තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 නොවැම්බර් 21, අඟහරුවාදා 11:21

පරිසරය සීතලයි ලෙඩ රෝග බොහෝමයි විශේෂාංග

ලිව්වේ  තුසිත මලලසේකර
අගයන්න
(0 මනාප)
සෑම වර්ෂයකම නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාස සාමාන්‍යයෙන් වෙනත් කාලවලට වඩා උෂ්ණත්වය අඩු බවක් නැතිනම් සීතල බවක් දැනෙන මාස බව අපි දනිමු.

 

ඒ වගේම මෙම කාලයේදී උෂ්ණත්වය අඩුවීමත් සමඟ සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඉන්ෆ්ලුවෙන්සාව වැනි රෝග පමණක් නොව තවත් සුලබ සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවක්ම මතුවන බව නොයෙක් අවුරුදුවලදී ලද අත්දැකීම් අනුව පෙනේ. සීතල කාලගුණ තත්ත්වයක් පවතින විට සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග ගණනාවකට අපේ සිරුර පාත්‍රවන්නේ කුමක් නිසාද යන්නත් මේ දිනවල ඇතිවිය හැකි සුලබ රෝග තත්ත්ව කවරේද යන්නත් සොයා බැලීම කළයුතුය.

රෝග තත්ත්ව ඇතිකිරීමට මුල්වන සාධක

සීතලත් සමඟ බොහෝ දෙනා කායික ක්‍රියාකාරිත්වය අඩු ඇඟ නොවෙහෙසන කාර්යයන්හී නිරතවීමට නැතිනම් ගුලිගැහී පොරවාගෙන සිටීමට පෙළඹීම, සීතල දිනවලදී ජනෙල් දොරවල් ඇතුළු නිවෙස තුළට වාතය සහ හිරුඑළිය ඇතුළුවන කවුළු වසා තැබීම නිසා නිවෙස තුළ පවතින බැක්ටීරියා, වෛරස ඇතුළු රෝග කාරක ක්ෂුද්‍රජීවීන් නිවෙස තුළ සිරවී සිටීම නිසා විවිධ රෝග හා අසාත්මිකතා (ඇලර්ජි) තත්ත්වයන් ඇතිවීම.

නිවෙස තුළ තෙතමනය ඉහළයාම නිසා වාතයේ තෙතබරිත ස්වභාවය හේතුකොට විවිධ තැන්වල දිලීර හා බැක්ටීරියා වැනි රෝග කාරක බෝවීම ඉහළයාම උෂ්ණත්වය අඩුවීම නිසා වෛරසවලට සිය ගණනක් වැඩි කිරීමට අවස්ථාව සැලසීම. මෙහිදී මිනිසා ඇතුළු ධාරකයන්ගේ ප්‍රතිශක්තිය අඩුවීමත් සීතල හේතුකොට ඇතිවන වෛරසවලට උපකාරයකි. මේ අතර පවතින වටාපිටාව හමුවේ රුධිර සංසරණය අඩුවීමත්, නාසය, උගුර කන හා පෙනහළු ඇතුළු වායු මාර්ගවල ඇතුළත ආස්තරණ පටල වියළීයාමත් නිසා වෛරසවලට බෝවීම සඳහා ඉතා සුදුසු පරිසරයක් ඇතිකරයි.

සීතල නිසා නෑම හා ඇඟ සේදීම වැනි ස්වස්ථානුකුල හුරුපුරුදු අනුගමනයට බොහෝ දෙනෙකු කම්මැළිවීම හා අතපසු කිරීම

මෙය රෝග බෝවීමට ඉතා සුදුසු පරිසරයක් සැලසෙයි. එසේම වතුර අතගෑමට දක්වන අකැමැත්ත නිසා අඳින රෙදි ඇතුළුව භාවිත කරන ඇඳුම් පැලඳුම් හා භාජන හොඳින් නොසේදීම ද මෙම තත්ත්වයට උදව් වෙයි.

අපේක්ෂා කළ හැකි රෝග කිහිපයක්

සෙම්ප්‍රතිශ්‍යාව, නාසය හිරවීම, නාසය කැසීම, උගුර කැසීම හා සමහර විට උණ ගැනීම.මෙම රෝග තත්ත්ව බොහොමයක් වෛරස නිසා ඇතිවෙයි. සමහර බැක්ටීරියා ද මෙයට සම්බන්ධ විය හැකිය. වාතයේ එක් රැස්ව ඇති වෛරස මෙන්ම එකට ගැවසෙන අයෙකු කැසීම හා කිවිසීම මඟින් ද රෝග කාරක වෛරස පැතිරීම සිදුවිය හැකිය.

උගුර බැරැන්ඩිය හා උගුර රිදීම හෙවත් උගුර වණවීම

මෙවැනි පරිසරයකදී මෙම තත්ත්ව ඇතිකරන්නේ වෛරස වීම සාමාන්‍ය තත්ත්වයකි. විශේෂයෙන්ම වායුසමනය සහිත වාහනවල ගමන් කර හෝ වායු සමනය කළ කාමරයක සිට හෝ එළිමහනට පැමිණිවිට ඇති උෂ්ණත්ව වෙනස්කම් තත්ත්ව නිසා මෙම රෝග තත්ත්වය වඩා උග්‍ර කළ හැක.

ඇදුම

ඇදුම කුළුගන්වන ප්‍රධාන සාධකයක් වන්නේ සීතලය. හතිය, හුස්ම ගැනීමේ අපහසුව සහ කැස්ස මෙහිදී දැකිය හැක.

උණ

ප්‍රතිශක්තිය අඩුවීම හේතුකොට සෙම්ප්‍රතිශ්‍යාව සමඟ උණ ගැනීම සුලබය. දියවැඩියාව, වකුගඩු රෝග මෙන්ම වියපත් පුද්ගලයන් ද, කුඩා ළමයි ද වැඩිපුර උණ ගැනීමේ තත්ත්වයන්ට පාත්‍ර අය ලෙස සැලකේ. මෙහිදී රෝග කාරක වාතයත් සමඟ පැමිණෙන මෙන්ම රෝග කාරක තැවරුණු මතුපිට ස්පර්ශය තුළින් දෑත් හරහා ද ඇතුළු විය හැකිය.

පීනස

ඇදුම මෙන්ම අසාත්මික තත්ත්වයකි. විශේෂයෙන්ම දොර ජනෙල් වසා තැබීම නිසා වාතාශ්‍රය අඩුවීම නිසා රෝග තත්ත්වය ඇතිවිය හැකිය. මේ හා සමඟ හිසරදය, නාසය හිරවීම හෝ සොටු දියර ගැලීම මෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව ද පැවතිය හැකිය.ශ්වාසනාල ප්‍රදාහය හා ශ්වාසනාලිකා ප්‍රදාහය වෛරස ආසාදන නිසා ඇතිවන මෙම තත්ත්වයන්ට වැඩිපුර ගොදුරුවන්නේ කුඩා දරුවන් හා වියපත් පුද්ගලයන්ය. මෙහිදී පෙනහලු කරා වාතය ගෙන යන නාල හා අනු නාල තුළ අභ්‍යන්තර ආස්තරණ ශ්ලේෂ්මල පටල ඉදිමීම හේතුකොට හුස්ම ගැනීම අපහසුවීම උණ හා කැස්ස ඇතිවීම දැකිය හැකිය. එක් රෝගියකුගෙන් තවත් අයෙකුට මෙම ආසාදනය ඇතිවිය හැකිය.

නියුමෝනියාව

වෛරස ගණනාවක් නිසා ඇතිවිය හැකි බරපතළ රෝග තත්ත්වයකි. උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව ආදී ලක්ෂණ ද පැවතිය හැකි මෙම තත්ත්වයට ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම අවශ්‍යමය.

කනේ ආසාදන

බාහිර කන (කන් පෙත්ත) හරහා ඇතුළුවන විස බීජ මඟින් මෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව නිසා ද කන් පැසවීම ඇතිවිය හැකිය. නාසයේ සිට කන දක්වා දිවෙන යුස්ටේකීය නාලය හරහා රෝග කාරක කන කරා පැමිණීම සුලබය.

සම වියළීම

සීතල වාතයේ පවතින අඩු ආර්ද්‍රතාවය නිසා සම වියළි බවක් ගත හැකිය.

සන්ධි කැක්කුම

විශේෂයෙන්ම පර්වදානය හෙවත් ආතරයිටිස් රෝගය සහිත අයට බලපායි.

උදාරාබාධ

පාචනය හා වමනය ද සුලබය. බොහෝ විට පිසූ ආහාර ඉක්මනින් ආහාරයට නොගැනීම, පිටතින් ආහාර ගැනීම වැනි තත්ත්වයන් මෙයට මුල්විය හැකිය.

හෘදයාබාධ

හෘදයාබාධ අවදානමක් සහිත අයට සීතල දිනවලදී රුධිර නාල පටුවීම හේතුකොට හෘදයාබාධ අවදානම ද ඉහළ යා හැකිය.

වැළැක්වීමට ගත හැකි පියවර

පෞද්ගලික හා නිවෙසේ සුවස්ථතාව සුරැකීම

සීතල පැවැතිවිට මඳ රස්නය ඇති ජලයෙන් ඇඟ පත සේදීම, නෑම දිනපතා කළ යුතුය. මුහුණ සෝදා පවිත්‍රවීම හා නිතර දෑත් සබන් යොදා සේදීම අමතක නොකළ යුතුය.

නිවෙස ඇතුළත හා වැසිකිලිය පිරිසිදුව තබා ගන්නා අතරම හැලිවළං, පිඟන් කොප්ප හා ඇඳුම් පැලඳුම් ආදිය ද පිරිසුදු කරගත යුතුය.

සුදුසු විස බීජ නාශකයක් භාවිත කිරීම ඉතා වැදගත්ය. හැකි පමණ ජනෙල් දොරවල් විවෘත කර නිවෙසට අලුත් වාතය සහ හිරුඑළිය වැටීමට සැලැස්වීමට පියවර ගැනීම අවශ්‍යය. නොසේදූ දෑත්වලින් මුහුණ, නාසය හා ඇස් ස්පර්ශ නොකිරීමට හා ආහාර ද්‍රව්‍ය අතපත ගෑමට නොයන්න.හදිසි හෝ උෂ්ණත්ව වෙනස්කම්වලට ලක් වීමෙන් (උදා. වායු සමනයේම සිට එළිමහනට පැමිණීම, උණුසුම් තැනකට සිහිල් තැනකට ඒම වැනි) වළකින්න.

දියර වර්ග පානය වැඩිකරන්න

සෙම්ප්‍රතිශ්‍යාව, ශ්වසනාබාධ සහිත පුද්ගලයන් සමඟ වෙසෙන්නේ නම් හෝ මහජනතාව බහුලව ගැවසෙන තැනකට යන්නේ නම් මුඛ හා නාස් ආවරණයක් පලඳින්න. සී විටමින් හා ඒ විටමින් සහිත ආහාර හා පාන වර්ග ගන්න. පලතුරු හා පලා වර්ග මෙහිදී වඩා සුදුසුය.

දිනකට මිනිත්තු 15 - 20 ක කාලයක් ව්‍යායාම කරන්න.

දුම්පානයෙන් ඈත්වන්න

රෝග තත්ත්වය දරුණු ලෙස හැඟේනම් වෛද්‍ය උපදෙස් පතන්න.

3542 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 නොවැම්බර් 21, අඟහරුවාදා 11:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න