තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 මාර්තු 06, අඟහරුවාදා 11:42

කාන්තා නියෝජනය සැබෑවටම විකාරයක් ද? විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
පුංචි ඡන්දය ඉවරයි. පත් කරන මන්ත්‍රීවරියන් ගණනත් එක්ක පළාත් පාලන ආයතනවලට පත් කරන මන්ත්‍රීවරියන්ගේ සංඛ්‍යාව නිශ්චය වශයෙන් තවම කියන්න බැරි වුණත් මේ මැතිවරණයෙන් ඉතිහාසගත කාන්තා නියෝජනයක් ඇති වෙලා අවසන්.

 

 

මේ කාන්තා නියෝජනය සම්බන්ධව කරුණු කාරණා ගණනාවක් පසුගිය දවස්වල කියවුණා. මෙය කියවන මේ මොහොතේ ඒ කතිකාවේ උණුසුම අඩුවක් වෙලා නැහැ. මැතිවරණ ප්‍රතිඵල නිකුත්වෙලා දින කිහිපයක් ගතවෙද්දීම මැතිවරණ කොමසාරිස්තුමා වන මහින්ද දේශප්‍රිය මහත්මයාම කියලා තිබුණා මේ 25% කාන්තා නියෝජනය අපබ්‍රංශයක්ය සංශෝධනයක් ඕනෑය කියලා.

ඒ වගේම කාන්තා නියෝජනය නිසියාකාරව කරගන්න බැරි පළාත් පාලන ආයතන පනහකට වැඩි ප්‍රමාණයකුත් තියෙනවා කියලා එතුමා වැඩිදුරටත් අවවධාරණය කරලා තිබුණා. පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයකුත් තමන් කාන්තා නියෝජිතවරියන් පත්කරද්දී අපහසුතාවයට පත් වෙන්නට ඉඩ ඇති බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණා.

නියෝජනයට අසාධාරණයක් කරන්න එපා. පත්වන මන්ත්‍රීවරියන්ව කප්පාදු කරන්න එපා කියලා කොළඹ නගරාධිපතිනි අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය මැතිවරණ කොමසාරිස්තුමාට ලියමනකුත් ලියා තිබුණා. මැතිවරණ කොමිසම කාන්තා නියෝජනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ග පැසසිය යුතුමයි.

කාන්තාවන්ගේ ඔලු ගෙඩි ගණන වැඩිවෙනවාට වඩා ඉන්න අඩු ප්‍රමාණය බුද්ධිමත්ව ක්‍රියාශීලීව වැඩ කිරීමෙන් කාන්තාවන්ගේ නායකත්වයේ අපූර්වත්වය පෙන්වමින් ක්‍රමිකව කාන්තා නියෝජනය වැඩිකර ගැනීම වඩා වැදගත් කියලා මේ දවස්වල මුහුණු පොත හා එක්වන සමාජයේ ප්‍රබල කාන්තා චරිත, සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් අදහස් දක්වලා තිබෙනවා මම දැක්කා.

ප්‍රකට ලේඛිකාවක් මූණු පොතේ සිය ගිණුමට අදහසක් එක් කරමින් මෙහෙම ලියලා තිබුණා.

කාන්තාවක් විදියට මම කැමැතියි දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි වෙනවාට. ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි වුණෙත් ලංකාවෙන්. ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහි වුණෙත් ලංකාවෙන්.

ඒත් ඉතිං රටේ ප්‍රශ්න තියා තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳගන්නවත් හැකියාවක් නැති, අබමල් රේණුවකවත් දැනුම නැති, පොතක් පතක් කියවන්නේ නැති, පිරිමි කියන ඕනෙම දෙයක් දේවභාෂිතයක් වගේ පිළිගන්න, අසාධාරණය දැක දැකත් අහක බලාගෙන යන, මඩ ප්‍රහාර විඳගන්න ශක්තියක් නැති කාන්තාවෝ දේශපාලනයට ඇවිත් වැඩක් නෑ. සියයට විසි පහේ කාන්තා නියෝජනය විකාරයක් කියලයි මට නම් හිතෙන්නේ. දේශපාලනය ගැන සැබෑ ඇල්මක් අද දේශපාලන රටාව ගැන හොඳ අවබෝධයක් තියෙන එඩිතර කාන්තාවෝ එක් කෙනෙක් හිටියත් ඇති. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට මම අදටත් ගරු කරන්නේ එතුමිය එබඳු කාන්තාවක් නිසා.

සියයට විසිපහේ කාන්තා නියෝජනය විකාරයක් වෙන්නේ අපි ඒක භාවිත කරන විදිහටයි කියලයි මං නම් හිතන්නේ. යහපාලන ආණ්ඩුවෙන් තමන්ට ලැබුණු මේ අනගි අවස්ථාව මේ සමාජයේ ජීවත්වන කාන්තාවන් හරිහැටි අරගෙන නැහැ කියලයි මං හිතන්නේ.

හොරෙකුට, මැරයෙකුට, තක්කඩියෙකුට වඩා ගමේ එදිනෙදා ප්‍රශ්න විසඳගන්න නායකත්වය දෙන්න යම් අධ්‍යාපන මට්ටමක් තියෙන, සමාජ සේවයට ලැදි, ආගමට දහමට ලැදි කාන්තාවකට අපහසු වෙන්නේ නැහැ.

අපේක්ෂිකාවන් පත් කරන කොට පොල් ලෙලි පත් නොකර රටේ දේශපාලන තත්ත්වය ගැන අවබෝධයක් ඇති කාන්තාවන් පත් කිරීමට අදාල දේශපාලන පක්ෂ, කණ්ඩායම් ක්‍රියා කළ යුතුයි නේද? අවාසනාවකට රටේ දේශපාලන තත්ත්වය ගැන අවබෝධයක් ඇති එවැනි පක්ෂ හෝ කණ්ඩායම් අවම එකයි අපට තියෙන ප්‍රශ්නය. කාන්තාවන්ට අපේක්ෂකත්වය ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලා සිටි දේශපාලකයන් ගැනත් මේ මැතිවරණයේදී

වාර්තා වුණා ඔබට මතක ඇති.

අපේ සහෝදර ලේඛිකාවට කාන්තා නියෝජනය විකාරයක් වගේ පේන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ, ගම්වල

ඔප දැමූ මැණික් යට ගසා ගොමරිටි මතුකර ගැනීම නිසා යැයි පැවසුවොත් වරදක් නැහැ.

ආසන සංවිධායකවරයාගේ, පළාතේ දේශපාලන බලවතාගේ මව, බිරිඳ, සොහොයුරිය, දියණිය, පෞද්ගලික ලේකම්වරිය වැනි ඥාති සම්බන්ධකම් හිතවත්කම් මත කොට්ඨාශ සංවිධායකවරියන් (අපේක්ෂිකාවන්) පත් කළ බව රහසක් නොවෙයි. අද අපේ රටේ ක්‍රියාත්මක වන අශීලාචාර දේශපාලන සංස්කෘතියට බිය වීම නිසා නායකත්වයට සුදුසු සමාජ ක්‍රියාකාරිනියන් ලෙස කටයුතු කළ හැකි කාන්තාවනුත් මේ මැතිවරණයේදී ඡන්ද සටනෙන් බැහැරව සිටිය බවත් සත්‍යයක්.

දේශපාලන පක්ෂ කණ්ඩායම් වගකීමක් නැතිව හිතුමතේ කටයුතු කරමින් අපේක්ෂක ලැයිස්තු සකස් කරන බවට හොඳම උදාහරණයක් තමයි අසූ හැවිරිදි කාන්තාවක් අපේක්ෂක ලැයිස්තුවට පත් කිරීම.

වාර්තා වෙන හැටියට ඒ කාන්තාවත් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා. මෙවැනි දේවල් සිදු වුණොත් කාන්තා නියෝජනය විකාරයක් වීම වළක්වන්න බැහැ.

හැම හොඳ දෙයකම වැරැදි කෑල්ලක් අල්ලා ගැනීම අපේ රටේ බොහෝ දෙනෙකුගේ පුරුද්දක් වෙලා.

ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ නියම අරුත අපේ සමාජය නියමාකාරයෙන් තේරුම් අරගෙන නැති ද?

ඒ සමාජයේ ජීවත්වන කාන්තාවන්ටත් ඒකෙන් ගැලවෙන්නට බැරිද? තමන්ගේ ඡන්දය සිහියකින් බුද්ධියකින් පාවිච්චි කිරීමට නොහැකිද? අපේක්ෂකත්වය ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලූ කණ්ඩායමට ඡන්දය ලබා දෙන්නට තරම් කාන්තාව පහත් තැනක වැටිලා ද? තමන්ගේ සහෝදරියට වන විපත අමතක කරන්නට කාන්තාවකට හැකිද?

අපේක්ෂකත්වය ලබා ජයග්‍රහණය ලැබූ අඩු දැනුමකින් යුත් කාන්තා නියෝජනයක් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සිදු වූවා යැයි ඇතැමෙකුට සිතෙන්නට පුළුවන්. නමුත් දැන් කළ යුත්තේ ඒ අයව දිගින් දිගටම විවේචනය කරමින් රටේ සංවර්ධන කාර්යය ආපස්සට ඇදගෙන යාම නොවෙයි.

පක්ෂ පාට හැටියට තවදුරටත් බෙදී වාද කරමින් නොසිට කොට්ඨාශ නායකත්වය සමඟ පෙළ ගැසීමයි. විශේෂයෙන්ම දැන් කළ යුත්තේ කාන්තා මන්ත්‍රීවරියන් නියෝජනය කරන කොට්ඨාශවල කාන්තා සංවිධාන, කණ්ඩායම් තම නායිකාව දිරි ගැන්වීම් කරමින්, බලපෑම් කරමින් තමන්ගේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ඉලක්කයන් සපුරා ගැනීමට වෙහෙසීමයි.

වසර ගණනාවකට පස්සෙයි තමන්ගේ ගමට වගකියන නායකයෙක් අපේ රටේ ජනතාවට ලැබෙන්නේ.

එයින් සියයට විසි පහක් තරම් ප්‍රමාණයක් ඔලු ගෙඩි ලබා ගැනීම කොහොම හිතුවත් මෙරට කාන්තාවන් ලැබූ විශාල ජයග්‍රහණයක්. ක්‍රියාකාරී දේශපාලනයට අනාගතයේ පිවිසෙන්න සිටින කාන්තාවන්ටත් බලාපොරොත්තු දල්වාගත් අවස්ථාවක්.

පත්වුණු කාන්තා නියෝජිතයින්ගේ අඩු ලුහුඬුකම් තියෙන්න පුළුවන්.

දේශපාලන නායකයින්, සමාජ සංවිධාන රටට මාර්ගෝපදේශය සපයන්නන් එකතු වී ඒවා අකාමකා ඔවුන්ගේ උපරිම සේවය ජනතාවට ලබාදීමට පෙරමුණ ගත යුතු වෙනවා. පළාත් පාලන මැතිවරණය අපේ රටේ කාන්තා දේශපාලනයේ නව ප්‍රවේශයක්. එක අතකින් ජාතික දේශපාලනයටත් නායිකාවන් බිහි කරන තෝතැන්නක් බවට මෙය පත්වේවි.

ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් පුළුල් කරපු මේ මැතිවරණය කාන්තාවන්ගේ පැත්තෙන් වාර්තා පිට වාර්තා තබන්නක් වුණා. කොළඹ නගර සභාවට ප්‍රථම වරට කාන්තාවක් නගරාධිපතිනිය වශයෙන් පත් වුණේ මේ මැතිවරණයෙන්.

ඒ වගේම ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ආදිවාසී කාන්තාවක් ජයග්‍රහණය කළෙත් මේ මැතිවරණයෙන්.

පළාත් පාලන ආයතනවල මුල් පුටු පත් කරලා කාන්තා මන්ත්‍රීවරියන් වැඩ කරන්න ගත්තහම තව තවත් වාර්තා ගැන අපට දැනකියා ගන්න පුළුවන් වේවි.

කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ සිය ධූර කාල අවසන් වෙනකොට පිරිමින්ගේ නායකත්වයෙන් යුත් කොට්ඨාශවලට වඩා කාන්තාවන්ගේ නායකත්වයෙන් යුත් කොට්ඨාශවල වඩා වැඩි සංවර්ධනයක්, දූෂණයෙන් භීෂණයෙන් අඩු පරිසරයක්.

මේ ලියමන අවසන් කරන්නට පෙර තවත් පුංචි කරුණක් සිහි ගැන්විය යුතු යයි මා සිතනවා. පුංචි ඡන්දයේ නව මුහුණුවර අපි හැම දෙනාටම අලුත් එකක්නේ.

මේක තවත් එක් ඡන්දයක් කියලා අමතක කරන්නේ නැතිව මේ ලැබුණු අවස්ථාව වඩා ඵලදායි විදිහට මෙහෙය වන්නේ කොහොමද කියලා කල්පනා කළ යුතු වෙනවා.

ඡන්දයක් එනකම්ම ඉන්නේ නැතිව තමන්ගේ අනාගත ප්‍රජා නායිකාවන් ගොඩ නඟා ගැනීමට කාන්තාවන් උත්සුක වෙනවා නම් හොඳයි.

ජාතික මට්ටමින් තීන්දු තීරණ ගෙන පාසල් අධ්‍යාපනයෙන් නායකත්වයේ දේශපාලනයේ අගය දරුවන්ට කියාදෙන නායකත්ව පුහුණුවට නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළොත් ගමට වැඩ කරන වගකියන පෞරුෂත්වයෙන් අනූන කාන්තා නායිකාවන් පිරිසක් ගොඩ නඟා ගැනීම අපහසු වෙන එකක් නැහැ.

එවිට කාන්තා දේශපාලන නියෝජනය කිසි කලෙකවත් විකාරයක් වෙන එකක් නැහැ.

 

ජනප්‍රිය ජයසිංහ

 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

1599 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 06, අඟහරුවාදා 11:47
අදහස් එක් කිරීමට ලොග් වෙන්න