තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සාරි සිරස්තල

2018 අප්‍රේල් 24, අඟහරුවාදා 15:04

බ්‍රොකේඩ් රෙද්දෙන් පැච්පොයින්ට් සාරියට

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
පැච්පොයින්ට් ක්‍රමයට නිමකෙරෙන මෝස්තර විශේෂත්වයක් ගන්නේ ඇයි කියා අප නොයෙක් වර මෙම පාඩම්වලින් ඔබට පැහැදිලි කළා. කිසිවිටෙකත් පැච්පොයින්ට් මෝස්තර ඒකාකාරීබවක් ගන්නේ නෑ.

 

ඒ සෑම මෝස්තරයක්ම විවිධත්වයක් ගනිමින් එකිනෙකට වෙනස්වෙමින් අලුත් වෙමින් නිර්මාණය වන නිසායි.

මෙහි දැක්වෙන ඔසරිය ද එයට හොඳ උදාහරණයක්. මෙහි විශේෂත්වය වන්නේ බ්‍රොකේඩ් රෙද්දෙන් පැච්පොයින්ට් ක්‍රමයට ඔසරිය මත ඇප්ලික් මෝස්තර නිර්මාණය කර තිබීම.

සාමාන්‍යයෙන් බ්‍රොකේඩ් වැනි රෙද්දක් කැපීමේ දී මෙන්ම මැසීමේ දීත් එහි නූල් ඇදෙන ස්වභාවයක් මතුවනවා. නමුත් එවැනි නූල් ඇදෙන සුළු රෙදි වර්ගයක් ඇප්ලික් සඳහා යොදා ගැනීමේ දී ගැටලුවක් මතුනොවන ආකාරයට අනුගමනය කළයුතු ක්‍රමයක් තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් වී සිටීම අවශ්‍යයි.

අප දැන් බලමු මෙහි දැක්වෙන ඔසරිය මත මෝස්තර නිර්මාණය කර ඇති ඇයුරු.

පළමුව මෙහි පෙනෙන සේ අලියාගේ රූපය ඔසරියේ අවශ්‍ය තැනට බ්‍රොකේඩ් රෙද්දෙන් කපාගත් කොටුවක් මත තබා අලියාගේ රූපය වටා නූල් අදින්න. දැන් රෙද්දේ ඉතිරි කොටස් කපා දමා ගම් ලයින් එකක් පිටතින් දමාගන්න.

අලියාගේ රූපය ඇතුළත දැක්වෙන කොටස් කපාගැනීම සඳහා යොදාගෙන තිබෙන්නේ පොප්ලින් රෙද්දයි. මෙම කොටස් ද නූල් ඇදෙන බැවින් පළමු ආකාරයට කපාගත යුතුයි. ඉතාමත් සියුම් ලෙස මෙය කළයුතුයි. ගහ සහ රවුම් හැඩයේ කොටස් ද වෙන වෙනම සකස්කර සාරියේ අවශ්‍ය තැනට තබා අලවාගන්න.

සාරියේ බෝඩරය සඳහා යොදාගෙන ඇති හැඩතලය කපාගෙන තිබෙන්නේ රෝ සිල්ක් රෙද්දෙන්. මෙය කපාගත් විගසම සාරිය මත අලවාගන්න. මෙම මෝස්තර මතුපිට විසිතුරු පෙනුමත් ගෙන දීම සඳහා පොල්කටු බොත්තම්, සිප්පිකටු, බෙල්ලන්, ලීපබළු ආදී දේශීයත්වය පිළිඹිබු කරන දේ යොදාගැනීමෙන් කලාත්මක පෙනුමක් මනා ලෙස ඉස්මතු කොට තිබෙයි. මේ සියලු දේවල් සාරිය මත තබා නොගැලවෙන සේ හොඳින් මසාගන්න.

ඔසරියේ පොට සඳහා මෝස්තරය යෙදීමේ දී ගස සහ රවුම් පමණක් යොදාගන්න. සාරි පොටේ බෝඩරය සඳහා රතු රෙද්දෙන් කපාගත් ලියවැල් මෝස්තරය යොදාගන්න. නෙරිය කොටසට රතු රෙද්දෙන් සකස් කළ ලියවැල් පමණක් යොදාගන්න.

මෙම සාරියේ කොළ වර්ණය ෂේඩඩ් ආකාරයට පෙන්නුම් කර තිබෙන අතර තද කොළ සහ ලා කොළ වර්ණ දෙක වඩාත් වර්ණවත් කිරීමට ගැළපෙන තද වර්ණවලින් මෝස්තරය නිමකර තිබෙයි.

වර්ණ රැසක් මනාව සංකලනය කොට ගනිමින් ඒ ඒ වර්ණ එකිනෙක මැනවින් පාලනය කොට ගනිමින් මෝස්තර නිර්මාණය කරන ලද පැච්පොයින්ට් සාරියක් වශයෙන් මෙය හඳුන්වාදිය හැකියි.

 

 උපදෙස්

මැහුම් හා ප්‍රවීණ සාරි මෝස්තර නිර්මාණ ශිල්පිනී

චාන්දනී රාජපක්ෂ

   ඡායා - ශාන් රඹුක්වැල්ල

392 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 24, අඟහරුවාදා 15:47
මේ යටතේ එන අනෙකුත් ලිපි: « චාන්ස් එක්සෙලා
අදහස් එක් කිරීමට ලොග් වෙන්න