තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සාරි සිරස්තල

2018 ජූනි 25, සඳුදා 15:33

වියපත් පෙනුමට විසඳුම් දෙන ෆේස් ලිෆ්ට්

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
ජවයෙන් පරිපූර්ණ, ආකර්ෂණීය රූ සපුවකින් යුත් සදාකාලික තාරුණ්‍යයකට කවුද අකැමැති. නමුත් දවසින් දවස දින දසුනේ කොළ ගැලවී යන්නාසේම ජවය, රූපය රැගත් තාරුණ්‍යය ද අපටත් හොරා අප වෙතින් පළා යයි.

 

විශේෂයෙන්ම අවුරුදු 30 ඉක්මයද්දී මේ තත්ත්වය වඩාත් වේගයෙන් සිදුවන්නේ යැයි තවත් කෙනකු මැසිවිලි නගති. නමුදු එහිදී සිදුවන්නේ වයස අවුරුදු 30 පසුවද්දී වයසට යෑම වේගවත් වීම නොව මුහුණ, අත්, පා ආදියේ සම එල්ලා වැටීමට ලක්වී වියපත් ස්වභාවයේ ගතිලක්ෂණ මතුවීමයි. මන්ද යම් පුද්ගලයකුගේ වියපත්වීමත් සමඟම ඇතිවන මානසික සහ කායික දුර්වලතා බාහිරින් පෙන්නුම් කරනුයේ සම ඇදී, රැලි වැටීමෙනි. සම මත දිස්වන පැහැපත් දිදුලන ස්වභාවය මෙලෙස රැලි වැටීම හරහා වියැකී යන අතර එමඟින් වියපත් පෙනුම ඇතිවේ.

අපේ සම යනු ඉතාමත් සංවේදී ඉන්ද්‍රියයකි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 පසුවද්දී අප ශාරීරිකව වියපත්වීම ආරම්භවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වඩාත් සංවේදී ඉන්ද්‍රියය වූ සම වියපත්වීම දැකිය හැකියි. එනම් සමේ චර්මය සහ අපිචර්මය තුනි වී, සමෙහි වූ ඇදෙන සුළු ස්වභාවය ද ක්‍රම ක්‍රමයෙන් අවම වීගෙන යයි. ඒ හරහා සමට යටින් තැම්පත්ව ඇති මේද ස්ථරයද අඩු වීගෙන යයි. මේ හේතුව නිසා මුහුණ රැලි වැටීම, තැනින් තැන වළ ගැසුණු ස්වභාවය සේම මුහුණෙහි සම එල්ලා වැටීම ද සිදුවේ. මේවා වියපත් බවේ පූර්ව ලක්ෂණයන්ය.

සොඳුරු රුව අසුන්දර කරනා මේ වියපත් පෙනුම නැතිකරවන්නට, විශේෂයෙන්ම මුහුණෙහි තරුණ පෙනුම රැකගන්නට අපූරු ප්‍රතිකර්මය වූ ෆේස් ලිෆ්ට් ගැනයි අද අපේ අවධානයට ලක්වන්නේ. මෙම ප්‍රතිකර්මය හරහා මුහුණෙහි සම රැලි වැටීම වළක්වාලන අතර එල්ලා වැටෙන මංශපේශීන් ශක්තිමත්කර ඉහළට ඔසවාලීමක් සිදු කෙරේ.

ඊට අමතරව සමෙහි වියළි ස්වභාවය ඉවත්කර සෛලවලට පෝෂණයක් ලබාදීම එනම් දුර්වර්ණව, මැරුණු සමෙහි සෛල ඉවත්කොට නව සෛල නිපදවීමට අවශ්‍ය පෝෂණ සත්කාරයක් සිදුකිරීම හරහා ඔබේ මුහුණට නව පෙනුමක් රැගෙන ඒමට සමත් වේ.

ෆේස් ලිෆ්ට් ප්‍රතිකර්මයක් සිදුකිරීමට ප්‍රථම අප සම හඳුනාගැනීමේ පරීක්ෂණයක් කළ යුතු අතර එමඟින් සමෙහි ස්වභාවය පිළිබඳ මනා අවබෝධයක් ලබාගතහැකි වේවි.

අනතුරුව මේ වනවිට දුර්වර්ණ වූ, මියගිය සෛල සහිත පැරැණි සම ඉවත්කර මතුවන අලුත් සමට ප්‍රතිකාර කිරීම සිදුවේ. මෙහිදි ඊඩධථධ නම් වූ පැක් එක හරහා සෛල සඳහා පෝෂණයත්, එල්ලා වැටෙන මාංශපේශීන් ශක්තිමත් කිරීමට උපකරණ කිහිපයක් භාවිත කිරීමත් සිදුවේ.

ඒ හරහා ඔබේ මුහුණෙහි මස්පිඬු ශක්තිමත්වී එල්ලා වැටෙන, වළ ගැසෙන ස්වභාවය නැතිකරගත හැකියි.

සාමාන්‍යයෙන් මුල් අවස්ථාවේ දී නම් සතියකට එක් වතාවක් බැගින් ඔබ මේ ෆේස් ලිෆ්ට් ප්‍රතිකර්මය සිදු කිරීම අත්‍යාවශ්‍යයි. සති පහක් පමණ ගතවනවිට මුහුණෙහි පවත්නා වියපත් පෙනුම දුරුවී සොඳුරු පෙනුමක් මතු කෙරෙන අතර එය ඉදිරියට පවත්වාගෙන යාමයි ඔබ කළ යුත්තේ.

ඒ අනුව මසකට වරක් ෆේස් ලිෆ්ට් ප්‍රතිකර්මය කරමින් එම පෙනුම තවදුරටත් රැකගැනීම හරහා සදාකාලික තාරුණ්‍යයේ පෙනුම ඔබේ මුහුණෙහි ද ලැගුම් ගනීවි.

මෙම ප්‍රතිකර්මය සඳහා උපකරණ භාවිතය නිවැරැදිව කළයුතු හෙයින් එය ඔබට තනිවම කළ නොහැකි කාර්යයකි. එබැවින් පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සහාය ලබාගන්නත් අමතක කරන්න එපා.

 

 

 

763 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 25, සඳුදා 15:36
අදහස් එක් කිරීමට ලොග් වෙන්න