල රතු සහ කහ වර්ණයෙන් මිලදී ගත හැකිය.

මල් 13 ක් සහිත මෙම සූරියකාන්ත කිනිත්තක් සඳහා ඔබ වැය කළයුත්තේ රුපියල් 425 ක් වැනි මිලකි.

මල් ලොව අග රැජින රෝස මලට වෙළෙඳපොළේ ඇති ඉල්ලුම කිසිදිනෙක අඩු නොවේ.

රතු, සුදු, කහ, නිල්, කොළ, දම් ආදී විවිධ වර්ණයෙන් එන මේ මල් වර්ග දෙකකි.

ඒ රෙදි මල් සහ මෘදු රබර්වලින් කළ මල් වශයෙනි.

ලොකු, කුඩා, මධ්‍යම ප්‍රමාණවලින් මිලදී ගතහැකි මේ රෝස කිනිත්තක් රුපියල් 100 – 200 ත් අතර මිලක්වන අතර රෙදි රෝස මල් රුපියල් 100 ත් 375 ත් අතර වේ.

ඔබ කුඩා රෝස බඩ් සහිත මල් කිනිත්තක් තෝරා ගන්නේ නම් ඒ සඳහා රුපියල් 110 ක් පමණ වැය කළයුතු වේ.

රෝස, කැට්ලියා ආදියට අමතරව මනාලියන්ගේ මල් කළඹ සඳහා ඕකිඩ් මල් මෙන්ම ලිලී මල්, ජර්බරාස් මල් ද යොදා ගැනේ.


වර්ණ කිහිපයකින්, ප්‍රමාණ කිහිපයකින් මිලදී ගත හැකි මේ ඕකිඩ් කිනිති රුපියල් 225 සිට 450 දක්වා මිල ගණන් යටතේ දැකිය හැකියි.

සුදු පැහැයෙන් සහ රතු පැහැයෙන් දකින්නට ලැබෙන ලිලී මල් වර්ග කිහිපයක් ද මේ මල් පුරවරයේ වේ.

එයින් මල් 07 ක් සහිත ටයිගර් ලිලී කිනිත්තක් රුපියල් 195 කටත්, මල් 09 ක් සහිත මැඩෝනා ලිලී ඉත්තක් රුපියල් 275 සිට 340 දක්වා මිලදී ගත හැකි අතර ඒරම් ලිලී මල් 18 ක් රුපියල් 425 ක් වැනි මිලක් වේ.

ඊට අමතරව විවිධ වර්ණයේ ජර්බරාස් සහ කානේෂන් මල් ද මෙහි දැකිය හැකිය.

රුපියල් 125 සිට 375 දක්වා ජර්බරා මල් කිනිති සේම තරමක් ලොකු කානේෂන් කිනිත්තක් ද රුපියල් 125කට ඔබට මිලදී ගත හැකි වේ.

සම්ප්‍රදායික ක්‍රමයට ඔසරියෙන් සැරසෙන බොහෝ මනාලියන් තම මල් කළඹ සඳහා තෝරා ගන්නේ නෙළුම් පොහොට්ටු, අරලිය වැනි මල් වර්ගය.

මෙවැනි කෘත්‍රිම මල් ද බංගසාල වීදියේ දක්නට ලැබෙන අතර පාට කිහිපයකින් එන අරලිය මල් අත්තක් රුපියල් 15 ක් වැනි මිලකටත්, කොළ සහිත නෙළුම් පොහොට්ටුවක් රුපියල් 30 කටත් මිලදී ගත හැකිය.


ලොකු කුඩා මෙවැනි සුන්දර මල් මෙන්ම කොළ ඉති, මල් පොහොට්ටු, මල් රේණු ආදිය ද මල් කළඹක් සෑදීමට යොදා ගැනේ. එලෙස භාවිත කරන අයිවි කොළ වර්ග 20 ක් පමණ වේ.

මේ අත්තක් රුපියල් 85 ක් වැනි මිලකටත්, උණ කොළ ඉත්තක් රුපියල් 125 කටත්, ෆර්න්ස් ඉත්තක් රුපියල් 50 ක් වැනි මිලකටත් මෙහිදී ලබා ගත හැකියි.

ඊට අමතරව කුඩා බේබිස් බ්‍රේත් කිනිත්තක් රුපියල් 30 සිට 50 දක්වා මෙහි අලෙවිවන අතර හිස් පළඳනා සඳහා භාවිත කරන මල් රුපියල් 50 කට මිලදී ගත හැකියි.

මෙලෙස මල් මිලදී ගෙන මල් කළඹක් සකසා ගැනීමට ඔබට කාල වේලාවක් නැතිනම් තමන් කැමැති මල් වර්ගය, හැඩය, වර්ණය පවසා සොඳුරු මල් කළඹක් සකස්කර ගැනීමේ හැකියාව ද මෙහි තිබේ.

රුපියල් 1500 සිට 5000 දක්වා විවිධ මිල ගණන් යටතේ සාදවා ගත හැකි මේ මල් කළඹක් සඳහා ඔබ ඇණවුමක් භාරදෙන්නේ නම් දින 10 කට ප්‍රථම එය ලබාදීමට අමතක නොකරන්න.

සතියේ දින පහත්, සෙනසුරාදා දිනයේත් උදෑසන 9.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘතව තැබෙන මෙම කඩ සාප්පු ඉරිදා සහ පෝය නිවාඩු දිනයන් හී වසා ඇත.
 

මෙම තොරතුරු සහ ඡායාරූප ගැනීමට සහයෝගය ලබාදුන් බංගසාල වීදියේ, ෆ්ලවර් සෙන්ටර් ආයතනයට සහ නිර්මාණ ශිල්පී මොහොමඩ් ෆයිසර් මහතාට අපගේ විශේෂ ස්තූ®තිය පිරිනැමේ.
‍‍

ඡායාරූප – නිරෝෂ් ප්‍රියංක

15536 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 09, සඳුදා 08:36
මේ යටතේ එන අනෙකුත් ලිපි: මංගල දිනයට සොඳුරු මල් කළඹක් »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න