තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

2017 ඔක්තෝබර් 09, සඳුදා 15:27

යනෙන මඟ සුරැකෙන්න අවධානයෙන් පසුවන්න විශේෂාංග

ලිව්වේ  සුපුන් ජයසිංහ
අගයන්න
(0 මනාප)
ජීවිතය අරගලයකි. දුක, සතුට, ආදරය, විරහව, මුදල්, රැකියාව.... නිමක් නැති අයිතින්, වගකීම්, යුතුකම් රැසකි. සුකුමාලත්වයෙන් වැසුණ ශක්තිමත් හදවතක් කාන්තාවක සතුවිය යුතුය. ජීවිතය රෝස මලින් සැදී මල්මාවතක් නොවේ.

 

දහසකුත් දුක්, කම්කටොලු, බාධක, අභියෝග ජීවනගමනේ නිමක් නැත. සියලු දුක් පැණි රස යැයි සිතා ජීවනගමනේ ඉහළ හිනිපෙතට නඟින්නට මනා සිහිනුවණක් ද ඇවසී ය.

යනෙන ගමනේදි ඔබේ ආරක්ෂාව අංක එකය. සියල්ලට ප්‍රථම ඔබ ආරක්ෂා වී සිටිය යුතුය. තනි මඟ යනෙන විට ඔබව රැකගැනීමට කෙනකු නැත. තම ආරක්ෂාව සලසා ගැනීම ඔබ ම කළ යුත්තකි. ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ හැකි සරල රහස් කිහිපයක් දැනගනිමු.

අවධානය

කාන්තාවක් උපතින්ම රැගෙන එන ගුණාංග රැසකි. යමක් පිළිබඳව දැනෙන්නා වූ ඉව ඇය සතු ප්‍රබලම අවියකි. අවධානය රඳවා ගැනීමට, අනතුරක් පිළිබඳව වූ ඉව වැදගත් ය. කාන්තාවක් දිනකට විවිධ භූමිකාවන් නිරූපණය කරයි. දියණියක, පාසල්

ශිෂ්‍යාවක, මවක ලෙස ඇය සමාජය සමඟ

නිරන්තරයෙන් කටයුතු කරයි. මවක, තවත් විටෙක කාර්යාල සේවිකාවක්, බිරියක් ලෙස ද භූමිකාවන් රැසක් ම ඈ සතු ය.

භූමිකාවන් වැඩිවන විට වගකීම ද ඉහළ යයි. වගකීම් ඇතිවිට මනස වියවුල් වේ. මඟතොට තනිව යනෙනවිට අවධානය රඳවා ගැනීමට නිරවුල් මනස අත්‍යාවශ්‍යය වූවකි. මියුරු සංගීතයන්ට සවන්දීම, තම සිතේ ඇති ගැටලු සමීපතමයකු සමඟ බෙදාහදා ගැනීමෙන් ඔබේ සිත නිරවුල් වනු ඇත. නිරවුල් සිත නිරන්තරව අවධානයෙන් පසුවේ. ඔබව ආරක්ෂා කරයි.

ආත්ම විශ්වාසය

ඔබ පිළිබඳව ඔබට විශ්වාසයක් නැතිනම්, තවත් කෙනකුට ඔබ ගැන විශ්වාසයක් ඇතිවන්නේ නැත. කාන්තාවන් නිරන්තරව විලාසිතා කිරීමට ආශා කරති. ලස්සනට සිටීමට ආශා කරති. ඔබේ විලාසිතා තෝරාගැනීමේ සිට සියලුම හැසිරිම් ආත්ම විශ්වාසය පෙන්වන්නකි.

එය තම පෞරුෂයේ කැඩපතකි. නිතර බිම බලමින් බයෙන් සිටිනවිට කරදරයට එක්වීමට ඇති ඉඩකඩ වැඩිය. නිරන්තරව ආත්ම විශ්වාසයෙන් සිටින්න. මහමඟ කරදරවලින් මිදීමට රුකුලක් වනු ඇත.

ස්පීඩ් ඩයල්

අද වනවිට ලෝකය බොහෝම දියුණුයි. මාධ්‍යය භාවිතය ද ඉහළ ය. ජංගම දුරකථන භාවිතය ඉන් ප්‍රධාන ය. හදිසි අවස්ථාවක ඇමතිය හැකි දුරකථන අංක ගොනුවක් ළඟ තබාගැනීම වැදගත් ය. මෙම අංක ගොනුව ස්පීඩ් ඩයල් ලෙස තබාගන්න. එවිට අවශ්‍ය වූ විට කන්ටැක් ලිස්ට් (ඛ්ධදබචජබ තඪඵබ) බලමින් කාලය මිඩංගු කළයුතු වන්නේ නැත.

සොරකුගේ ඉවක් දැනුණු විට

තනියම ගෙදර ඉද්දී හොරෙක් ආවොත් අපට නිතරම තව කෙනකු සමඟ ම රැඳෙන්නට ලැබෙන අවස්ථාවන් සුලබ නැත. ඇතැම්විට තනිවම තම කටයුතු කරගැනීමට සිදුවේ.

නිවෙසේදී නම්, නිවසේ අය දුරබැහැර ගමනක් යාම, සැමියා රැකියාවට යාම වැනි අවස්ථා යෙදිය හැකිය. ඔබ තනිවම ජීවත්වන කාන්තාවක් ද වන්නට පුළුවන. ඒ කුමන අවස්ථාවක වුවද ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගතයුතුය.

සොරකු නිවෙසට ඇතුළුව ඇතැයි දැනගත් විගස හැකි පමණ කෑ ගසන්න. නිවෙස අවට සිටින්නවුන්ගේ ආධාර, උපකාර ඉල්ලන්න. මුළුතැන්ගෙය මෙවන් අනතුරකදී ඔබට ආරක්ෂිත ස්ථානයකි.

ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු මුළුතැන්ගෙයහි ඇත. ඉන් සොරාට පහරදීමට හැකිවේ. වඩාත් ශබ්ද නඟමින් නිවෙසේ උපකරණවලට තට්ටු කරන්න. දැඩි ඝෝෂාව අසල්වැසියන්ට සංඥාවකි.

කෙනකු පසුපස පැමිණේ නම්

තනිව ගමන්කරනවිට මිනිසුන් ඔබ පසුපසින් පැමිණිය හැකිය. එසේ පැමිණෙන්නේ කුමන අරමුණින් ද යන්න හඳුනාගැනීමට ගැහැනු ඉව යොදාගත යුතුය.

නපුරු නැතිනම් වැරදි සිතුවිල්ලෙන් තමා පසුපස පැමිණෙන්නේ නම්, ආරක්ෂක පියවර අනුගමනය කරන්න. බියට පත්වූ විට බොහෝ දෙනකු කරනුයේ දිවීමයි. එවිට අපරාධකරු ඔබට වඩා ඉක්මන් වනු ඇත.

හැකිතරම් සූක්ෂම වන්න. වේගයෙන් ඇවිදින්න. අසලක ආරක්ෂිත ස්ථානයක් ඇතිදැයි නිරීක්ෂණය කරන්න. ඒඊර් යන්ත්‍ර වැනි ස්ථානයක් ඇත්නම් ඒ වෙත යන්න. ඒඊර් යන්ත්‍රයන්හි ආරක්ෂිත කැමරා සවිකර ඇති බැවින් අපරාධකරු ඔබ මඟහැර යනු ඇත. එහෙත් නිරන්තර අවධානයෙන් පසුවන්න. අනතුර සම්පූර්ණයෙන් ඉවත්වනතෙක්ම අවධානයෙන් පසුවන්න. පේපර් ස්ප්‍රේ වැනි යමක් ඇත්නම්, ආරක්ෂාවට යොදාගන්න. දුරකථනයෙන් ස්පීඩ් ඩයල් භාවිත කරන්න.

ආගන්තුකයෙක් සමඟ තනිව ලිෆ්ට් එකේ යන්න වුණොත්

විදුලි සෝපාන නැතිනම් ලිෆ්ට් භාවිතය අද වනවිට සුලභ දෙයකි. ආගන්තුකයකු සමඟ ලිෆ්ට් එකක යාමට සිදුවීමත් සුලබ ය. තමන් සමඟ ගමන්කරන ආගන්තුකයා අනාරක්ෂිත ද යන්න තේරුම් ගැනීමට ගැහැනු ඉව යොදාගත යුතුය. අනාරක්ෂිත බව හැඟේනම්, පමණක් තට්ටු කිහිපයකදී දොර විවෘත වන ලෙස බොත්තම් ඔබන්න. එසේ නොවේනම් මෙය නොකළ යුතු බව ද මතක තබාගන්න. ඉන් සෙසු පිරිස ද අපහසුතාවයට පත්වනු ඇත.

ටැක්සියක තනියම යද්දී

පළමුව වාහනයේ අංකය තමන්ගේ ජංගම දුරකථනයට ඇතුළත් කර තබාගන්න. නැතිනම් ලියා තබාගන්න. ඔබ වාහනය ගෙන්වුයේ ආයතනයකින් නම් ආයතනයේ නම, වාහන අංකය ඇතුළත් විස්තරයක් ඔබට ලැබෙනු ඇත.

ලැබුණු තොරතුරු සමඟ පැමිණි වාහනය සසඳා බලන්න. වාහන පිළිබඳව ඔබ ලද තොරතුරු ඔබේ සමීපතමයකුට යවන්න.

රියැදුරුට ගමනාන්තය පැවසීමෙන් පසුව නිතර අවධානයෙන් පසුවන්න. නිදා නොගන්න. අන්තර්ජාලයේ සැරිසැරීම හැකිතාක් අඩුකරන්න. ඉන් ඔබේ අවධානය ගිලිහී යා හැකිය. ගමන් මාර්ගය නිවැරැදි ද බලන්න. ඔබ අවධානයෙන් පසුවන බව රියැදුරාට තේරුම් යන ලෙස හැසිරෙන්න.

තමන්ගේ ම වාහනයක ගමන්කළ ද ආරක්ෂිත වන්න

සුපර් මාකට් හෝ වෙනත් ස්ථානයක වාහනය නතර කිරීමට සිදුවේ.

එවන් අවස්ථාවල ආරක්ෂිතම ස්ථානයක් යොදාගැනීමට උත්සුක වන්න. ආරක්ෂක සේවකයෙක් හෝ පිරිසක් රැඳී සිටින තැනක වාහනය නවත්වන්න. නියමිත ස්ථානවලම නවත්වන්න පුරුදු වන්න. මාර්ගයේ ගමන් කරනවිට නිසි ලෙස මාර්ග සංඥා පිළිපදින්න. නීතියට අවනත වන්න. නිරන්තරව අවධානයෙන් පසුවන්න. ඔබේ ආරක්ෂාව ඉන් සැලසෙනු ඇත.

 

 

 

428 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 09, සඳුදා 15:31
අදහස් එක් කිරීමට ලොග් වෙන්න