තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2012 දෙසැම්බර් 13, බ්‍රහස්පතින්දා 14:55

වසරේ දිගම නිවාඩුවට කදිම සවාරියක්

ලිව්වේ  රඹුක්වැල්ල දුමින්ද කාරියවසම්
අගයන්න
(17 මනාප)
2012 වසරට සමුදෙන්න තවත් හරියටම මාස දෙකයි. උත්සවශ්‍රීයත් සමග පාසල් නිවාඩුවත් ලැබුණාම ගෙදර හැමෝගෙම සිත් සතුටින් සැහැල්ලුවෙන් ඉතිරෙන කාලයක්... වසර පුරා දැනුණ වෙහෙස මහන්සිය නිවාගෙන ගත සිත සැහැල්ලු කරගන්න ටි‍්‍රප් එකක් යන්න ඇත්නම් මොනතරම් වින්දනයක්ද? හැබැයි ඉතින් ඒ ගමන ජීවිතය පුරාවටම අමානන්දනීය අත්දැකීමක් නම් වෙන්නම ඕනෑ.

මෙහෙම සිතන බොහෝ දෙනකුගේ සිතට නැගෙන්නේ තුහීනයෙන් පිරි අපේ පුංචි එංගලන්තයයි. අලුත් අත්දැකීම විඳගන්න නුවරඑළියට එන ඔබට ඒ ගමන හොඳ සැලසුමක් තිබුණොත් එය ජීවිතයේ ලබන සුන්දරම අත්දැකීමක් වෙනවාමයි.

සිසිල් සුළඟ ගත සිත වෙලාගන්න නුවරඑළියට වැඩියෙන්ම විනෝද ගමන් බිමන් එන කාලය උදාවෙන්නේ අප්‍රේල් මාසයේදීයි. මල් පිපී හිනැහෙන මේ වසන්ත කාලයේ මෙහි එන පිරිස අති මහත්ය. මේ අපූරු කාලයට අප කියන්නේ “සීසන් එක” කියලා. අගෝස්්තු පාසල් නිවාඩුවත් නුවරඑළිය විනෝදකාමීන්ගෙන් පිරී ඉතිරි යන කාලයක්.

ඒ වගේම උඳුවප් මාසයේදීත් මේ පරාදීසය සංචාරකයන්ගෙන් පිරෙනවා. දෙසැම්බර් මාසයේ නත්තලත් සමඟ නුවරඑළිය අති මනස්කාන්තයි. එහෙත් මේ පරිසරයේ මිහිරියාව සිත් සේ අත්විඳින්න නම් ඔබගේ මූලික අවශ්‍යතාවය බවට පත්වන්නේ නවාතැන් පහසුවයි. ඔබ කවුරුත් අපේක්ෂා කරන එහි සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂාව, සුහදශීලී බව ද අනිවාර්යය අවශ්‍යතාවයකි.

මේ වෙනුවෙන් සත්කාරක සේවාවක් සපයන නුවරඑළියේ “සංචාරක සත්කාරක නිවාස හිමියන්ගේ සංගමය” ඔබ වෙනුවෙන්ම අත්වැල් සැපයීම සඳහා නිරතුරුවම සූදානමින් පසුවෙනවා. ඔබටත් ඉතා විශ්වාසනීය සේවයක් ඉතා සාධාරණ මිල ගණන් යටතේ නවාතැන් පහසුකම් සපයන්න මේ සංගමය සූදානම්. නුවරඑළිය නගර සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන සංචාරක සංවර්ධන සංගමය මඟින් අනුබද්ධිතව ඇති මෙම සේවාව සංචාරය සඳහා පැමිණෙන ඔබගේ පහසුව සඳහා ඉතා විශ්වාසනීය සේවයකි. එම සංගමයේ ලේකම් ලෙස කටයුතු කරමින් නිවාඩු නිකේතනයක් ද පවත්වාගෙන යන ඩී.ඉන්ද්‍රකාන්ති තම දිගුකාලීන අත්දැකීම් ඇසුරෙන් සංචාකයන්ට ලබාදෙන මේ උපදෙස් සැලසුම් සහගත සංචාරයකට අනගියි.

“නුවරඑළියේ සංචාරය කිරීමට එන බොහෝ දෙනකු කරන ලොකුම වරදක් තියනවා. ඒ මෙහි පැමිණ නවාතැන් පහසුකම් සෙවීමයි. බොහෝ දෙනකු සිතන්නේ අතේ සල්ලි තියෙනවා නම් නැවතීමට තැනක් සොයා ගැනීම එතරම් අපහසු නැහැ කියලායි. එහෙම හිතලා එන අය නුවරඑළියට ඇවිත් නවතින්න තැනක් සොයනවා. මෙවැනි අයට බොහෝ වෙලාවට ආපසු යන්න වෙන්නේ අමිහිරි අත්දැකීම් ද සමඟයි.”

“හදිසියේ නවාතැන් පහසුකම් සෙවීම නිසා වැඩි දෙනෙක් තැරැව්කරුවන්ට හසුවෙන අවස්ථා එමටයි. කිසිම සැලැස්මක් නොමැතිව එන මෙවැනි සංචාරකයෝ ගැන තැරව්කරුවෝ ඉන්නේ හරිම උනන්දුවෙන්. ඒ වෙලාවට ඔබේ සිත් ගත් තැනක් සොයාගන්නට නම් අකැමැත්තෙන් හෝ ඔවුන්ගේ පිහිට පතන්නට සිදුවෙනවා”.

එහෙත් මේ තැරැව්කරුවන් හුඟක් වෙලාවට එක්ක යන්නේ වැඩිපුර මුදලක් ලැබෙන නවාතැන්වලටයි. එවැනි ස්ථානවල ඇති පහසුකම්, ආරක්ෂාව, නිදහස ගැන කිසිම අවබෝධයක් නොමැතිව සංචාරකයන්ට ඇතැම් විට මෙහි නවාතැන් ගන්නට සිදුවන අවස්ථා තිබෙනවා.”

“සාමාන්‍යයෙන් නුවරඑළියේ ගතකරන්න එන අය වැඩි වශයෙන්ම එන්නේ පවුල් වශයෙනුයි. එවැනි අය නවාතැන් ගැනීමේදී ආරක්ෂාව වගේම පහසුකම් ගැනත් වැඩියෙන් සිතන්නට වෙනවා.

විශේෂයෙන්ම කාන්තාවන් නම් වඩාත්ම සැලකිලිමත් වෙන්නේ ටොයිලට් පහසුකම් ගැනයි. දෙවනුව මුළුතැන්ගෙය, නිදන කාමරය පහසුකම් ගැනත් සිතනවා. පවුලේ පුරුෂ පක්ෂය බලන්නේ ආරක්ෂාව ගැනයි. මේ වගේ සෑම පහසුකමක්ම සපිරි සම්පූර්ණ නිවහනක් සාමාන්‍යයෙන් රුපියල් 3000 ක් 3500 වැනි මුදලකට කුලියට ගන්න පුළුවන්. නාන කාමරයක් සහිත තනි කාමරයක් 2000 – 2500 පමණ වෙනවා. මේ තත්ත්වය “සීසන්” එකට තරමක් වෙනස්. ඒ කාලයට කාමර තුනක් විතර ඇති සාමාන්‍ය පහසුකම් සහිත නිවහනක් රුපියල් 4000 කට වඩා වැඩියි.”

“නුවරඑළියට එද්දීී තවත් දෙයක් ගැන දැන සිටිය යුතුමයි. දෙසැම්බර් වැනි කාලයට සීතල ටිකක් වැඩියි. මේ පරිසරය නුහුරු අය උණුසුම් ඇඳුමක් රැගෙන ආ යුතුමයි. ඒ වගේම සීතල වැඩි නිසා උණු ජලය පාවිච්චි කරලා පිටත ඇවිදින්න යනවා. එතකොට එක පාරටම ඇඟ සීතල වෙලා සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා. එසේ වුවහොත් ගමනට අසීීරුවෙනවා. ඒ නිසා උණුසුම් කබායක් රැගෙන ඒම නම් හරිම වැදගත්.”

මෙහි එන ඕනෑම කෙනෙක් සොයන්නේ සැප පහසුකමනේ... එය තේමා කරගෙන තමයි අපේ සංගමයත් හැදිලා තියෙන්නේ. “හිතේ හැටියට - ගෙදර වගේ ඉන්න, නිදහස්, සුවදායී, මිත්‍රශීලී පරිසරයක ඉහළ ගුණාත්මක පරිසරයකින් යුතු ළඟන්නා සුළු සත්කාරක සේවාවක්” මෙයයි අපේ තේමාව. මේ තේමාවේ හැටියටම අපි ඉහළම සේවයක් ලබා දෙන්න බැඳී සිටිනවා.”

මේ සංගමයට මඟ පෙන්වීමට නුවරඑළිය නගර සභාව හා නගරාධිපතිතුමා, දිසාපතිතුමා, කාර්මික සංවර්ධන මණ්ඩලය වැනි ආයතන ගණනාවක් අත්වැල් සපයයි.

එමෙන්ම ඔබත් නුවරඑළිය සංචාරක සත්කාරක නිවාඩු හිමියන්ගේ සංගමයේ 052-2223792 අංකයට අමතන්න. ඔවුන් ඔබට මඟ පෙන්වීමට නිබඳවම සූදානම්.

ඡායාරූපය – ප්‍රභාත්

14552 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 දෙසැම්බර් 13, බ්‍රහස්පතින්දා 15:00
අදහස් එක් කිරීමට ලොග් වෙන්න