තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

චාරිකා නියෝජීතවරු සිරස්තල

2017 සැප්තැම්බර් 04, සඳුදා 15:10

ආලේපන තෝරන්නේ බලාගෙනයි

ලිව්වේ  විශ්මි ජයනිකා ප්‍රනාන්දු
අගයන්න
(0 මනාප)
‘මූණ ජපන්, ඇඟ ජර්මන්, කකුල ඉතාලි’ තාලෙට ගස්ස ගස්ස යන දඟකාර කෙළි පැටික්කියෙක් දිහා ඇස් දෙක නටව නටව බැලුව අපේ අත්තම්මා එහෙම කිව්වෙ හිනාව තදකරගන්න, අතින් කට මුවාකර ගනිමිනුයි.

 

සුද මතුවුණු අත්තම්මගේ ඇස් දෙකට වහන් කරගන්න බැරිවුණු ඒ අරුමපුදුම විපර්යාසය දැන් කාලේ ගොඩක් ගැහැනු ළමයින්ට සිදුවුණ සුලභ අකරතැබ්බයක්.

රෝස මලක් වගේ සිනිඳු සුන්දර මුහුණින් හා මුහුණට අහලකින්වත් තියන්න බැරි අත්, කකුල් නිසා ගැහුනු ළමයි වගේම පිරිමි ළමයිනුත් පුංචි කාලේ චිත්‍ර පොතේ ඇඳපු මිනිස් රූප තරමටම අසාමාන්‍ය වී හමාරයි. ඊටත් වඩා දරුණුම තත්ත්වය කාලෙකට පුන්සඳවගේ බැබලි බැබලි තියෙන මුහුණ ටික කාලෙකින් අමාවක සඳ වගේ අඳුරු වෙනවා වගේම හඳේ ආවාට වගේම මුහුණ පුරා මතුවුණු ලප වලින්ද අඩුවක් නැති නිසයි. ඉක්මන් ප්‍රතිඵල ලබාගැනීමට භාවිත කළ වයිට්නින් ක්‍රීම්වලින් ඉක්මනින්ම ප්‍රතිඵල බොහෝ දෙනෙකුට උරුමවන්නේ එලෙසයි.

ඔබ බිස්කට් පැකට් එකක්, පොඩි චොක්ලට් එකක් මිලදි ගන්නා විට අනිවාර්යයෙන්ම එහි ඇසුරුම පරීක්ෂා කරනවා වගේම හම පැහැපත් කරන ආලේපන මිලදී ගන්නා විටත් අනිවාර්යයෙන්ම එහි ඇසුරුම පරීක්ෂා කරන්න. මන්ද ඔබ නොසැකිලිමත්ව ආහාරයට ගත් දෙයක ප්‍රතිඵල මිනිත්තු කිහිපයකින් අත්විඳීමට හැකි වුවත්, ඔබ සමට ගැල්වූ ආලේපනයක ප්‍රමිතියෙන් තොර නම් එහි ප්‍රතිඵල භුක්තිවිඳීමට සිදුවන්නේ යම් කාලයක් ගතවීමෙන් අනතුරුවයි. ඇතැම් විට එවැනි පැල්ලම් සහිත, අඳුරු සමක් හිමිවන විට ඖෂධ තුළින් පවා යථා තත්ත්වයට පත්කළ නොහැකි තරමටම තත්ත්වය උඩුදුවා තිබීමට පුළුවන.

ඒ නිසා ඔබ වයිට්නින් ක්‍රීම් එකක් මිලදී ගන්නවා නම් එම ආලේපනය නිෂ්පාදනය කළ රට, එය නිපදවූ ආයතනයේ නම, බෙදාහරින පුද්ගලයින්ගේ නාමයන්, ගබඩාකරන ආකාරය, භාණ්ඩයේ මිල, එම ආලේපනය භාවිත කරන ආකාරය, එම ආලේපනයේ අඩංගු ද්‍රව්‍ය ආදි සියලු විස්තර එහි සටහන් වීම අනිවාර්යයි.

ලංකාවේ මේ වෙනකෙට බහුලව අලෙවි වන විවිද අකුරු සහිත ඉහත කිසිදු කරුණක් අඩංගු නොවූ ඇතැම් ආලේපන බොහොමයක් තරුණ තරුණියන් අතට පත්වන්නේ ඇස් පනාපිටම සුදුවීමේ ආශ්චර්යය ඔවුන් භුක්තිවිඳින නිසයි. එසේ ඉන්දියාව, තායිලන්ත, පකිස්තානය ආදී රටවල නිෂ්පාදනය කරන එම ආලේපන මඟින් කෙටිකාලයක් තුළ පැහැදිලි පැහැපත්, සුන්දර සමක් හිමිවෙයි. නමුත් කාලයත් සමඟ සම වඩාත් තුනීවී සමේ ඇතුළත නහර, කේෂනාලිකා මතුවී පෙනෙන්නේ සම ගතියට පත් කරන පෙර ලකුණු පෙන්නුම් කරමිනුයි. ඒවගේම මුහුණ පුරා කුඩා අබ ඇට මෙන් විසිරුණු කුරුලෑ මතුවන්නේ තවත් රතු එළියක් දල්වමිනි. මෙකී තත්ත්වයන් වඩාත් දරුණු වන්නේ ගම්මිරිස් කෑ එකාගේ මොළය දන්නා සේ තත්ත්වය බරපතලවන විට ඊට ප්‍රතිකාර කළත් මෙය අසාමාන්‍ය කුරුලෑ තත්ත්ව එම ඖෂධ තුළින්ද අඩුවීම ප්‍රමාදකරන නිසයි.

මෙවැනි කෙටිකාලීන අතුරු ආබාධ වෙහෙස මහන්සි වී කාලයාගේ ඇවෑමෙන් මැකීගියත් එයින් සිදුවන දිර්ඝකාලීන අතුරුආබාධ අපට පමණක් නොව හයක් හතරක් නොදන්නා උපන් නූපන් දරුවන්ගේ කරපිටටද ඇද වැටෙන්නේ ඉතාමත් සෝචනීය ලෙසයි. එසේවීමට ප්‍රධාන හේතුව මෙම ආලේපනවල ම’කරි එහෙමත් නැත්නම් රසදිය අසීමාන්තිකව අඩංගු වීමයි.

වස විස කියා දෙන - ඒ හැම පැණි රසලු

රසදිය, ආසනික් - විටමින් වගෙ හොඳලු

හොඳ හිත ඇතිව - කියනා සැම බොරුලු

අනේ අපොයි - සිරිලක දැන් අනතුරුලු

ආවර්තිතා වගුවේ ඇති අපට හමුවන මුලද්‍රව්‍ය අතරින් උග්‍රතම විස අඩංගු මූලද්‍රව්‍ය රසදියයි. ඒ නිසාම බොහොමයක් රටවල රසදිය හෝ රසදිය සංයෝග භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ඇත. කිසිදු වගකීමක් නොමැති, කිසිදු ගුණාත්මක භාවයක් නොමැති දකුණු ආසියාතික රටවල නිෂ්පාදිත ඇතැම් ආලේපන වර්ගවල රසදිය ප්‍රතිශතය ඉතාමත් ඉහළ අගයක පවතියි. මේනිසාම අප ආලේප කරන බාල ආලේපන තුලින් ශරීරගත වන රසදිය ශරීරයෙන් බැහැර නොවී තැන්පත් වෙයි.

එකී මූලද්‍රව්‍ය ඒකරාශි වන ප්‍රධාන අවයව වකුගඩුයි. වකුගඩු සෛලවලට ච්ව්ඒ ආරක්ෂාව සපයන ව්ජ් - ම්ඕ නම් සංයෝග තයෝල් කාණ්ඩයට රසදිය බැඳීම නිසා එහි ක්‍රියාකරිත්වය අඩුවන බවත් ඒ හේතුවෙන් වකුගඩු සෛලවල න්‍යෂ්ථික ද්‍රව්‍ය විනාශ වී වකුගඩුවල පෙරීමේ හැකියාව අඩුවන බවත් පරීක්ෂණවලින් තහවුරු වී ඇත. ඒ වගේම රසදිය මිනිස් සිරුරට ඇතුළු වූ විට වඳභාවය ඇතිවන බවක් සොයාගෙන තිබේ. තරුණියකගේ සිරුරට සැලකිය යුතු රසදිය ප්‍රමාණයක් එක්වීමෙන් ශරීර පටකවල රසදිය බැඳී ගබ්සාවීමේ ප්‍රතිශතය ඉහළ නංවන බවත් එවැනි අයට උපදින දරුවන්ගේ ස්නායු ආබාධ වැඩිවන බවත් සනාථ වී ඇත. ඉතාමත් කුඩා රසදිය ප්‍රමාණයක් වුවත් දිගු කලක් ශරීරගත වු විට පිරිමින්ගේ ශුක්‍රාණුවල ජීවි ස්වභාවය 80% කින් පමණ හීනවන බවත් එකී පර්යේෂණයෙන් ඔප්පුකර ඇත්තේ අනාගත පරම්පරාවට රතු එළි දල්වමිනුයි.

මෙසේ පාවිච්චි කරන ආලේපන තුළින් අපගේ සම අඳුරු වුවහොත් එකී තත්ත්වය බාහිරින් හඳුනාගැනීමට පුළුවන්. නමුත් එයින් ශරීර අභ්‍යන්තරයට සිදුවන හානිය අපට මෙන්ම අපගේ උපන්නූපන් දරුවන්ට භුකති විඳීමට සිදුවන්නේ කාලය ගොඩක් දුර ඉගිලී යෑමෙන් අනතුරුවයි. එවිට වැරැදි නිවැරැදි කරගැනීමට අවැසිවුවත් අප ප්‍රමාද වීමට පුළුවන.

ඒ නිසාම අප යම් ආලේපනයක් මිලදී ගන්නවා නම් හංසයා දියෙන් කිරි වෙන්කරන්නාක් මෙන් නරක අතරින් හොඳ වෙන්කර ගැනීමට තීක්ෂණ බුද්ධියක් පැවතිය යුතුය. ඔබ මිලදී ගන්නා අලේපනය පිළිගත් ආයතනයක නිෂ්පාදිත ආලේපනයක්ද යන්න ප්‍රථමයෙන් පරීක්ෂා කර බලන්න. එය දේශීය නිෂ්පාදනයක්ද නැත්නම් වෙනත් රටක නිෂ්පාදිත ඉහළ තත්ත්වයේ ආලේපයක් නම් පමණක් එය භාවිත කරන්න. එකී අලේපනයෙන් සීඝ්‍රයෙන් සම සුදු නොවුණත් සමට දීප්තියක් ලැබදී පැහැපත් කරයි. ඒ වගේම විශේෂයෙන් ඔබ වයිට්නින් ක්‍රීම් එකක් භාවිත කරනවා නම් එය සමඟ සන් ක්‍රීම් එකක්ද අනිවාර්යයෙන්ම භාවිත කරන්න. මන්ද වයිට්නින් ක්‍රීම් භාවිත කරන විට හිරු එළියෙන් සම ඉතා ඉක්මනින් අඳුරු පැහැවීම ඊට ප්‍රධාන හේතුවයි. එවගේම ඔබ භාවිත කරන ආලේපය ඔබට ඔබේ සමට ගැලපෙන ආලේපනය විනා කෙනකු පැවසූ පමණින් දකින දකින ක්‍රීම් වර්ගය මුහුණේ උලා අමාරුවේ වැටුණොත් එකී වේදනාව අපහසුව විඳීමට සිදුවන්නේ ඔබට පමණයි.

උපදෙස් සංජීනී ෆොන්සේකා

චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

1038 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 04, සඳුදා 15:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න