තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

2016 පෙබරවාරි 15, සඳුදා 15:04

කුරුලෑ කරදරය මින් පස්සේ නම් නෑ

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
 හෙට දවසේ මනාලියක වන්නට පෙරුම් පුරමින් සිටින ඔබගේ මුහුණේ කුරුලෑ ඇත්නම් එය ඔබේ මනසට මොනතරම් නම් වදයක්ද? නමුත් මේ උපදෙස් පිළිපදින්න පුළුවන් නම් මනාලිය වන දිනයේදී ඔබට කුරුලෑ ගැටලුව විසඳා ගැනීමට හැකි වේවි.

 

මනාලියක වන්නට සූදානම් වන යුවතියක් පළමුවෙන්ම කළ යුත්තේ රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය තෝරා ගැනීමයි. ඉන්පසු ඔහුගෙන් හෝ ඇයගෙන් ඔබගේ කුරුලෑවල ස්වභාව මුහුණට කරන ප්‍රතිකාර පිළිබඳත් ඔබ අවධානය යොමු කළ යුතුයි.

මුහුණෙහි පිරිසුදු බව ගැන නම් ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුමයි. ඒ වගේම කුරුලෑ සහිත සමක් තිබෙන යුවතියක් මුහුණෙහි විවිධ ආලේපන වර්ග ගැල්වීම සුදුසු වන්නේ නැහැ. එසේම කුරුලෑ සහිත සමක් ඇති යුවතියක් මනාලියක වන්නට මාස හයකට පෙර තමන් තෝරාගත් රූපලාවණ්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා සමග කතා කොට එය කුරුලෑවක්ම ද යන්න විමසීමක් කළ යුතුයි. එසේ නැතිව ඔබට කුරුලෑ සහිත සමක් ඇති බව සිතා හිතුමතේ සත්කාර කිරීමට පෙළඹීම වැරැදියි. ඒ වගේම රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියද තමන් කළ යුත්තේ කුමක්ද කියා දැනගෙන කුරුලෑවලට අවශ්‍ය ප්‍රතිකාරය කළ යුතුයි. එය කුරුලෑවක් නොවේ නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමට තම සේවා දායකයා වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට ඉතාම වැදගත්. නැති නම් කුරුලෑ සහිත තැනැත්තියකගේ සම පලුදුවීමේ අවදානම බොහෝ දුරට වැඩි විය හැකිියි. මනාලියක් වන්නට සූදානම් වන ඔබට උපන්දා සිටම කුරුලෑ සමක් ඇත්නම් මනාලියක වන දිනයේදී ලප කැළැල් නැති පියකරු සමක් ලබාගැනීමට උනන්දු විය යුතුයි.

ඒ සඳහා විවාහ වීමට මාස 6 කට පමණ පෙර සිට මනාලිය එයට සූදානම් වීම ඉතාම වැදගත්. මේ වෙනුවෙන් ඇය භාවිත කරන ෆේෂ් වොෂ්, සබන් පිළිබඳ මනාලියගේ අවධානය යොමු විය යුතුයි. ඒ සඳහා පළමුවෙන්ම ඇය තමාගේ සම වියළිද සාමාන්‍ය ද නැතහොත් තෙල් සහිත සමක් ද කියා හඳුනාගෙන එයට ගැළපෙන පරිදි ෆේස් වොෂ් භාවිත කළ යුතුයි. සාමාන්‍යයෙන් යුවතියක දිනකට තෙවරක්වත් ෆේස් වොෂ් යොදා තම මුහුණ පිරිසුදු කළ යුතුවෙයි.

එසේම ඇය නිතරම මේක් අප් යොදන යුවතියක නම් ඩීප් ක්ලෙන්සර් සහ ටෝනර් භාවිතයද නිතරම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම ඔබට කුරුලෑ සහිත සමක් ඇත්නම් ස්ක්‍රබ් භාවිතය නුසුදුසුු බැවින් ඒ සඳහා සම තදවීම සහ සුමුදු කිරීමට භාවිත කරන ෆේෂ් පැක් එකක් යොදාගත හැකිය. ඒ වගේම නිතරම මුහුණ පිරිසුදු කර ගැනීම සඳහා වෙනම තුවායක් භාවිත කළ යුතු අතර එය නිතරම ඇල් වතුරෙන් තෙමා මිරිකා භාවිතයට ගත යුතුයි. තෙල් සහිත සමක් ඇති ඔබට සමේ ඇති තෙල් එමගින් ඉවත් කරගත හැකිය. එලෙසම ඔබට කුරුලෑ සහිත සමක් ඇත්නම් ස්ක්‍රබ් නොකර ෆේෂල් කිරීම වඩා සුදුසු වන අතර රාත්‍රී කාලයේදී ආලේපන භාවිතයෙන් තොර විය යුතුයි. ඒ වගේම නිතරම ඇඟිලි තුඩුමගින් මුහුණ පිරිමැදීම සහ ඇල්ලීම නොකළ යුතු අතර උණු ජලයෙන් වාෂ්ප විනාඩි 3 - 4 ක් පමණ ඇල්ලීම වඩාත් සුදුසුයි. එම උණු වතුරට දෙහි ස්වල්පයක් දමා මුහුණ සේදීම පිරිසුදු කිරීමට වඩාත් සුදුසුයි.

කුරුලෑ ඇති වීම වළක්වා ගැනීමට එවැනි දෑ කිරීමෙන් පමණක් හැකි නොවන අතර ආහාර පාලනයද සිදු කළ යුතුය. තෙල් සහිත පැණි රස ආහාර වැඩිපුර නොගැනීම සහ තමන්ගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය පිළිබඳ වෛද්‍යවරයකු හමුවී දැන ගැනීමද වඩාත් සුදුසුයි. එසේම වතුර වැඩිපුර පානය කිරීමත් කුරුලෑ අඩුකර ගැනීමට උදව්වක් බව ප්‍රකාශ කළ හැකියි.

 

උපදෙස් : ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ලකී පෙරේරා 

8482 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 පෙබරවාරි 15, සඳුදා 15:06
අදහස් එක් කිරීමට ලොග් වෙන්න