තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2017 දෙසැම්බර් 27, බදාදා 09:30

පාද නහර ගැට ගැසීම එන්නත් සැත්කම් නොමැතිව සුව කළ හැකියි විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
අඩි උස සපත්තු ජෝඩුවක් දාගෙන දණ හිස යන්තම් පහළට ගිය කොට ගවුමක් ඇඳගෙන පටිය දිග අත් බෑගයක් කර හරහට දාගෙන ලතාවකට දෑත් පද්දාගෙන අතීතයේ දවසක ඔබ කිරිල්ලියක සේ ඇවිද ගියා මතකයි ද ? එදා එහෙම ඇවිද ගියාට අද කාලයේ එහෙම යන්න බැරි ද ?

 

අවුරුද්දක් ගෙවිලා.

 

නත්තලුත් ඇවිල්ලා. නව වසරක් ලබනවා. නගරයේ සෙනඟ පිරිලා. කඩ සාප්පුවල සෙනඟ පිරිලා. අල්මාරිය පුරවලා විච්චූරණ ඇඳුම් තියෙනවා. ඒත් අඳින්න බෑ. දාසයේ දාහතේ දරුවෝ පියාඹලා ඇවිදිනකොට හිතට දුක දැනෙනවා තමයි.

තනියම විස්සෝප වෙනවා තමයි. ආසාවකටවත් කොට ගවුමක් කොට කලිසමක් ඇඳලා ඇඟ හෑල්ලු කරගන්නට ඉඩක් නැහැ. හැමදාම සාරිය අඳිනවා.

දිග කලිසම් අඳිනවා. හැන්දෑවේ නිවාඩු පාඩුවට බාච්චු කලිසම් අඳිනවා. නැත්නං දිග ගවුමක් අඳිනවා. වයසට ගැළපෙන ඇඳුමක් තිබුණට ඇඳුමට වයසක් නෑ. ආසාවකටවත් කොට ඇඳුමක් අඳින්න බැරි එක අවාසනාවක් ද කියලත් හිතෙනවා.

“එළි පහළියට විතරක් නෙමෙයි. ගෙදරටවත් කොටට ඇඳලා ඉන්න බෑ අනේ..... පොඩි අය බයවෙනවා. අම්මෝ... අම්මගෙ කකුල්වලට මොනවා වෙලාද කියලා අහනවා. කොට ඇඳුමක් ඇඳපු කාලයක් මතක නෑ”

අද අපි කතා කරන්නේ බාහිර ලෝකයාගෙන් වසන් කරගෙන ඉන්නා දෙපා නහර ගැට ගැසීමේ රෝගය පිළිබඳවයි. ආයුර්වේදයේ දී මේ රෝගය හැඳින්වෙන්නේ ශිරා ස්ථාතිය රෝගය කියලයි. ඒත් වැඩිදෙනෙක් දන්නේ වෙරිකෝස් වේන්ස්  Vericose Veins  කිව්වහමයි. මේ රෝගය වැඩිපුර සෑදෙන්නේ කාන්තාවන්ට. මැදි වයසේ කාන්තාවන් බොහෝ දෙනෙක් දෙපා නහර ගැටගැසීම නිසා පීඩා විඳිනවා.

“මේකට කරන්න තියෙන්නේ පොඩි දෙයක් කිව්වා. බයවෙන්න දෙයක් නැහැයි කිව්වා. සිහි නැතිකරන්න අකමැතිනං ඒ කකුල විතරක් හිරිවට්ටලා කපන්න පුළුවන් කිව්වා. අනික ඔය නහර කෑල්ල තිබුණයි කියලා කිසි වැඩකුත් නැහැ කියලා කිව්වා. ඔපරේෂන් කරන්න මං කැමැති වුණේ නැහැ. වෙන දොස්තර කෙනෙක් ළඟට ගියා. ඒ මහත්තයා තමයි කිව්වේ බොරුවට කකුල කපාගන්න එපා කියලා.”

 

මානවයා ඍජු කාය විලාසයෙන් ගමන් කිරීමට පටන්ගත් අතීතයේ දී පටන්ම දෙපා නහර ගැටගැසීමේ තත්ත්වය තිබෙන්නට ඇති බව සිතිය හැකියි. පාලනයකින් හා සීමාවකින් තොරව අධිකව වෙහෙසවීමත් නිවැරැදි නොවන ආකාරයට බර එසවීමත් ඒ සඳහා හේතුවන්නට ඇත. කෙනෙකුගේ ශරීරයේ නහර ගැට ගැසී ඇතැයි පැවසීමට ඒවා ඉදිමී, දික්ගැසී ඒ හේතුවෙන්ම වක්‍රාකාරව දිගට ඇදී තිබිය යුතුයි. වැඩි වශයෙන් මෙසේ ගැට ගැසීමට ලක්වන්නේ ශිරා පද්ධතියයි. අපගේ ශරීරයේ පහළ කොටසේ සිට පිරිසිදු කළ යුතු රුධිරය හෘදය වෙත ගෙනයන්නේ ශිරා පද්ධති දෙකක් මඟිනි. ඒ අතරින් දිගින් වඩා වැඩි ශිරාව පාදයේ ඉදිරිපසින් තරමක් ඇතුළට වෙන්නට ගමන් කරන අතර දිගින් අඩුවූ ශිරාව පාදයේ පිටුපස පැත්තෙන් දණහිස දක්වා ගමන් කරනවා. පාදයේ නහර ගැටගැසීමේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් භාජනය වන්නේ දිග ශිරා පද්ධතියයි.

 

දවසේ වැඩි වේලාවක් සිටගෙන සිටීමට සිදුවීම හා දෙපා හරහා සම්ප්‍රේෂණය

වන සේ වැඩි බර ප්‍රමාණයක් දරා සිටීම හේතුවෙන් දෙපා නහර ගැටගැසීමේ තත්ත්වයට ගොදුරු විය හැකියි. ශිරාවන්ගේ සහජ දුර්වලතා හේතුවෙන් ද නහර ගැට ගැසීමේ රෝගය ඇතිවෙනවා. ගර්භණීභාවය, උදරයේ ගෙඩි සෑදීම, ශිරාවන්ගේ ලේ කැටි ඇතිවීම, ශිරාවන්ගේ කපාට දුර්වලතා ආදිය ද මේ රෝගය සඳහා බලපානවා. එමෙන්ම දියවැඩියාව රෝගය ඇති විටද ඉතා පහසුවෙන් නහර ගැටගැසීමේ රෝග තත්ත්වය ඇතිවීමට ඉඩ තිබෙනවා. නමුත් රෝගීන් බොහෝ දෙනෙකුට ශිරා ස්ථාතිය රෝගය ඇතිවීමට විශේෂ හේතුවක් සොයාගත නොහැකියි. එවන් රෝගීන්ගේ පරම්පරාවේ පෙර සාමාජිකයින් අතර මෙම රෝග ලක්ෂණ යම් ප්‍රමාණයකින් හෝ තිබූ අය සිටිය යුතුයි. එබැවින් වෙරිකෝස්් වේන්ස් රෝගයට ගොදුරු වූවන්ගේ පවුල්වල පසු පරම්පරාවේ සාමාජිකයින් මුල් අවස්ථාවේදීම රෝග ලක්ෂණ හඳුනාගැනීමට සැලකිලිමත් විය යුතුයි.

ශිරාවන් ගැට ගැසීම රුධිරය ගලා යාමට බාධාවක් වන බැවින් ශිරාවල රුධිර පීඩනයක් හට ගන්නවා. එවිට ශිරා ඉදිමීම, සම ඝනවීම, සමේ අවපැහැය ඇතිවීම ආදිය සිදුවන අතර සමෙහි කැසීම්, වනවීම් හා රුධිර වහනය වීම පවා සිදුවිය හැකියි. කකුලේ බර ගතිය, කෙන්ඩා පෙරළීම, කකුලේ තද වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. මෙවන් රෝගීන්ගේ කකුලේ හටගන්නා තුවාල ආදිය සුව නොවී දද ආකාරයෙන් කාලාන්තරයක් තිස්සේ සුවවීමට අපහසු ආකාරයෙන් තිබෙනු දැකගත හැකියි. එසේ ඇති විටදී එම තුවාල සුවවීමට නම් තුවාලයට සමගාමීව පාදයේ නහර ගැට ගැසීමේ රෝග තත්ත්වයට ද ප්‍රතිකාර කළ යුතුයි.

එමෙන්ම රෝග ලක්ෂණ මතුවී ඇති විටදී ඊට නිසි ප්‍රතිකාර ලබාගන්නා තෙක් වැඩිපුර වේලාවක් සිටගෙන සිටීම, දිගු දුරක් ඇවිද යාම හා දෙපාවලට දැනෙන ලෙස බර වැඩ කිරීම, බර ඉස්සීම ආදියෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි.

වෙරිකෝස් වේන්ස් රෝගය සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්නා ඔබට කිසිදු පසු අවදානමක්, කැපීම් කෙටීම් ආදියෙන් කැපුම් සලකුණු ඉතිරි කිරීමක්, රසායනික සංයෝග ශරීරයට ඇතුළත් කරගනිමින් සිදුකරන එන්නත් කිරීමක් ආදියෙන් තොරව ඉතා පහසුවෙන් ප්‍රතිකාර ලබාගත හැකියි. පාදයේ පිටතින් සිදුකරන පැලැස්තර දැමීම්, තෙල් සාත්තු කිරීම්, ආලේප කිරීම් ආදිය මඟින් ප්‍රතිකාර කරනු ලබනවා. එවිට විකෘති වූ ශිරා පෝෂණය කර එහි විකෘතිය මඟ හරවා ශිරා තුළ රුධිරය එක් රැස්වීම වළක්වා විකෘතිය මඟ හරවා ගත හැකියි. එවිට පාදයේ නහර කැබැල්ලක් කපා පිටට දැමීමට සිදුවන්නේ නැහැ. නහරය කොටකර ගැනීමට සිදුවන්නේ නැහැ. වෙරිකෝස් වේන්ස් සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාරයේ දී එන්නත් කිරීම් මඟින්, ලේසර් කිරණ ප්‍රතිකාරයෙන් හා සැත්කම් කිරීම් මඟින් ප්‍රතිකාර කරනු ලබනවා. ජීවිත අවදානමක් කෙසේවත් නොමැති ඉතා සුළු රෝග අවස්ථාවකට සැත්කම් ප්‍රතිකාරය ලබාගත යුතු ද යන්න ඔබම තීරණය කළ යුතුයි. එන්නත් ප්‍රතිකාර හා සැත්කම් ප්‍රතිකාර ලබාගත් රෝගියකු හමු වී ලබාගත යුතු නිවැරැදිම ප්‍රතිකාරය ඔබම තීරණය කරන්න.

වෛද්‍ය සජානි වාසනා ප්‍රනාන්දු

BAMS (Hons) University of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය

 

වනිගසූරිය මාවත, මොරටුව පාර, පිළියන්දල

1683 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 27, බදාදා 09:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න