තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 15:00

ලිංගාශ්‍රිත පිරිසුදුකමේ වැදගත්කම

Written by 
අගයන්න
(0 මනාප)
පිරිසුදුකම නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය කරුණකි. කාන්තාවන්ගේ පිරිසුදුකම පිළිබඳ ප්‍රසිද්ධියේ කතාබහ කෙරුවත් ඔවුන්ගේ ලිංගේන්ද්‍රයේ පිරිසුදුකම පිළිබඳ එළිපිට කතාකරන්න දක්වන්නේ මැළිකමක්. එක්තරා ලෙසක චකිතයක්.

 

මාධ්‍යයන් ඔස්සේ පවා මේ පිළිබඳ සිදුවන දැනුවත් කිරීම් ඉතාම අවමයි. එහෙත් විවෘතව කතා කළයුතු ම මාතෘකාවක්. යෝනි මාර්ගය අවට ඇත්තේ ඉතාම සංවේදී ශ්ලේෂ්මල පටල යි. සංවේදිබව නිසාම එහි බැක්ටීරියා වර්ධනයත් ඉතාම ඉක්මන් ය.

කාන්තාවන් බොහෝදෙනා ලිංගේන්ද්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසුදු කිරීමට යොදා ගන්නා උපක්‍රම ලිංගේන්ද්‍රයට හා ඒ ආශ්‍රිත ප්‍රදේශයට අනතුරුදායක වන්නේ නොදැනුවත්වමයි.

සුවඳ විලවුන්

තමා සිරුරේ ගල්වන සුවඳ විලවුන් වර්ගය ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ගැල්වීමට ඇතැමුන් හුරුව සිටියි. එය කිසිසේත්ම සුදුසු නැත. මේ සුවඳ විලවුන් වර්ග, ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඇති සංවේදීබව නිසාම ආසාදනයන් කරා යෑම ඉක්මන් කරවාවි. ක්‍රීම්, පවුඩර් යනාදිය ගැල්වීම කුඩා කාලයේදී වුවත් නොකළ යුතුයි.

සනීපාරක්ෂක තුවා

සනීපාරක්සක තුවා භාවිත කරන ඇතැමුන් එහි වාටි පෙදෙස්වල සුවඳ කැවූ ඒවා භාවිතයට හුරුව සිටියි. ඔසප් දිනවල බැහැරවන අපිරිසුදු රුධිරයේ ඊටම ආවේණික වූ දුගඳක් පැවතියත් ඊට විසඳුමක් ලෙස සුවඳ කැවූ සනීපාරක්ෂක තුවා භාවිතය නම් එතරම් සුදුසු නැත.

තෙත ගතියෙන් යුතු ටිෂූ හෙවත් ඹඥබ ඹඪනඥඵ ලෙස පැමිණෙන ෆෙමිනින් වයිප්ස් යනාදිය රසායනික ද්‍රව්‍ය අඩංගු කොට සාදා ඇති නිසා එවැනි දෑ භාවිත කොට කාන්තාව තම ලිංගේන්ද්‍රය පිරිසුදු කරන්නට යෑම ද සුදුසු නැත.

රෝම ඉවත්කිරීම

ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඇති රෝම තරමක් කොටකර කපා පවත්වා ගෙන යාම එහි පිරිසුදුකමට සෘජුවම බලපායි. නිවැරැදි ක්‍රමවේද අනුගමනය කරමින් මේවා ඉවත් නොකළහොත් කෙස් මූලයන් ආසාදනයට ලක්වීමට පුළුවන.

මාසික ශුද්ධවීම්වන දින කිහිපය

මේ කාන්තාව තම ජීවිතයේ ප්‍රිය නොකරනම දින කිහිපයයි. මාසික ශුද්ධිය සිදුවන දින ගණන, පිටවන රුධිර ප්‍රමාණය එක් අයකුගෙන් තවත් අයකුට වෙනස් ය. මේ කාන්තාව අතිශයින්ම පිරිසුදුව සිටිය යුතු දින කිහිපයයි. මෙහිදී භාවිත කරන සනීපාරක්ෂක තුවා එක දිගට පැලඳ සිටීම සුදුසු නැත. අඩුවෙන්ම රුධිරය පිටවන අයකු වුවත් දිනකට සනීපාරක්ෂක තුවා එකකට වැඩි ගණනකට යෑම සුදුසු ය. ඇතැමුන්ට පළමු දිනය, දෙවැනි දිනයේ දී පැයෙන් පැයට වුවත් සනීපාරක්ෂක තුවාය මාරු කිරීමට සිදුවනු ඇත. එය තෙවැනි, සිව්වැනි දිනයන් වනවිට ක්‍රම ක්‍රමයෙන් අඩුවී යාවි.

මේ දිනවල වැඩිපුර ඇඟ සේදීම වැදගත් වේ. ඔසප් තිබුණත් නැතත් ෂවර් කැප් එකක් දමා නිතර ඇඟ සේදීම පිරිසුදුකම පවත්වාගෙන යෑමට ඉවහල් වේ.

යෝගට් භාවිතය

යෝගට්වල අඩංගු ලැක්ටෝ බැසිලස් බැක්ටීරියා යෝනි මාර්ගයේ හටගත හැකි කැන්ඩිඩා වැනි දිලීරවලට එරෙහිව සටන් කරයි. මෙහි නඩ් අගය නියමාකාරයෙන් අඩංගු නිසා දිලීර හටගැනීම, ඒ ආශ්‍රිත ප්‍රදේශයේ දුගඳක් හැමීම යනාදිය මඟහරවයි. සීනි අඩංගු නොවන යෝගට් කෝප්ප දෙකක් වුව දිනකට ආහාරයට ගැනීම සුදුසුය.

අඩු සාන්ද්‍රණයක් සහිත සබන් වර්ග, සබන් දියර යාන්තමට ආලේප කොට මේ ආශ්‍රිත ප්‍රදේශය පිරිසුදු කරන්න. යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය වඩාත් පිරිසුදු වන්නට යැයි සිතා තදින් අතුල්ලා සේදීම සුදුසු නැත. එවිට ශ්ලේෂ්මල පටලවලට හානි වී තුවාලවීමට පුළුවන. හෑන්ඩ් ෂවර් එක අල්ලා සේදීමේ වරදක් නැත. ඇතැම් යුවතියන් එසේ සේදීමෙන් කන්‍යාපටලයට හානි වේ යැයි අනිසි බියක් ඇතිකර ගනියි. එය මිත්‍යා සිතිවිල්ලකි.

කපු මිශ්‍රිත යට ඇදුම්

යට ඇඳුම් සඳහා ඕනෑම කෙනකුගේ තේරීම විය යුත්තේ කපු මිශ්‍රිත යට ඇඳුම් ය. මේ ප්‍රදේශයට වාතාශ්‍රය ලැබීම අත්‍යවශ්‍ය වේ. පමණට වඩා සිරකර ඇඳීම ද සුදුසු නැත. රාත්‍රියේ දී මෙම ප්‍රදේශය ඉතාම සැහැල්ලුව තැබීම වැදගත් වේ. ඒ සඳහා ලොකු කුඩා භේදයකින් තොරව පිජාමා යනාදිය ඇඳීම සුදුුසු ය.

මුත්‍රා පහ කිරීම

සෑම මුත්‍රා පිටකිරීමකදීත් ලිංගික සංසර්ගයකට පෙර සහ පසු මෙම ප්‍රදේශය හොඳින් පිරිසුදු කරගත යුතු වේ. සංසර්ගයෙන් පසු මුත්‍රා පහකරන්නේ නම් වඩාත් සාර්ථක ය. එවිට මුත්‍රා මාර්ගයේ බැක්ටීරියා ඇතිවීම වළක්වා ගත හැකියි.

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය හමුව

කාන්තාවකට තම ලිංගේන්ද්‍රය ආශ්‍රිතව ගැටලු පැන නැගී ඇත්නම්, විවිධ පැහැයන්ගෙන් ස්‍රාවයන් පිටවන්නේ නම්, මුල් අවස්ථාවේදී ම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු හමුවීම සුදුසු ය. මල්වර වූ දා පටන් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර එවැනි හමුවීම් පසුකලෙක ගර්භණී තත්ත්වයක දී පවා වැදගත් වේ. අනාගතයේ ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි පිළිකා ඇතිවීම පවා අවම කරාවි.

Junk Foods  එපා

කෑම් බීම් පවා කාන්තාවකට තම ලිංගේන්ද්‍රයේ පිරිසුදුකම කෙරෙහි බලපායි. තෙල්, මිරිස්, රසකාරක අඩංගු කෑම වර්ග (Junk Foods) යනාදිය වැඩිපුර ගැනීම මෙම ප්‍රදේශයෙන් දුගඳක් ඇතිකිරීම කෙරෙහි යම් ආකාරයකට බලපායි. පලතුරු කෑමෙන් මෙම තත්ත්වය යම් තරමකට සමනය වනඅතර සුදුලූනු බික් පිටින් අමුවෙන් හෝ උයා කෑම ද මේ ආශ්‍රිත ප්‍රදේශයේ දුගඳක් ඇත්නම් එය අවම කරයි.

 

උපදෙස්

විශේෂඥ මනෝ වෛද්‍ය (ආර්තවහරණ සංගමයේ අතිරේක ලේකම්)

එච්. ඒ. බුද්ධි ජයසේකර

 

 

උපදෙස්

විශේෂඥ මනෝ වෛද්‍ය (ආර්තවහරණ සංගමයේ අතිරේක ලේකම්)

 

එච්. ඒ. බුද්ධි ජයසේකර

1272 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 15:04
අදහස් එක් කිරීමට ලොග් වෙන්න