තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2013 දෙසැම්බර් 03, අඟහරුවාදා 11:14

මේ සොබා සොඳුරු දසුනින් චමත්කාර වූ ත්‍රිකුණාමලයයි විශේෂාංග

Written by 
අගයන්න
(10 මනාප)
“කොළඹ ඉඳන් ත්‍රිකුණාමලේට කිලෝ මීටර් 257 විතර තියෙනවා. නුවර ඉඳන් 182 ක් විතර. ගමන යන්න ඉස්සරවෙලා නවතින්න තැනක් බුක් කළොත් ගමන පහසුයි. උදේම පිටත් වුණොත් දවල් වෙනකොට ත්‍රිකුණාමලේට යන්න පුළුවන්. ඊළඟට බලන්න තැන් තියෙන්නේ ත්‍රිකුණාමලේ නගරය අවට ප්‍රදේශයේ.”

 

ත්‍රිකුණාමලය කොටුව

මේ කොටුව පෘතුගීසින් හදපු බලකොටුවක්. 1505 දී හදපු මේ බලකොටුව අක්කර 372 වඩා විශාලයි. පසුව ලන්දේසි මේ බලකොටුව අල්ලාගෙන තියෙනවා. ලංකාවට නිදහස ලැබෙන තෙක්ම ඉංගී‍්‍රසි පාලනය යටතේ තිබුණු මේ කොටුව දැන් පුරා විද්‍යා රක්ෂිතයක්. කොටුවේ තිබෙන වටිනාකමත් අසිරියත් විඳගත් පසු කෝනේෂ්වරම් කෝවිල වැඳ පුදා ගන්නත් පුළුවන්.

කෝනේෂ්වරම් කෝවිල

මුහුදු මට්ටමෙන් අඩි 100 – 150 ක් උසින් වූ මේ කෝවිල් භූමියේ සිට මැවෙන්නේ චමත්කාර දසුන් පෙළකි. නිල්වන් මුහුදු තීරය මතින් ඈතින් දිස්වන සාම්පූර්, ත්‍රිකුණාමල නගරයත්, චීන වරායේ වූ සුන්දරත්වයත් බැස යන හිරු එළිය සමඟ සොබාදහම මෙයයැයි කියාපායි.

මෙම කෝවිලට ඇත්තේ දිගු ඉතිහාසයකි. එමෙන්ම මෙහි වූ හාස්කම් ද බොහෝය. රාවණා රජුට සම්බන්ධතා ඇති පූජා භූමියේ “ලවර්ස් ස්ලිප්” බියකරු ප්‍රපාතය තරමක් අවදානම්ය. මෙම කෝවිල හා සබැඳි ජනප්‍රවාදයන් ද බොහොමයක් පවතින අතර මෙම ප්‍රපාතයෙන් පැන සුදු ජාතික යුවළක් දිවි නසා ගත් නිසා මෙම නම යෙදූ බව ද කියැවේ.

මෙම පුද බිමේ දරුවන් නොමැති බැතිමතුන්ට කරන භාරහාරයන්ගෙන් ප්‍රතිඵල ලැබෙන බව වඩාත් ප්‍රචලිතය. තොටිල්ලක් සාදා භාරයක් ඔප්පු කළ යුතු මෙම කෝවිලේ භාරවීමෙන් දරුවන් ලැබූ මවුවරුන්ගේ භාරහාර පිරී ඇත්තේ එය සනාථ කරමිනි.

උණුවතුර ළිං

ගමනේ වූ විඩාවට හා ගතේ තෙහෙට්ටුවටත් උණුවතුර පොදකින් ඇඟ තෙමා ගන්න පුළුවන් නම් කොයි තරම් සනීපද? ඒ සඳහාම සොබා දහම නිර්මාණයකර තිබුණේ උණුවතුර ළිං පෙළයි. ඉතාම කුඩා බිමක ඉදිවූ මෙම දිය උල්පත් අතර ප්‍රධාන වන්නේ කින්නියා උණු දිය උල්පතයි. මෙම දිය උල්පත් හා සබැඳි ජනප්‍රවාද ද බොහෝය. එමෙන්ම ලවණ මිශ්‍ර මේ දිය නෑමෙන් චර්ම රෝග, සෙම් පිත් වාත රෝග ද සුවවන බව විශ්වාසයයි. ඒ නිසාම මෙම සවාරියේදී සෑම අයකුම මෙහි දිය නෑමට වඩාත්ම උනන්දු වන්නේ මේ අලුත්ම අත්දැකීම ලැබීමේ ආසාවෙනි.

නිලාවේලි මුහුදු තීරය හා පරෙවි දූපත්

විශාල ජල තටාකයක් බඳු නිලාවේලි මුහුදු තීරය ඉතාම චිත්තාකර්ෂණීය මන බඳිනා වෙරළ තීරයකි. නැගෙනහිර මුහුදු තීරයේ රමණීය වෙරළ තීරයත් ලොව දෙවැනි ස්වාභාවික වරාය ලෙසටත් ත්‍රිකුණාමලය ලොව වූ චමත්කාරයේ විස්මිත නිර්මාණයකි. ඈත මෑත පෙනෙන හරිත පැහැ ගැන්වූ කඳු පන්තිය මෙහි සිරිය තවත් ඔප් නංවයි. දෙවැනි ලෝක යුද සමයේදී වඩාත් ආරක්ෂාකාරී වරායක් වූ මෙය අද ද වසරේ සෑම දිනයකම නැව් පැමිණීමට පහසුම වරායක් ලෙස වඩාත් ජනපි‍්‍රයව පවතී.

රක්ෂිතයක් සේම සොබාදහමේ අපූරු නිර්මාණයක් වූ පරෙවි දූපත නැතිනම් Pigeon Island පිහිටා ඇත්තේ නිලාවේලි මුහුදු තීරයේ කිලෝ මීටරයක් තරම් දුරිනි. ජෛව විවිධත්වයෙන් පිරි මෙම භූමියට ළඟාවීමට බෝට්ටු සවාරියක් යා යුතුමය. එම සවාරිය සඳහා ඔබ නවාතැන් ගන්නා හෝටලයෙන්ම පහසුකම් සලසා ගැනීම ඔබට පහසුවකි. මේ සවාරියේදී පරවියන් පිරි මේ දූපතේ අසිරිය සේම මුහුදේ මසුන්ගේ වූ අලංකාරය විඳ ගැනීමට ද අවස්ථාව උදාවනු ඇත. එමෙන්ම මෙහිදී තල්මසුන් නැරඹීමට ද අවස්ථාව ඇති අතර ඒ සඳහා අමතර මුදලක් බෝට්ටු ගාස්තු ලෙසින් ගෙවීමට සිදුවනු ඇත.

මෙම සවාරියේදී ඔබ දෑස් දැකිය යුතුම තැන් කිහිපයකි. ඒ ලංකාවේ දෙවැනි දිගම පාලම වූ කින්නියා පාලමයි. මීටර් 396 ක්වූ මෙහි සිට හවස් යාමයේ ජෙලි ෆිස් මවන දසුන් පෙළ කාගේත් සිත් ඇද ගනියි.

එමෙන්ම කින්නියා ත්‍රිකුණාමලය අතර වරාය පරිශ්‍රයේ වූ පී‍්‍රමා කම්හලේ දසුන් හා ටෝකියෝ සිමෙන්ති කම්හල ඈතින් දිස්වන අතර එය නැරඹීම සඳහා එහි යෑමට පෙර කළමනාකාරිත්වයෙන් අවසර ලබාගත යුතුය.

මෙහිදී අපට හමුවන තවත් අසිරිමත් බිමක් වන්නේ වෙල්ගම් වෙහෙර පුදබිමයි. ත්‍රිකුණාමලය පුත්තලම මාර්ගයේ කිලෝ මීටර් 4 තරම් ඇතුළත වූ මෙම පුද බිම සැබෑම අසිරිමත්ය. දේවානම්පියතිස්ස රජ සමයේ ඉදි වූ මෙම පුදබිමේ නැරඹුමට ඇති නටඹුන් හා පරිසරයේ අසිරිය සමඟින් අප සමු ගත්තේ මෙම සවාරියේදී නැරඹීමට තවත් බොහෝ දේ ඉතිරිව තිබියදීය.

කෝනේෂ්වරම් කෝවිල

කොටුව
නිලාවේලි මුහුදු තීරය
පරෙවි දූපත
උණුවතුර ළිං
ත්‍රිකුණාමලය වරාය
වෙල්ගම් වෙහෙර පුදබිම
සේරුවිල පුදබිම
කින්නියා පාලම - පී‍්‍රමා කම්හල
මාවිල්ආරු සොරොව්ව
ටෝකියෝ සිමෙන්ති කම්හල
චීන වරාය

නවාතැන් ගැනීමට ඇති ස්ථාන හා හෝටල්

Welcome Resort – 026-2222373
සංඝමිත්තා විශ්‍රාම ශාලා සංකීර්ණය – 026-2226400
නිලාවේලි බීච් හොටෙල් - 026-2232295
Green park – 026-2222369
Lotus park - 026-2225327
ජයා බ්ලූ – 026-2221611
සිල්ව ස්ටාර් හොටෙල් ඇන්ඩ් ලොජ් – 026-2222348
ත්‍රිකුණාමලය අභිනවාරාමය පෑතිස්පුර – 026-2221213
ජයසුමනාරාමය – 026-2227350
ශ්‍රී සිද්ධත්තාරාමය – 026-2221202
බෞද්ධ මධ්‍යස්ථානය - කොටුව - 026-2222371

12805 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 දෙසැම්බර් 03, අඟහරුවාදා 11:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න