කතුවැකිය

ආදරය හදවතින් නොව බුද්ධියෙන් සමරන්න

පෙබරවාරි 13, 2019

හැමදාමත් අසල්වැසි මිතුරිය සමඟ අමතර පන්තියට යන මගේ දියණිය ඇරලවන්නට මා ගියෛ් එදින මා හට පුංචි විවේකයක් ලැබුණු හෙයිනි.

“අම්මේ පන්ති ඉවර වෙනකම් ඔයා අද ඉන්නවා නේද?”

පුංචි දියණියගෙන් ආදරණීය ඉල්ලීමකි. කවදත් මගේ අතපසුවීම්, අපහසුකම් ඉවසන මාගේ කාර්යබහුල ජීවිතය උපේක්ෂාවෙන් විඳගන්න ඒ පුංචි හිත රිදවන්නට බැරි නිසාම ඇගේ ඉල්ලීම මම ප්‍රතික්ෂේප නොකළ බව හඟවමින් හිස සලා එකඟ වීමි.

පුංචි හිතට දැනුණු අසීමිත පී‍්‍රතිය නිසාමදෝ ඇය මහත් උද්දාමයෙන් සිනහමුසු වතින් පන්ති කාමරයට ඇතුළු වූ පසු මිදුලේ ගසක් යට වූ බංකුවට බර වූයේ පැය කිහිපයක් සිටිය යුතු බැවින් පොතක් කියවීමේ අටියෙනි.

මා හැරුණු විට තවත් මවුවරු කිහිප දෙනකු ද තැන් තැන්වල කතාබහ කරමින්, උසුළු විසුළු කරමින් සිටියහ. අනුන්ගේ කතාවලට ඇහුම්කන් දීම නොකළ යුතු නමුත් මා හිඳ සිටි බංකුවේ කෙළවර වාඩි වී සිටි මවුවරු දෙදෙනාගේ කතා බහට මා තරමක් ඇහුම්කන් දුන්නේ දියණියක් සිටින හැම මවු කෙනකුටම සිතන්නට බොහෝ දේ ඒ කතාවේ තිබූ නිසාමය.

මේ කතා කළ මවුවරු දෙදෙනාගෙන් එක් මවක් ගෘහණියකි. අනෙක් මව ගම්පහ ප්‍රදේශයේ ෆාමසියක සේවය කරන ඖෂධවේදිනියකි.

ඇය පැවසූ ආකාරයට සෙනසුරාදා, ඉරිදා ගම්පහ ප්‍රදේශයේ ෆාමසිවලින් වැඩිපුරම අලෙවි වන බෙහෙත් වර්ගය වන්නේ ගැබ් ගැනීම වළක්වන ගිලින පෙත්තක් බවයි.

ගම්පහ වූ කලි අමතර පන්ති පැවැත්වීමේ නගරවලින් ඉදිරියෙන්ම සිටින නගරයකි.

දක්ෂ, ප්‍රවීණ ගුරුවරු බොහෝමයක් මේ නගරයට පැමිණෙති.

මේ නිසාම දරු දැරියන් දහස් ගණනක් නිතර ගැවසෙන සැරිසරන අතිශය ජනාකීර්ණ නගරයකි.

තරුණ දරු දැරියෝ නිතර ගැවසෙන නිසාම අකටයුතුකම් බොහෝමයක් සිදුවන ප්‍රදේශයක් බව බොහෝ අවස්ථාවලදී මාධ්‍ය මඟින් ද අනාවරණය කරන ලදී. තාරුණ්‍ය මරා දමන විවිධ සැර මත්ද්‍රව්‍ය බෙදාහැරීම්, ගණිකා මඩම්, ළැඟුම්හල් ඇතුළු සමාජ විරෝධී කටයුතු පිළිබඳ නිතර ඇසෙන නගරයකි.

තරුණ දූ පුතුන් එල්ල කරගනිමින් එවන් ක්‍රියා සිදුවන එකම නගරය ගම්පහ නගරය නොවේ. අමතර පන්ති මහා පරිමාණයෙන් පැවැත්වෙන මීගමුව, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර, නුගේගොඩ ඇතුළු ප්‍රදේශවලත් මෙවැනි විෂමාචාර බහුලව සිදුවන බව අපි දනිමු.

“සමහර දරුවෝ අවුරුදු 15,16 විතර ඇති. කිසිම ලැජ්ජා බයක් නැතිව නම කියලම ඉල්ලනවා. හරිම සාමාන්‍ය විදියට. මට ඒ ළමයි දකිනකොට අපේ දුවලා මතක් වෙනවා. දෙමවුපියෝ දරුවෝ හදන්න මොනතරම් මහන්සි වෙනවාද? අම්මලා කන්නේ බොන්නේ නැතිව දරුවන්ට උගන්වන්න කරන කැපකිරීම ඇයි මේ දරුවන්ට තේරෙන්නේ නැත්තේ? තමන්ගේ ජීවිතේ වටිනාකම රැකගන්න දුවලත් දැනගන්න ඕනේ.

පුංචි දරුවෝ නෙමෙයිනේ. රටේ තොටේ දේවල් මේ අයත් නොදන්නවා නෙමෙයිනේ.”

සැබෑවටම ඒ කතාවත් ඇත්තය. මීට දශක දෙක තුනකට පෙර තිබුණාට වඩා අද තාක්ෂණය ප්‍රබල ය. මාධ්‍ය වැහිවසින තරමටම ඇත.

පැය විසි හතරේම බණ ඇසෙන්නට ඇත. රටේ තොටේ සිදුවන හොඳ නරක දෙකම දැකගන්නට ඇත. එසේනම් හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නේ යම් සේද අපිද හොඳ නරක අවබෝධයෙන් හඳුනාගත යුතුය. දැන් හැදෙන දරුවන්ට හැම දේම ඇඟිල්ලෙන් ඇන කිව යුතු ද ?

ඉගෙනගන්නා සමයේ, පාසල් කාලයේ පොතපත ගුණදහම් ඉගෙන ගන්නවා මිස හැඟීම්වලට වහල් වී ජීවිතය විනාශකර නොගැනීමට දුවලා පුතාලත් සිතට ගත යුතුය.

දරුවෝ නොමඟ යන විට මවුපියන්ටම, විශේෂයෙන් අම්මාවරුන්ටම වරද පැටවීම 100%ක්ම අනුමත කළ නොහැක. දරුවෝද මවුපියන්ගේ තත්ත්වය තේරුම්ගත යුතුය. මේ වැරැදි සිද්ධවන්නේ බහ තෝරන අවධියේ පසුවන දරුවන් අතින් නොවේ.

අද පවතින ජීවන වියදම්, අමාරුකම් මත පියවරුන් සේම මවුවරුන් ද රැකියා කරන නිසාවෙන් මවුවරු කාර්යබහුල වී ඇත. බොහෝ විට රැකියාවන්හි නිරත මවුවරු ඔවුන් උපයන මුදල් වියදම් කරන්නේ දරුවන්ට හොඳට උගන්වා ලස්සන අනාගතයක් උදාකර දීමේ පරම අභිලාෂයෙනි.

එවැනි පසුබිමක දියණිවරු ළඟටම වී සෙවණැල්ලක් සේ මවුවරුන්ට හිඳින්නට නොලැබෙන්නට පුළුවන. එහෙත් මවුවරු දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ තමන් වෙනුවෙන් බව දුවලා පුතාලා අමතක නොකළ යුතුයි.

සිතින් නිතර ළඟ නොසිටියත් මවුවරු හැමවිටම හිතන්නේ දරුවෝ ගැනය. දරුවෝ මේ බව අවබෝධකරගත යුතුය.

 2019/02/13 තරුණි බලන්න.