තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:58

පවුලක් සැලසුම් කළ යුත්තේ දරුවන් වැඩි වැඩියෙන් හදන්නයි

ලිව්වේ  ප්‍රසන්නී ගී තරංගමා
අගයන්න
(0 මනාප)
දරුවන් රොත්තක් පිරිවරාගත් අම්මයි තාත්තයි හරියට රජෙක්, රැජිණක් වගෙයි. ඒත් ඒ අයුරින් අපරිමිත දාරක ස්නේහයෙන් කිරුළු පලඳින්න අද අම්මලා තාත්තලාගෙන් බහුතරයක්ම පින් පුරා නෑ. පවුලක දරුවන් අටක් දහයක් නොවෙයි තුනකට වැඩි වුණොත් එය සැබැවින්ම අහම්බයකිනුයි.

 

ඇස් දෙක වගේ දරුවයි දෙන්නයි කීවට මේ අම්මලා තාත්තලාට ඇස් නොපෙනෙන දවසේ කනවැල අල්ලන්නවත් දරුවෙක් ගෙදර ඉතිරි වෙනවාද? දරුවන් රොත්තක් හදා වඩා ගත්ත පවුලකට තරම්, ශක්තියක් මෙවැනි පුංචි පවුලකට තියෙනවාද? ඇත්තටම එදා පවුල් සංකල්පය අපි මේ තරමටම අකුළා ගත්තේ ඇයි?

අපේ අම්මා තාත්තාට දරුවන් දහ දෙනයි. මං පවුලේ හතරවැනියා. ඇත්තටම අපේ තාත්තාට තිබුණේ පොඩි රස්සාවකින් දරු පැටවුන්ගේ බඩ ගින්දර නිවූ පුංචි ආර්ථිකයකුයි. මගේ ලොකු අයියා - ලොකු අක්කා - ඊළඟ පොඩි අක්කා විශ්වවිද්‍යාලයට ගියේ නැහැ. ඒත් මට විශ්වවිද්‍යාල වරම් ලැබුණා. ඒ 1974 අවුරුද්දයි. මං විශ්වවිද්‍යාලයට යද්දී තාප්පවල, බිත්තිවල “පුංචි පවුල රත්තරං” කියන පෝස්ටරයක් ඇල වී තිබුණු හැටිය මට මතකයි. ඒ පෝස්ටරයට අපේ රටේ තරුණ විවාහකයන් සංවේදී වුණා. ඒ නිසාම පවුල දරුවාට, දෙදෙනාට සීමා වුණා. ඇත්තටම මගේ අම්මායි තාත්තායි පුංචි පවුල රත්තරං කියලා හිතුවා නම් මගේ උප්පත්තිය සිදු වෙන්නේ නැහැ. අපේ පුංචි පවුල රත්තරං යැයි සිතූ නිසා උපදින්න සිටි දාර්ශනිකයන්, චින්තකයන්, විශිෂ්ටයන් අපේ රටට අහිමි වෙන්න ඇති. ඇත්තටම ඒ අය නැතිවීමේ අඩුව ද අද මේ රටට දැනෙන්නේ?

අද අම්මලා තාත්තලා එක දරුවකු හදලා හිතේ හැටියට ඒ දරුවාට සියල්ලම ලබා දෙන්න හදනවා. මේ තනි දරුවාට කවන පොවන හැටියට එක ශ්‍රේණියට යන දරුවාට ඉඳගන්න පුටුව මදි. ඉස්කෝලෙන් දෙන නිල ඇඳුම් රෙද්ද මදි. වැඩියෙන් කන්න බොන්න සිදුවුණු දරුවාට කොලෙස්ටරෝල් - දියවැඩියාව වැනි රෝගත් බොහොම ළඟයි. මේ පුංචි පවුලේ වූ අධි පාරිභෝජන රටාවේ පාපයයි.

තවත් පසෙකින් පුංචි පවුල රත්තරං සංකල්පය නිසා සමාජ සංරක්ෂණයට බලවත් විපතක් සිදු වෙලා. අද වයසට යන අපේ අම්මලා තාත්තලා බොහෝ දෙනකු රැකවරණය පිළිබඳ ගැටලුවට මුහුණ දෙනවා. දරුවන් දහ දෙනෙක් ඉපැද්දුව මගේ අම්මා තාත්තාට එවැනි ගැටලුවක් නෑ. සාමාන්‍ය ඉගෙනුමක් ලබා බොහොම සාමාන්‍ය ජීවිත ගෙවන ගමේ ඉන්න මගේ සහෝදර සහෝදරියන් කීප දෙනා අම්මාටයි, තාත්තාටයි රැකවරණය දෙනවා. ඉඩ දුන්නෝතින් සොබා දහම හරි පුදුමයි. පවුල ඇතුළේ හැම කාර්යයකටම දරුවන් මවනවා.

පුංචි කාලයේ අපි දහ දෙනාම සාලයේ එලු එක පැදුරක නිදා ගත්තා. කෑ කෝ ගහමින්, රණ්ඩුවෙමින් එදා ඉගෙන ගත්තේ තියෙන විදිහට ජීවත්වීමේ කලාවයි. තාත්තා ගේන පාන්ගෙඩිය දහයකට කපලත් තවත් කෑල්ලක් අම්මාටයි තාත්තාටයි ඉතිරි කරන්න අපට පුළුවන් වුණා. වැඩිමල් සහෝදර සහෝදරියන් පවුලේ බාලයන්ට කවන්න පොවන්න, රැකවරණය හදන්න වගකීම් සම්පන්න වුණා. ඇත්තටම පවුලේ දරුවන් අඩුවක් නැති පවුල්වල ලොකු අක්කා බාලයන්ට අම්මා කෙනකු වාගෙයි. ඈ නංගිලා මල්ලිලාට කිරි නුදුන්නා පමණයි. මේ සහෝදර බැඳීම තමයි ජීවිතය පුරාම සහෝදර කැක්කුමක් විදිහට පපුවට දැනෙන්නේ.

ඒත් එක් කෙනෙක් දෙන්නෙක් විදිහට හැදෙන දරුවන් ආත්මාර්ථකාමී බව අද මාපියන් දන්නවා. මේ දරුවන්ට බෙදා හදා ගැනීමේ පුරුද්දක් නෑ. වැඩිහිටියන් වූ දවසේ පවුල තුළ දේපොළ ආරවුල් ඇතිකර ගන්නවා. කොතැනකට ගියත් අත්පත් කරගැනීම වෙනුවෙන් ආරවුල්වල පැටලෙනවා.

තවත් පසෙකින් දරු රොත්තක්ම හැදූ මාපියන් සමඟ දරුවන්ට ඇති ආදරණීය බැම්මත් පුදුම සහගත වූවක් වනවා. ඒ දරු පැටවුන්ගේ කුස ගින්දර නිවන්න, උස් මහත් කරන්න අම්මා තාත්තා විඳින දුක - මහන්සිය මේ දරුවන් දෑසෙන්ම දකින නිසායි. මට මතකයි අපේ තාත්තා හවසට බඩු මල්ලක් අරගෙන වීරයෙක් වගේ ගෙදර ආ හැටි. මේ වීරයාව පිළිගන්න දරුවෝ ඉදිරියට දුවගෙන යනවා. සීනි අරික්කාලයි . . . තේ කොළ අරික්කාලයි . . . කරවල කෑල්ලයි . . . හාල් රාත්තලයි . . . තාත්තා බඩු මල්ල දරුවන් ඉදිරියේ දිග අරිනවා. ‘ඔන්න මං අද මගේ දරු පැටවුන්ට කන්න ටික ගෙනාවා’ මේ තාත්තාගේ හිත ඇතුළේ තියන උදානයයි. අපිත් බොහොම ආශාවෙන් තාත්තාගේ බඩු මල්ලේ තියෙන අඩු වැඩිය ටික අත ගානවා.

අද මගේ දරුවන් තුන්දෙනා මං ගෙදර යද්දී ගේන බඩු මල්ල බලන්න ඉදිරියට දුවගෙන එන්නේ නැහැ. ඒ අයට මං ගෙනියන බඩු මල්ල ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. මගේ තාත්තා පාපැදියේ තියාගෙන මාව ගමනක් අරගෙන යද්දී මට ඔහුගේ වෙහෙස දැනෙනවා. මේ වෙහෙසෙන තාත්තා මට වීරයෙක් වගේයි. ඒත් මං කාර් එකෙන් ගමනක් රැගෙන යන මගේ පුතාට මාව වීරයෙක් වගේ දැනෙන්නේ නැහැ. දරුවන්ට මාපියන් වීරයන් වගේ හැඟෙන්නේ ඔවුන් දරු පවුල වෙනුවෙන් අභියෝග දරන තරමටයි.

අපි පුංචි පවුල රත්තරං උගුලට අහු වුණා. ඒත් චීනය - ඉන්දියාව වැනි රටවල් උප්පත්ති පාලන උගුලට අහු වුණේ නැහැ. ඒ නිසා ඉන්දියාව මානව සම්පත ඉවහල් කරගෙන ආර්ථික වශයෙන් ශක්තිමක් වෙමින් ඉන්නවා. චීනය මානව සම්පතේ මහිමයෙන් ලෝකය පුරාම තම බලය පතුරවමින් ඉන්නවා.

පුංචි පවුලේ විපාකය අප අත්දැක හමාරයි. දරුවන් වැඩි වැඩියෙන් හැදීම පවුල වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ඔබ ගන්නා වටිනා තිරණයක් වෙනවා. එදාට විතරක් නොවෙයි අදටත් වැලේ ගෙඩි වැලට බර වෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ දරු රොත්තක් පවුලට පිළිගන්න අම්මා තාත්තාගේ සූදානමයි. ලොකුවට සැප පහසුකම් නොදුන්නාට අම්මාගේ ආදරය තාත්තාගේ විර්යය මෙවැනි පවුලක් වෙනුවෙන් වඩාත් වටිනවා.

මට පසුගිය දවසක මෙවැනි අම්මාවරුන්ව ඇගැයූ උත්සවයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මෙහිදී දරුවන් එකළොස් දෙනකු හැදූ මවක් සහ දරුවන් හය දෙනා බැගින් හැදූ අම්මාවරු හය දෙනකුට ඇගැයීම් හිමි වුණා. මේ අම්මලා හය දෙනාම තවම අවුරුදු හතළිහ ඉක්මවා නැහැ.

ඔවුන් දරුවන් ගැන කතා කළේ හරිම ආඩම්බරයකිනුයි. ඒත් මේ ආඩම්බරකම රැක ගන්න පවුල් සැලසුම්ක්‍රම අසීරුවෙන් මඟ හරින්න සිදු වූ කතා පෙළකුත් ඔවුන් අතරේදී ඇහුණා.

“බබාලා ලැබුණාම ඉස්පිරිතාලෙන් වඳ සැත්කමට අත්සන් කරන්න කියලා කළ යෝජනා නොතිබුණා නෙවෙයි”

“මිඩ්වයිෆ් නෝනා පවුල් සැලසුම් ගැන මොනතරම් පැහැදිලි කිරීම් කළාද?”

ඇත්තටම අද විය යුත්තේ මේ දෙය නොවෙයි. දරුවන් වැඩි වැඩියෙන් හදන පවුල්වලට සමාජයේ කොයි කාගෙනුත් සහයෝගය ලබාදීමයි. පවුලක් සැලසුම් කළ යුත්තේ දරුවන් නොහදා සිටින්න නොවෙයි. වැඩි වැඩියෙන් දරුවන් හැඳීමටයි.

339 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න