තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 ජූනි 15, සඳුදා 16:00

ගලවිලා බුටික් හොටෙල් ඇන්ඩ් ස්පා

Written by 
අගයන්න
(1 මනාපය)
දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පාරාදීසයකි

ලෝකයේ ඕනෑම රටක ජීවත්වන සංචාරකයන්ට සරිලන පරිදි ස්වභාවිකවම පිහිටි දේශගුණික හා පාරිසරික සාධක මෙන්ම පරිසරයේ චමත්කාරජනක බව නිසාම විදේශීය සංචාරකයින් තම විවේකය ගතකිරීමට ශ්‍රී ලංකාව තෝරා ගනිති.

ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම පාහේ සංචාරක ආකර්ෂණයට ලක්ව පවතින අතර, විශේෂයෙන් මධ්‍ය කඳුකර ප්‍රදේශයේ සුන්දරත්වය අත්විඳීමටද සංචාරකයෝ වඩාත් පි‍්‍රයකරති.

දේශීය විදේශීය සංචාරකයින්ගේ මනදොල සපුරාලන තලාතුඔය “ගලවිලා බුටික් හොටෙල් ඇන්ඩ් ස්පා” එවන් සොඳුරු නවාතැනකි.

මහනුවර නගරයට ඉහතින් කි.මී. 17 පමණ දුරින් ඇති මධ්‍ය කඳුකරයට වන්නට, තලාතුඔය, මොරගොල්ල, ඈගලවත්ත ග්‍රාමයේ මෙම සංචාරක නිකේතනය පිහිටා ඇත. රජයේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයද පිහිටා ඇත්තේ මීට යාබදවය. භූගෝලීය ලක්‍ෂණ සලකා බැලීමේදී මුහුදු මට්ටමේ සිට මීටර් 940 පමණ ඉහතින් පිහිටා ඇත. සාමාන්‍යයෙන් මුළු දවස පුරාම පවතින්නේ සිසිල් කාලගුණයකි.

මෙම හෝටලයේ සිට ඈත බලන විට නකල්ස් කඳු පන්තිය දැකගත හැකිය. උදෑසන අවට දර්ශනය ඉතාමත් චමත්කාරය හරියටම කියනවානම් පන්දරට සිරිපාදේ කඳු මුදුනේ ඉදන් පහළ ඇත කඳු පන්ති දෙස බලන විට පෙන බුබුලින් නැගුන සුදු පැහැත් වලා කුළුවලින් වසාගත් අති දුර්ලභ දර්ශන ඔබට දැකගත හැක.

හිමිදිරි උදයේ හිරු පායන දර්ශනය, කඳු පන්ති අතරින් මනරම් බවක් ඉස්මතු වෙයි. ගලවිලා බුටික් හෝටලය සිසාරා බලන කල වික්ටෝරියා ජලාශය, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගනය, දිගන කුණ්ඩසාලේ ප්‍රදේශය දක්නට ලැබේ. හෝටලය පිටුපස කිරිමැටිය සත්ව ගොවිපල පෞද්ගලික මැදිහත්වීමෙන් සංවර්ධනය කෙරෙන්නකි. සත්ව ගොවිපලට යාබද මුතුකෙලියාව වැවද අනගි පාරිසරික තිළිණයකි.

ගලවිලා හෝටලය සමීපයේ, විහාර අස්නයෙහි ප්‍රථම පන්සල ලෙස ගැනෙන සගම රජමහා විහාරය පිහිටා ඇත. හෝටලයට නුදුරු තේ වතු යාය පරිසරයේ සුන්දරත්වය වැඩිකරන අතර ලෝකයේ ඉතාවටිනා ගනයේ විශේෂ රෝස තිරුවානා කඳුයායක්ද මීට යාබදව දක්නට ඇත.

මෙම හෝටලය 2013 අගෝස්තු මස අරඹා ඇති අතර කාමර 10 න් යුක්තය. සුපීරියල් රූම්, ඩිලක්ස් රූම්, සුපීරියල් ස්වීට් හා ඩිලක්ස් ස්වීට් නමින් කාමර වර්ග 4 න් යුක්තය. දෙදෙනෙකු සඳහා එක් දිනක නවාතැන් සඳහා රු. 15500 සිට ඉහළට මිලක් අයකෙරේ.

බැල්කනි පහසුකම් ඇති කාමර හා බැල්කනි නොමැති කාමර ඇති අතර සෑම කාමරයකටම වෙනම තේ පිළියෙළ කරගැනීමේ පහසුකම් වලින් යුක්තය. සෑම කාමරයකටම උණු ජලය ලබාදී ඇත. කාමර තුළම පිහිටි නාන කාමර විශේෂ පහසුකම්වලින් යුක්තවේ. කාමරවලට, විදුලි පංකා සවිකර ඇත. වායුසමීකරණ අවශ්‍ය නොවන්නේ ප්‍රදේශයේ ඇති දැඩි සිසිල්බව නිසයි.

හෝටලයේ නවාතැන්ගන්නා අමුත්තන්ට රෙස්ටුරන්ට්, ලොන්ඩ්‍රි, පිහිනුම් පහසුකම් ඇත. ආයුර්වේද හා ස්පා අංශය හා උණුසුම් ජලය ඇති ජැකුසි නම් වූ විශේෂ තටාකය

මෙහි විශේෂාංගයකි. අමුත්තන් ඉල්ලුම් කරන්නේනම් යෝග ව්‍යායාම සඳහා පහසුකම් හා උපදේශනය ලබාදේ. යෝග ව්‍යායාම සඳහා සැකසුණු වෙනම ශාලාවකි.

එසේම 50, 60 දෙනෙකුගෙන් සමන්විත පිරිසකට, උත්සවයක් පැවැත්වීම සඳහා වුවද මෙම හෝටලයේ පහසුකම් සලසා ගත හැකිය.

සංචාරකයින්ට නිදහස් එධ් 5 පහසුකම් ජාත්‍යන්තර දුරකථන පහසුකම් ආදී සන්නිවේදන පහසුකම් ලබාගත හැකිය. ගලවිලා බුටික් හෝටලය සඳහා යුරෝපීය හා අරාබි සංචාරකයින් වැඩිපුර පැමිණේ. මෙම හෝටලයේ හිමිකරුද චෙක් ජනරජයේ ජීවත්වන විදේශිකයෙකි. දේශීය සංචාරකයින් පැමිණෙන්නේ 2% පමණ ප්‍රමාණයකි.

ගලවිලා හෝටලය මගින් ලබාදෙන ආයුර්වේද ස්පා ප්‍රතිකාරය සඳහා පවතින්නේ ඉහළ සංචාරක ප්‍රතිචාරයකි. ශිරෝධාර මසාජ් ප්‍රතිකාරය ලබාගැනීමට මෙහි පැමිණෙන සංචාරකයින් වැඩි මනාපයක් දක්වති. අමුත්තන් ගෙවන මුදලට අසාධාරණයක් නොවන පරිදි මසාජ් ප්‍රතිකාර ලබාදේ, හිස මසාජ් කිරීමේ සිට සම්පූර්ණ ශරීරය මසාජ් කිරීම දක්වා ආයුර්වේද ස්පා මසාජ් ප්‍රතිකාර ලබාගත හැකිය.

මෙම හෝටලයේ සේවක සංඛ්‍යාව 26 ක් පමණ වන අතර සංචාරකයින්ට සුහදශීලී කාර්යක්‍ෂම සේවයක් සැපයීම සඳහා ඔවුන් නිරන්තරයෙන් කැපවී සිටිති. ගලවිලා හොටෙල් මගින් ශ්‍රී ලංකාවේ දේශීය ආහාර මෙන්ම යුරෝපීය ආහාර වර්ග, පිළියෙල කෙරෙන අතර ඒ සඳහා වසර 25 විදේශීය පළපුරුද්දක් ඇති කෝකියකුගේ අධීක්ෂණය ලබාදේ. විදේශ රටවල සිට ගලවිලා හෝටලයට පැමිණෙන අමුත්තන්ට සැලසෙන තවත් වාසියක් නම් එම හෝටලයේ සිට, සංචාරයන් සංවිධානය කර දීමයි. හන්තාන නැරඹීමට මෙන්ම ගම්පල හා නුවරඑළිය තේ වතු මහනුරව සංචාරයන්ද සැලසුම් කර දේ.

නාගරික ජීවිතයේ සරතැස නිවාගැනීමටත්, ආයුර්වේද සම්බාහන ප්‍රතිකාරවල සුවයෙන් ගත සිත සනසා ගැනීමටත් අවැසි අයකුට මධ්‍ය කඳුකර සීමාවේ කදිම නවාතැනක් ලෙස හඳුන්වාලිය හැකි ගලවිලා හොටෙල් වෙත පියමං කර ඔබටත් නැවුම් සුවබර විවේකයක් ලබාගත හැකිවනවා නොඅනුමානය.

ගලවිලා බුටික් හොටෙල් ඇන්ඩ් ස්පා, අගලවත්ත ස්ටේට්
මොරගොල්ල, තලාතුඔය, මහනුවර.

නිශානී ලසිතා හේරත් බන්නැහැක
සාම ශ්‍රී දේශාභිමානී

8404 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජූනි 15, සඳුදා 16:06
අදහස් එක් කිරීමට ලොග් වෙන්න