තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ආභරණ සපයන්නෝ සිරස්තල

2018 ජූලි 03, අඟහරුවාදා 13:07

රිදී ආභරණ ඇලුම්කරන ඔබට විශේෂාංග

ලිව්වේ  අන්තර්ජාලය ඇසුරිනි.
අගයන්න
(0 මනාප)
රිදී ආභරණවල දිස්නය දිගුකලක් තබාගන්න මේ ක්‍රම අත්හදා බලන්න   විශේෂ උත්සව අවස්ථාවලදී, එදිනෙදා ගමන් බිමන්වලදී මෙන්ම කාර්යාලයට පවා රිදී ආභරණ පැලැදීම අද යුවතියන්ගේ විලාසිතාවක් වෙලා.

 

මෙතරම් ආදරෙන්, කැමැත්තෙන් පලඳින ආභරණ ඉක්මනින් අවපැහැ ගැන්වෙනවාට කවුද කැමැති? පොඩ්ඩක් අවපැහැ වුණත් ඒ ආභරණ පලඳින්නට විලාසිතාවලට කැමැති ඔබ කොහෙත්ම කැමැති නැතුව ඇති. ඉතින් මෙන්න මේ ගැටලුවෙන් මිදෙන්න කැමැති ඔබත් මේ පියවර අනුගමනය කරන්න.

වියළි ස්ථානයක තබන්න

තෙතමනය ඇති තැන්වල තැබීම රිදී ආභරණ අවපැහැ ගැනීමට ප්‍රධාන හේතුවක්. වියළි ස්ථානයක තබන තරමට ඒවා අවපැහැ ගැන්වෙන කාලය දීර්ඝ වේවි.

* තෙතමනය නොලැබෙන සේ බෑග්වල රඳවා තබන්නට හැකි නම් එයත් ඔබේ ආභරණවලට ආරක්ෂාවක් වේවි. එවැනි බෑග් ඔබට වෙළඳ පොළෙන් මිලදී ගන්නත් පුළුවන්.

* නිතර නිතර භාවිත කරන සාරි කටු, වළලු, බේස්ලට් වැනි ආභරණ තෙතමනයට නිරාවරණය නොවන සේ රෙදි කඩක ඔතා වියළි ස්ථානයක තබන්න.

* වියළි බව රඳවා ගැනීමට ආභරණ පෙට්ටියක අසුරා තබන්නත් ඔබට පුළුවන්.

* ඔබේ ආභරණවල ආරක්ෂාව තවදුරටත් ස්ථාවර කරගන්න නම් ආභරණ තබන ස්ථානවල සිලිකා ජෙල් අඩංගු පැකට් තබන්න. එවිට අවට තෙතමනය උරාගෙන ඔබේ ආභරණ ආරක්ෂිත වේවි.

ආභරණ පැලැඳ ආලේපන ගල්වන්න එපා

බොහෝ දෙනා කරන වැරැදි ක්‍රියාවක් තමයි ආභරණ පැලඳ ආලේපන ගැල්වීම. එවිට ආලේපන වර්ග ආභරණවල තැවරීමෙන් ඒවා අවපැහැ ගැන්වේ.

එසේම හිසකෙස්වල ගල්වන නොයෙක් තෙල් වර්ග, සුවඳ විලවුන්, මේකප් වර්ග ඔබේ ආභරණවල තැවරීමට ඉඩදෙන්න එපා. ඔබ හැඳ පැලඳ, ආලේපන, සුවඳ විලවුන් ගල්වා අවසානයේ ආභරණ පැලඳීමට මතක තබාගන්න.

ආභරණ පැලඳ වතුර අල්ලන්න එපා

ආභරණ පැලඳගෙනම අත සේදීම, නෑම, පිහිනීම වැනි ක්‍රියාවන් සිදු කිරීම බොහෝ දෙනාගේ පුරුද්දක්. මෙන්න මේ වගේ වෙලාවට ආභරණ තෙමීම නිසා ඒවා ඉක්මනින් අවපැහැ ගැන්වේ. ඒ වගේම තමයි ඔබ ස්නානය කරන විට සබන් ගෑවීම නිසාද මේවා අවපැහැ ගැන්වෙනවා.

වරක් පැලඳූ ආභරණ අසුරා තබන විට පිසදා තබන්න

දහඩිය තැවරීම නිසාත් රිදී ආභරණ අවපැහැ ගැන්වෙනවා. එමෙන්ම සිරුරින් පිටවන තෙල්,කුණු, දූවිලි ආදිය දවස පුරා මේ ආභරණවල තැවරීම වගේම ඒවායේ තැන්පත්වීමත් සිදුවෙනවා. මේ නිසා ඔබ වරක් පැලඳූ ආභරණ අසුරා තැබීමට පෙර මෘදු රෙදි කඩකින් පිසදමන්න.

මෙන්න මේ විදියට සාමාන්‍යයෙන් ඔබ පලඳින රිදී ආභරණ අවපැහැ ගැන්වෙන බව දැන් ඔබට වැටහෙනවා ඇති. නිතරම අලුත් ආභරණ ගන්න තරම් ඔබ මුදලින් පොහොසත් නොවෙන්න පුළුවන්. මුදල් තිබුණා වුණත් එහෙම ආවට ගියාට විලාසිතා වෙනුවෙන් වියදම් කිරීම කාන්තාවන් නොකළ යුතු දෙයක්.

ඉතින් මෙන්න මේ ක්‍රම අත්හදා බලා අවපැහැ ගැන්වුණ ඔබේ ආභරණවල දිස්නය නැවත ලබාගන්න.

රිදී ආභරණ පිරිසුදු කරගන්නා හැටි දැනගනිමු ද?

දන්තාලේප කියන්නේ කාටවුණත් තම නිවෙසේදී පහසුවෙන්ම සොයා ගැනීමට හැකි දෙයක්. ඒ අතරිනුත් සුදු පැහැති දන්තාලේප තමයි මේ සඳහා වඩාත් සුදුසු වන්නේ. මෙහිදී බේකින් පවුඩර් අඩංගු නොවන දන්තාලේප තෝරාගැනීමටත් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ජෙල් සහිත දන්තාලේපත් මේ සඳහා සුදුසු නැහැ.

පළමුවෙන්ම ඔබේ ආභරණ පිරිසුදු කිරීමට පෙර ජලය සහිත බඳුනකට දමා පොඟවා ගන්න. එවිට ආභරණවල තැවරී ඇති කුණු, දූවිලි පහසුවෙන්ම ඉවත් වෙනවා.

ඉන් පසුව දන්තාලේප ස්වල්පයක් ගෙන ආභරණ මත හොඳින් තවරන්න. දන්තාලේප තැවරීම සඳහා ඔබේ ඇඟිල්ල, කුඩා ස්පොන්ච් කැබැල්ලක් හෝ මෘදු රෙදි කඩක් යොදාගැනීමෙන් ආභරණ සීරීම වළක්වාගන්නත් පුළුවන්.

විශේෂයෙන්ම ආභරණවල ගල් අල්වා ඇති තැන් පිසදැමීමේදී වඩාත් ප්‍රවේසම්වන්න.

සාරි කටු, මුදු ආදිය පිරිසුදු කිරීමේදී මෘදු කෙඳි සහිත බුරුසුවක් යොදාගන්නේ නම් වඩාත් හොඳයි.

තැවරී ඇති අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් නොවන්නේ නම් දන්තාලේප ගල්වා විනාඩි 2,3 ක් තිබෙන්නට හරින්න. එවිට ගැල්වී ඇති අපද්‍රව්‍ය බුරුල්වීම නිසා පහසුවන් ඉවත් වේවි.

ඉන්පසු පිරිසුදු ජලයෙන් සෝදාගන්න. සෝදාගත් ආභරණ හොඳින් පිසදමා වියළා තබන්න. තෙත සහිතව ආභරණ අසුරා තැබීම හෝ පැලඳීම සුදුසු නොවන බවත් මතක තබාගන්න.

 

 

204 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 03, අඟහරුවාදා 13:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න