තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ආභරණ සපයන්නෝ සිරස්තල

2018 මාර්තු 06, අඟහරුවාදා 12:11

රත්තරන්වල ප්‍රමිතිය හරියටම දැනගන්න හෝල් මාක් තිබේදැයි බලන්න විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
කාන්තාව සහ ස්වර්ණාභරණ අතර පවතිනුයේ අතිශයින් කිට්ටු සබැඳියාවකි. ඇතැම් විටෙක කාන්තාව රන් ආභරණයකට සම කරන්නේ කාන්තාවගේ වටිනාකමත් ස්වර්ණාභාරණයකට සමවන නිසාමයි.

 

අද වෙළෙඳ පොළ තුළ ඇති භාණ්ඩ අතුරින් වටිනාකමින් වගේම මිල අධිකම භාණ්ඩයක් ලෙස සැලකෙන ස්වර්ණාභරණ කාන්තාවන් වැඩි වශයෙන් පැලඳුවද ඔවුන් ඒවායෙහි ප්‍රමිතිය පිළිබඳ දැනුවත් ද? ඒ පිළිබඳ ඔබව වැඩි දුරටත් දැනුවත් කිරීමක් ලෙස ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේෂ් ගම්මම්පිල මහතා මෙසේ අදහස් දැක්වූහ.

වෙළෙඳ පොළේ ඕනෑම භාණ්ඩයක්, මිලදී ගැනීමේ දී එහි නිෂ්පාදකයා කවුද? නිෂ්පාදනය කරලා තියෙන්නේ කවදා ද? කල් ඉකුත් වන්නේ කවදා ද? ඒ වගේම එය නිෂ්පාදනය කීරිමට යොදාගත් අමුද්‍රව්‍ය මොනවාද කියලත් බලනවා. මෙය රුපියලේ දෙකේ භාණ්ඩයේ ඉඳන් ඉහළ මිල ගණන්වල භාණ්ඩ දක්වා ම බලනවා. නමුත් ලංකාවේ පාරිභෝගිකයා ඔහුගේ ජිවිත කාලයේදී ගන්නා වටිනාම භාණ්ඩ එහෙමත් නැත්නම් වටිනාම අවස්ථාවකදී සැමරීම සඳහා මිළදී ගන්නා ස්වර්ණාභරණවල නිෂ්පාදකයා කවුද? එහි කැරට් ප්‍රමාණය නිවැරැදි ද? එය නිෂ්පාදනය කළ පුද්ගලයා නියමිත ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කරලා තියෙනවා ද? එහෙම නැත්නම් මෙම ස්වර්ණාභරණයේ රත්රන්වලට අමතරව වෙනත් ලෝහ මිශ්‍ර කරලා තියෙනවාද කියලා බලන්නේ නැහැ.

ඔබේ ස්වර්ණාභරණවල ප්‍රමිතිය තහවුරු කරගන්න ඔබට අවස්ථව තියෙනවා. ඒවා තහවුරු කරගැනීම සඳහා වන ආයතනය තියෙන්නේ ජාතික ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරිමේ කාර්යංශයේයි. මෙය මුළු ලෝකයම පිළිගන්නා ආයතනයක්. ලංකාවේ ස්වර්ණාභරණ ප්‍රමිතිය සහතික කිරීමට ඇති එකම ආයතනය ද මෙයයි. ඕනෑම කෙනකුට තම ස්වර්ණාභරණවල තත්ත්වය සනාථ කරගැනීමට අවශ්‍ය පහසුකම මෙහි තියෙනවා. ඊට අවශ්‍ය රසායනාගාර සහ උපකරණ මේ ආයතනය සතුයි. දැනට කොළඹ වගේම ගාල්ලෙත් මේ වගේම ශාඛා පිහිටා තියෙනවා.

ලෝකයේම ස්වර්ණාභරණ සම්බන්ධයෙන් ප්‍රමිතීන් තියෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් කැරට් 22 ක ස්වර්ණාභරණකට ලෝහ කොටස් 1000කින් රත්රන් කොටස් 916 ක් තියෙන්න ඕනේ. කැරට් 18ක ස්වර්ණාභරණයක් නම් ලෝහ කොටස් 1000 කින් රත්රන් කොටස් 750 ක් තියෙන්න ඕනේ. ඒ වගේම අනෙකුත් වටිනා ලෝහ සහිත ස්වර්ණාභරණ සඳහාත් මේ ආකාරයට ප්‍රමිතීන් මොනවාද යන්න ස්වර්ණාභරණ අධිකාරී පනතට අනුව 2006 මාර්තු 17 වැනි දින 1436/21 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පැහැදිලිව සඳහන් කරතිබෙනවා. රන් ආභරණ, රිදී ආභරණ, ප්ලැටිනම් ආභරණ සඳහාත් තිබිය යුතු ප්‍රමිතීන් එහි දක්වා තිබෙනවා.

නමුත් පාරිභෝගිකයා මේ වනතෙක්ම බොහෝ විට මිලදී ගනු ලැබුවේ මෙම ප්‍රමිතීන්ට අනුකූල නොවන ආභරණයි. හේතුව, පාරිභෝගිකයා විශ්වාස කරනවා තමා සතු ස්වර්ණාභරණ උකස් කිරීමට හැකියාවක් ඇත්නම් එය නිවැරැදි ප්‍රමිතියට අනුකූලව සැකසුණු ස්වර්ණාභරණ බව. ජීවිතයේ වටිනාම අවස්ථාවක දී එහෙමත් නැත්නම් දරුවකු ඉපදුණු විට, දැරියක් වැඩිවිය පත් වූ විට, මංගල්‍යයකදී ගන්නා ස්වර්ණාභරණ වුණත්, අපේ ආර්ථික තත්ත්වයත් එක්ක බොහෝදෙනා බලන්නේ මේක උකස් කරගන්න හැකිද යන අරමුණින් එම ස්වර්ණාභරණය බැංකුවකින් උකසට ගන්නවානම් ඔබ හිතනවා මෙය නිවැරැදි ප්‍රමිතියට තියෙනවා කියලා. නමුත් බොහෝ සොයා බැලීම්වලින් අනාවරණය වූයේ ඒවා නිවැරැදි ප්‍රමිතියෙන් තොර ස්වර්ණාභරණ බවයි.

කොහොමද හොඳයි කියන්නේ

 

ඔබ කැරට් 24-22 කියා මිලදී ගන්නා ආභරණවල නිවැරැදි ප්‍රමිතියටම රත්රන් ඇතුළත් නොවෙන්න පුළුවන්. ඒ නිසාම ස්වර්ණාභරණ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව ප්‍රමිතිය සහතික කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම්කර තිබෙනවා. ඒ සියලු කටයුතු ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ සිදු කරනවා. එහිදී ස්වර්ණාභරණ හෝල් මාර්ක් කිරීමක් සිදු කරනවා. හෝල් මාර්ක් යනුවෙන් හඳුන්වන්නේ ප්‍රමිතිය සහතික කිරීමේ මුද්‍රාවයි.

 

හෝල් මාර්ක් සහ ෂොප් මාර්ක්

 

කුඩාම ස්වර්ණාභරණයේ සිට විශාලම ස්වර්ණාභරණය දක්වාම මේ හෝල් මාර්ක් එක තැබිය හැකියි. එහිදී ඔබේ කරාබුව පවා හෝල් මාර්ක් කරන්න පුළුවන්. ඔබ ස්වර්ණාභරණ මිලදී ගන්නා විට ඒ ආයතනයෙන් අත්කාචයක් ඉල්ලාගෙන බලන්න. ඒ එක් එක් ස්වර්ණාභරණවල හෝල් මාර්ක් එක තිබෙනවා ද කියා. හෝල් මාර්ක් එක කුඩා නිසා එය පියවි ඇසට එතරම් පෙනෙන්නේ නැහැ. හෝල් මාර්ක් එක සටහන්ව තිබුණහොත් එය නිවැරැදි ප්‍රමිතියෙන් යුතු ස්වර්ණාභරණයකි. ඒ නිසා ඔබට කිසිම බියක් සැකයක් නැතුව මිලදී ගන්න පුළුවන්.

ඊළඟට ඔබ පරීක්ෂා කළයුතු දෙවැනි කරුණ වන්නේ ඔබ මිලදී ගන්නා ස්වර්ණාභරණවල නිෂ්පාදකයාගේ සලකුණ එහෙමත් නැත්නම් ෂොප් මාර්ක් එක සටහන්ව තිබෙනවා ද කියලා. ඔබ ස්වර්ණාභරණයක් මිලට ගන්නා විට එම ආයතනයේ නම පිළිබඳ පමණයි උනන්දු වන්නේ. කොහොමද සනාථ කරන්නේ ඒ මිලදී ගත් ස්වර්ණාභරණය ඒ ආයතනය විසින්ම නිපදවූ එකක් ද කියලා. එය නිවැරැදිව තහවුරු කරගන්න නම් අදාළ ස්වර්ණාභරණයේ නිෂ්පාදකයාගේ සලකුණ තිබිය යුතුමයි.

එහිදී අදාළ ස්වර්ණාභරණ ආයතනය හෝ නිෂ්පාදකයා ස්වර්ණාභරණ අධිකාරිය වෙත පැමිණ මෙහි ලියාපදිංචි වී ෂොප් මාර්ක් එක වගේම හෝල් මාර්ක් එකත් ලබාගන්න පුළුවන්. තවත් ආයතනයකට එකම ෂොප් මාර්ක් එකක් නොයායුතු නිසයි ලියාපදිංචි විය යුත්තේ. දැනටම ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්ට හා ආයතනයන් සඳහා දැනුවත් කිරීමක් මේ වන විට සිදුකරමින් පවතිනවා. මේ වන විට ආයතන 2100 ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා. ඉදිරියේ දී සියලුම ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් ලියාපදිංචි කිරීමට වගේම හෝල් මාර්ක් එක ලබාදීමටත් කටයුතු කරනවා.

ස්වර්ණාභරණ කර්මාන්තය මේ වන විට පැවතියේ විශ්වාසය මත පදනම්ව, නැත්නම් එම ආයතනයට ඇත්තේ ප්‍රසිද්ධ නමක් නම් ඔබ හිතනවා එම ස්වර්ණාභරණ ප්‍රමිතියෙන් යුතු ඒවා බව. එහෙත් ඔබ ස්වර්ණාභරණ අලෙවි ආයතනයකට ගියත් රන්කරු වෙත ගොස් ස්වර්ණාභරණ සැකසූවත් විශ්වාසය මත පදනම්ව පමණක් ඔබ ස්වර්ණාභරණ මිලදී ගතයුතුද යන්න දෙවරක් සිතිය යුතු නොවේ ද? නමුත් ෂොප් මාර්ක් එක සහ හෝල් මාර්ක් එක නිසා එම සැකය ඔබට දුරුකර ගත හැකියි.

සුදුසුම රත්තරන්

ඒ වගේම ස්වර්ණාභරණ ගැන කතා කරන විට ස්වර්ණාභරණ සැකසීමට වඩාත් යෝග්‍ය වන්නේ කැරට් 14-18 වැනි අඩු මට්ටමේ කැරට් ප්‍රමාණයන්. කැරට් 24-22 සහිත ස්වර්ණාභරණ ඉක්මනින්ම කැඩෙනවා. ඒ වගේම මැණික් ගල් ඔබ්බවන්නත් අපහසුයි. මැණික් ගල් වැටෙන්න ඉඩකඩ බොහොම වැඩියි. බොහොමයක් රටවල ද මැණික් සහිත ස්වර්ණාභරණ සඳහා යොදා ගන්නේ කැරට් 14-18 වැනි අඩු අගයන්. මැණික් ගල් ගැන කතා කරන විට බොහෝ පාරිභෝගිකයන් පෙළඹිලා තියෙනවා විවිධ විදේශ රටවලින් ගෙන්වන ලද ප්ලාස්ටික් සහ වීදුරු කෑලි සහිත ස්වර්ණාභරණ මිලදී ගන්න. ඇතැම් විට ඒවා නිවැරැදි මැණික් ගල් සහිත ස්වර්ණාභරණවලට වඩා ඒවා මිලෙන් වැඩියි. ඒ නිසා මැණික් ගල් සහිත ස්වර්ණාභරණ ගැනීම ඊට වඩා ලාභදායී වෙන්න පුළුවන්.

ඒ වගේම බොහෝ දෙනා ආභරණ මිලදී ගන්නේ උකස් කිරීමේ අරමුණින් බොහෝ විට කැරට් 22 කට අඩු ස්වර්ණාභරණ උකස් කිරීමට අපහසුයි. ඒ වගේම ගල් අල්ලපු ස්වර්ණාභරණත්. ඒ නිසා ඉදිරියේ දී එවැනි අඩු කැරට් ප්‍රමාණයක් සහිත ස්වර්ණාභරණත් උකස් කිරීමට හැකිවන ලෙස නීතියක් සකසන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. දැනට ඒ පිළිබඳ සාකච්ඡා මට්ටමේ පවතින නිසා ඒ පිළිබඳවත් ඉක්මන් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

සැකයක් ඇත්නම්

 

ඒවගේම ඔබ පාවිච්චි කරන ස්වර්ණාභරණ පිළිබඳ සැකයක් ඇත්නම් ස්වර්ණාභරණ අධිකාරිය වෙත පැමිණ ඒවා නිවැරැදි ප්‍රමිතියෙන් යුතු ඒවාද යන්න පරීක්ෂා කර බලාගන්න පුළුවන්. එම ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමේදී එක් ඒකකයකට සුළු මුදලක් අයකරගනු ලබනවා. එක් ඒකකයක් යනුවෙන් හඳුන්වන්නේ එක් රත්‍රන් මිශ්‍රණයකින් සෑදූ ආභරණ යන්නයි.

දැනට ස්වර්ණාභරණ අධිකාරියේ ශාඛා ගාල්ලේ, රත්නපුර සහ මොනරාගලත් පිහිටා තිබෙනවා. ඉදිරියේ දී යාපනය සහ මඩකලපුව ප්‍රදේශවලත් ශාඛා ආරම්භ කිරීමට නියමිතයි. එම ආයතනවලින් ද ඔබගේ ස්වර්ණාභරණ පරීක්ෂා කරගත හැකියි.

2018 දෙසැම්බර් මාසය වන විට සියලුම ස්වර්ණාභරණ ආයතන, අලෙවිකරුවන් ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි වී ෂොප් මාර්ක් එක සහ හෝල් මාර්ක් එක ලබා ගත යුතු අතර එදිනට පසුවත් එම පනතට අනුව ක්‍රියාත්මක නොකරන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. දැනටම බොහෝ රටවල හෝල් මාර්ක් එක අනිවාර්යයි. එංගලන්තය වැනි රටවල හෝල් මාර්ක් එකට අවුරුදු 600 ක පමණ ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා ඔබ සතු ස්වර්ණාභරණ හෝල් මාර්ක් නොවූ ඒවානම් කිසිදිනෙක පිටරටකට අලෙවි කිරීමට නොහැකි වන අතර වටිනාකමින් අඩු ස්වර්ණාභරණයක් ලෙස ද සැලකිය හැකියි.

අදින් පසු ඔබ ස්වර්ණාභරණ මිලදී ගන්නා විට හෝල් මාර්ක් කළ ස්වර්ණාභරණම මිලදී ගන්න. එයින් ඔබට ප්‍රමිතියෙන් යුතු ස්වර්ණාභරණම මිලදී ගැනීමට හැකිවේවි.

 

 

 

ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්

මහේෂ් ගම්මම්පිල

1763 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 06, අඟහරුවාදා 12:12
අදහස් එක් කිරීමට ලොග් වෙන්න