තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 08, සඳුදා 13:18

වයසට වඩා වයසට යන්න එපා විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
නව වසර හදවතට තුරුලු කරන්නේ නැවුම් බවක්. නිවෙසේ ඉස්සරහ දොරින් ඇතුළු වන සතුට පෑල දොරින් පලා යාමට නොදීමට අලුත් ඇඳුම් පැලඳුම් වගේම නීරෝගි බව නංවන සිතිවිලි, හුරු පුරුදු ද අප ජීවිතයට එක්කර ගත යුතුයි.

 

වසරක් උදාවීම යනු තව වසරකින් තරුණ වීම බව සිතට ගත යුතුයි. තාරුණ්‍යයෙන් පිරි අය තාරුණ්‍ය රැකිය යුතුයි. මේ උපදෙස් ඒ සඳහා ඔබට රටක් වටී.

ශාරීරික යෝග්‍යතාව වයස අවුරුදු 30 - 50 නම් . . .

සාමාන්‍ය වන්නේ - පඩි තුනක් නැග්ග පසු සුළු හතියක් දැනීම. අසාමාන්‍ය වන්නේ - පඩි තුනක් නැග්ග පසු නැවතී මහන්සි අරින්නට සිදුවීම, හිසරදය, කරකැවිල්ල, එක්වරම හුස්ම ගැනීමට අපහසුවීම වැනි ලකුණු ඇතිවීම.

හෘද මාංසපේශි මැදි වයසේදී ග්‍රෑම් 0.3 ක් පමණ වසරකට ඇකිළෙනවා. මෙයින් රුධිරය පොම්ප කිරීමට බලපෑමක් සිදුවනවා. මෙවිට අධික රුධිර පීඩනය සහ හුස්ම ගැනීමේ අපහසුතාව වැඩිවනවා.ශාරීරික යෝග්‍යතාව හෘද සෞඛ්‍යයට තදින්ම බලපානවා. ක්‍රියාකාරී නැති පුද්ගලයන් හෘදයාබාධවලට ගොදුරුවීමට ඇති ඉඩ වැඩියි.

තාරුණ්‍ය ළඟාකර ගැනීමට . . .

දිනකට අඩු වශයෙන් මිනිත්තු 30 ක්වත් ඇවිදීම වැනි ව්‍යායාමයක යෙදෙන්න. හදවතේ නිරෝගීභාවයට ශාරීරික ක්‍රියාකාරකම් අත්‍යාවශ්‍යයි.

වයස අවුරුදු 50 - 70 නම් . . .

සාමාන්‍ය වන්නේ - පඩි දෙකක් නැග්ග පසු සුළු හතියක් දැනෙනවා. නැවතීමට අවශ්‍ය වන්නේ නැහැ.

අසාමාන්‍ය වන්නේ - සුළු ක්‍රියාවකදී කරකැවිල්ලක් දැනීම උදා: ගෙවත්තේ වාඩි වී සිට නැගිටීම. කරකැවිල්ල හෘදයට සැපයෙන රුධිරය අඩු වූ විට සහ රුධිර සංසරණය දුර්වල වූ විට ඇතිවන ලකුණකි. ඇතැම් විට හෘද රෝගයකින් පෙළෙනවා විය හැකියි. රුධිර නාල පටු වූ විට සිරුරට ප්‍රතික්‍රියා කිරීමට වැඩි කාලයක් ගතවනවා.

තාරුණ්‍ය ළඟාකර ගැනීමට . . .

ඇවිදින්න, ගෙවතු වගාවක යෙදෙන්න. පඩි නගින්න. වාඩි වී සිටින කාලය හැකි තරම් අඩු කරන්න. මිනිත්තු 30 කට වරක්වත් නැගිටින්න. උදා: රූපවාහිනිය නරඹද්දී, පරිගණකයේ සිටියදී, වාහන එලවීමේදී.

වයස අවුරුදු හැත්තෑවට වැඩි නම් . . .

එක් පඩියක් නැග්ග පසු සුළු හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනෙනවා. ආසාමාන්‍ය වන්නේ - එක් පඩියක් නැග්ග පසු දැඩි අපහසුතාවක් දැනෙනවා.

 

තාරුණ්‍ය ළඟාකර ගැනීමට . . .

වයස අවුරුදු හැත්තෑ ගණන්වලදී වයස තිස් ගණන්වලදී මෙන්ම ක්‍රියාකාරී වීම අත්‍යාවශ්‍යයි. එයින් ගොඩ නැගෙන්නේ තනිවම වැඩ කිරීමේ හැකියාවයි.

කන්

කන් ඇසිම අකාලයේ අහිමි කරන ප්‍රධාන හේතුව වන්නේ අධික ශබ්දයන්ය. සංගීත ප්‍රසංග මීට හොඳම උදාහරණයයි.

වයස අවුරුදු 30 - 50 දී

සාමාන්‍ය වන්නේ - අධික ශබ්දයක් ඇති පසුබිමකින් ඇසෙන කථාවක වචන පැහැදිලිව ඇසීමට අසීරු වනවා.

අසාමාන්‍ය වන්නේ - ආපන ශාලාවේ කතාබහ ඇසෙන්නේ ව්‍යාකූලවයි. මිනිසුන් මුමුනනවා සේ ඇසෙනවා. වයස්ගතවීම් සමඟ කන් ඇසීම අඩු වන්නේ අභ්‍යන්තර කනේ කුඩා රෝම සෛල මිය යාම නිසයි. පවුලේ ඉතිහාසය, උස් හඬවල්වල දෙසවන් නිරාවරණය වීම, දුම්පානය අවදානම වැඩි කරනවා. මෙය වයස අවුරුදු 55 ට පෙර සැබැවින්ම ගැටලුවක් වන්නේ නැහැ.

තාරුණ්‍ය ළඟාකර ගැනීමට . . .

හෙඩ්ෆෝන් භාවිත කරමින් අධික ශබ්ද ඇති පරිසරයක උස් සංගීතයට සවන්දීමෙන් අදම ඈත්වන්න.

පනහට වැඩිනම් . . .

සාමාන්‍ය වන්නේ - දෛනික හඬවල් පැහැදිලිව හඳුනා ගැනීමට යුද්ධයක් කිරීමට සිදුවීම (විශේෂයෙන් අධික ශබ්ද ඇති විට) තරුණ අය රූපවාහිනියේ, ගුවන් විදුලියේ හඬ වැඩි බව පවසනවා ඇති.

අසාමාන්‍ය වන්නේ - කනේ ශබ්ද ඝෝෂාව (ශබ්දය දෝංකාර දීම බිහිරි බව හා අත්වැල් බැඳ ගත්තක්) තමන් අවට හඬවල් හඳුනා ගැනීමට යුද්ධයක් කිරීමට සිදුවීම.

වයස අවුරුදු පනස් පහේ සිට වයස්ගතවීමත් සමඟ ඇතිවන කන් ඇසිම අඩුවීම සාමාන්‍යයි.

වයස අවුරුදු හැත්තෑවේදී එම වයසේ ජනගහනයෙන් සියයට හැත්තෑවකගේම කන් ඇසීම දුර්වල වෙලා. කලාතුරකින් අභ්‍යන්තර කනේ ගෙඩියක් ඇති විට ද ඔක්කාරය, කරකැවිල්ල වැනි ලක්ෂණ හට ගන්නවා.

තාරුණ්‍ය ළඟාකර ගැනීමට . . .

ඇසීමේ දුබලතාවක් දැනුණු විට කර්ණ ආධාරකයක් සවි කර ගන්න. ලැජ්ජාවට ආධාරකයක් සවි නොකිරීමෙන් ඇසීම වඩාත් දුර්වල වනවා. ආධාරක කල් ඇතිව සවි කළ විට මොළයට ඊට හුරු වීම පහසුවනවා. කල්ගත වූ විට මොළයට හුරුවීමට අසීරුයි.

ඇස්

ඇසේ කාචයේ නම්‍යතාවය අඩු වූ විට පත්තර කියවීම අසීරුවනවා. මෙය වයස්ගතවීමත් සමඟ ඇතිවන පෙනීමේ දුබලතාවකි.

වයස අවුරුදු 30 - 50 දී

සාමාන්‍ය වන්නේ - වයස අවුරුදු 45 ට පසු කුඩා අකුරු කියවීමට අපහසුවනවා. අකුරු කියවීමට වැඩි ආලෝකයක් අවශ්‍ය වනවා.

අසාමාන්‍ය වන්නේ - බොඳ වී වලාකුළු වාගේ පෙනීම, උමගක් තුළින් බලනවාක් මෙන් පෙනීම.වලාකුළු වාගේ බොඳ වී පෙනෙන්නේ ඇසේ සුද නිසා විය හැකියි. මෙය අවුරුදු හැත්තෑ ගණන්වලදී සාමාන්‍යයි. නමුත් පනස් ගණන්වලදී එසේ වන්නේ දියවැඩියාව නිසා විය හැකියි. දෘෂ්ටි ස්නායුවට හානි වී උමගක් තුළින් බලනවාක් මෙන් පෙනීම වයස අවුරුදු හැත්තෑ ගණන්වලදී සුලබයි. මෙසේ වන්නේ ග්ලෝකෝමා නිසයි.

තාරුණ්‍ය ළඟාකර ගැනීමට . . .

දුම්පානය නවත්වන්න. බොහෝ අක්ෂි රෝගවලට දුම්පානය හේතු වනවා.

වයස අවුරුදු 50 - 70 නම්

සාමාන්‍ය වන්නේ - වලාකුළු මෙන් බොඳ වී පෙනීම, බලන දෙයෙහි තිත් තිත් පෙනීම, කාචය කහ හෝ දුඹුරු වීම .

අසාමාන්‍ය වන්නේ - එක්වර බොඳ වී පෙනීම, කෙළින් ඇති රේඛා ඇද වී පෙනීම.මේ දියවැඩියාව වැනි රෝගවලට වැඩිපුරම ගොදුරු විය හැකි වයස් සීමාවයි. රුධිර සීනි මට්ටම වැඩි වූ විට බොඳ වී පෙනෙනවා. මෙවිට වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. කෙළින් ඇති රේඛා ඇද වී පෙනීම වයස්ගත වීම නිසා ඇතිවන ප්‍රබල ලකුණක්. එය අන්දභාවයට ප්‍රධාන වශයෙන් මඟ පාදනවා. වයස අවුරුදු හැත්තෑ ගණන්වලදී මෙය සුලබයි. පවුල් ඉතිහාසය වගේම දුම්පානය ද මීට හේතුවනවා.

තාරුණ්‍ය ළඟාකර ගැනීමට . . .

එක් ඇසක් වසා කෙළින් ඇති රේඛා කෙළින් පේනවාද බලන්න. ඇදට පෙනෙනවා නම් වහාම අක්ෂි වෛද්‍ය විශේෂඥයකු හමුවන්න. ඔමේගා 3 අඩංගු මසුන් වැඩිපුර ආහාරයට ගැනීමෙන් වයසත් සමඟ ඇතිවන පෙනීමේ දුබලතාව වළක්වා ගන්න පුළුවන්.

හැත්තෑවට වැඩි නම් . . .

සාමාන්‍ය වන්නේ - බොඳ වී පෙනීම, වියළි සහ කඳුළු පිරුණු ඇස්. අසාමාන්‍ය වන්නේ - රේඛා කැඩී පෙනීම. වයස අවුරුදු 75 ට වැඩි සියයට හතළිහකට ඇසේ සුද වර්ධනය වනවා. ඒ වයසේ ජනගහනයෙන් අඩක් වයසත් සමග පෙනීම අඩුවීමේ ගැටලුවට මුහුණ පානවා.

තරුණ්‍ය ළඟකර ගැනීමට . . .

වයසත් සමඟ පෙනීම අඩුවීම ඉක්මනින්ම හඳුනාගෙන ප්‍රතිකාර ගැනීමට අවශ්‍යයි. නැත්නම් අවාසනාවන්ත ලෙස අන්ධ විය හැකියි.

1396 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 08, සඳුදා 13:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න