තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2017 දෙසැම්බර් 11, සඳුදා 13:14

ගැබිනි බව හා සබැඳි රුබෙල්ලා විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
බාල, තරුණ, මහලු අයකුට වැලඳුණු විටකදී භයානක ප්‍රතිඵල ගෙන නුදුන්නත්, ගැබිනි මවකට වැලඳුණු විට දී කලලයට බොහෝ සංකූලතා ගෙනදෙන බෝවන රෝගයකි රුබෙල්ලා.

 

රුබෙල්ලා යනු වෛරසයක් නිසා බෝවන රෝගයකි.

රුබෙල්ලා යැයි කී විට දී සිත් බියෙන් ඇළලී යන්නේ එය කුසහොත් දරුවාට කරනු ලබන අනිසි තත්ත්වයක් හේතුවෙනි.

ගර්භණී නොවන ඕනැම කෙනකුට වැලඳුනු විට දී එය බෙහෙවින්ම සාමාන්‍ය වෛරස් රෝගයකි.

මෙය වෛරස් උණක් සහ ස්වසන මාර්ගයේ සුළු රෝගී තත්ත්වයක් පෙන්වයි. රෝගය ශරීරගත වූ සැමදෙනා තුළත් රෝග ලක්ෂණ නොපෙන්වයි.

රුබෙල්ලා වෛරසයෙන් වැළකීම සහ රුබෙල්ලා එන්නත වැදගත් වන්නේ මවක් කුසෙහි දරා සිටින කලලය මෙම රෝගයෙන් මුදවාලනු පිණිසය.

කලලයට දැඩි අවදානමක්

රුබෙල්ලා වෛරසය ගැබිනි මවකට ශරීරගත වීමෙන් හට ගනුයේ ජර්මන් සරම්ප නමැති රෝගයයි.

මවක් ගර්භණී තත්ත්වයේ සිට කලලයට සති 12 ක පමණ කාලයක් ගතවනතුරු රුබෙල්ලා වෛරසය ශරීරගත වුයේ නම් එය භයානක විපත් රැසක් ගෙන දෙන්නකි.

වැඩෙමින් පවතින හෘදයට, මොළයට, ඇටමිදුළුවලට, පෙනහලුවලට, ස්නායුවලට, අක්මාවට, ඇසේ, කනේ පටක ඇතුළු ඉන්ද්‍රියයන් ගණනාවකට හානි පමුණුවයි.

සති 12 ක් ඇතුළත දී සියයට 80 ක පමණ හානි ගෙන දෙද්දී සති 12 - 16 වන විට එය සියයට 20 ක් පමණ දක්වා අඩුවේ. සති 16 න් පසු මොළයට, හෘදයට කරන හානි අවම කරයි.

සති 20 ක් පමණ දක්වා කන් ඇසීමේ, ඇස් පෙනීමේ දුර්වලතා ඇති කරයි.

සංකූලතා රැසයි

ඉදිරි සතිවලදී වැලඳුණේ නම් ඇති විය හැකි සංකූලතා සෑහෙන දුරට අවම කරයි.

මුල් සති කිහිපයේ දී වැලඳී කලලයට සිදු වූ හානිය බරපතළ එකක් වූයේ නම් ගබ්සාවක් පවා සිදුවිය හැකියි. ඇතැම් විට දරුවා ගැබේදීම මියගොස් මළ දරු උපතක් ලෙස බිහිවීමටත් පුළුවන.

කලලයේ වර්ධන වේගය බාලවිම, අඩු බර දරු උපත් සිදු විය හැකියි.

යම් හෙයකින් ජර්මන් සරම්ප වැලඳුණු මවකට උපතින්ම ආබාධිත දරුවකු බිහි විය හැකි වන්නේ විවිධ පටලවලට හානි සිදු වී ඇති නිසාය.

මුල් සති කිහිපය ඇතුළත දී රුබෙල්ලා වෛරසය ශරිරගත වූ ගැබ්බර මවකට කලලයට ජීවිත හානියක් නොවී සජීවී දරු උපතක් ලෙස මෙලොවට බිහි වුවත් ඒ දරුවා බුද්ධිය හීන වූ අයකු වන්නට පුළුවන.

හෘදය වස්තුවේ රෝග, හෘදයට රුධිරය ගෙනයන නාලවල අවහිරතා ඇති විය හැකියි.

බිහිරි බව, ඇස් අන්ධ බව මේ ආදී සංකුලතා රැසකින් හෙබි දරුවකු බිහි වුවහොත් නිරෝගී දරුවකු මෙලොවට බිහි කරන්නට දැරූ තැත ව්‍යර්ථ වී යාවි.

මෙය බෝවන්නේ වාතය හරහාය. ගැබිනි මවක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටිය යුතු යැයි අනතුරු අඟවන්නේ මේ නිසා ය.

පළමු ගැබිනි සමයේ රුබෙල්ලා වෛරසය ශරීරගත වී යම් යම් සංකූලතා ඇතිවුණි නම් දෙවැනි ගර්භණී සමයේ දී මෙම වෛරසය ශරිරගත නොවන්නට පුළුවන.

රුබෙල්ලා එන්නත

රුබලේලා වෛරසය නිසා ජර්මන් සරම්ප වැලඳීමේ අවදානමෙන් මිදෙන්නට රුබෙල්ලා එන්නත මහඟු කාර්යයභාරයක් ඉටු කරයි.

මෙය ගර්භණී සමය ගෙවන කිසිම කාන්තාවක් ලබා නොගත යුතු එන්නතකි.

එසේම මෙම එන්නත ලබාගෙන මාස තුනක් ගතවන තුරු ගර්භණී නොවීමට ද වගබලා ගත යුතුය. ඒ සඳහා වඩාත් ආරක්ෂාකාරී උපත් පාලන ක්‍රමයක් කරා යොමුවීම ද අතිශය වැදගත් ය.

රුබෙල්ලා එන්නත සජීවී එන්නතකි.

එනම් වෛරසය යන්තම් ශරීරගත වී රෝගය සාදවා ඒ සඳහා වූ ප්‍රතිශක්තිකරණය සිරුර වෙතින්ම ලබා දේ. මෙහි අතුරු ආබාධ අවමය.

එහෙත් කලාතුරකින් එන්නත ලබාදුන් ස්ථානය ඉදිමීමට, රතුවීමට, යාන්තමට රෑෂ් එකක් මෙන් පලු දැමීමට පුළුවන. එන්නත ලබා දී සතියක් හමාරක් ඇතුළතදීත් මෙය සිදු විය හැකියි.

එන්නත ලබා දී මාස තුනක පමණ කාලයක් වෛරසය ශරීරය තුළ ක්‍රියා කළ හැකි නිසා විවිධ අතුරු ආබාධ කලාතුරකින් ඇතිවීමට පුළුවන.

කුඩා දරුවන්ට

කුඩා දරුවන්ගේ ප්‍රතික්තිකරණ ලේඛනයේ මාස 9 හා අවුරුදු තුන යන වයස් කාණ්ඩවලදී රුබෙල්ලා එන්නත ලබාදේ. ඒ සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලා යන රෝග ත්‍රිත්වයෙන්ම (ර්ර්අ) ආරක්ෂා වනු පිණිසය.

මෙම එන්නත් කාණ්ඩය සඳහා අයත් නොවුණි නම් අවුරුදු 15 න් පසු රුබෙල්ලා එන්නත එක් වාතවක් පමණක් ලබාදීම ප්‍රමාණවත් වේ.

රුබෙල්ලා එන්නත ලබාදෙන සායනවලින් මෙය නොමිලයේම ලබාගත හැකි වේ. දැරියන් සහ යුවතියන් සියලුදෙනා මෙම එන්නත ලබා ගත්තේ නම් ගැබිනි සමයේ රුබෙල්ලා වෛරසය ශරීරගතවීමක් පිළිබඳ සිතිය යුතු හෝ නොවේ.

රුබෙල්ලා එන්නත ඔස්සේ රුබෙල්ලා වෛරසය තුරන් කිරීමේ වැඩසටහනට දායක වීම සඳහා ඔබ කළ යුත්තේ නිසි වයසේදී රුබෙල්ලා එන්නත ලබාගැනීම පමණි.

 

උපදෙස්

විශේෂඥ වෛද්‍ය (වෛරස්වේදී)

නදීක ජානගේ

873 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 11, සඳුදා 13:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න