තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 මාර්තු 06, අඟහරුවාදා 11:51

ස්ත්‍රී දූෂිතයන්ට නීතියෙන් කිසිදු ගැලවීමක් නැහැ

ලිව්වේ  ෂමිලා ප්‍රසංගනී ප්‍රනාන්දු
අගයන්න
(0 මනාප)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා   කාන්තාව ව්‍යසනවලින් ආරක්ෂා කර ගැනීම සෘජු සමාජයීය වටිනාකමක් සේම වගකීමකි. මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවල නියැලෙන අධම පුද්ගලයින් නීතියේ රැහැනට හසු කරගන්නා ආකාරය, ඒ සඳහා අප දැනුවත් විය යුතු ආකාරය හා ඒ සඳහා මුහුණ දීමේදී දැනුවත් විය යුතු නීතිමය ප්‍රතිපාදනයන් පිළිබඳව අප වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා සමඟ සාකච්ඡා කළේ කාන්තා දිනය ද ළඟ ළඟම එළැඹෙන නිසාවෙනි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ක්ෂේත්‍රයේ නියැළෙන ඔබතුමාට බාලවයස්කාර, ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ඒත් සමස්ථ සමාජයටම ඒ පිළිබඳ දැනුවත්වීමක් කළහොත්....

රටේ තිබෙන නීතියට අනුව, බාලවයස්කාර දැරියන් වගේම විශේෂයෙන්ම, පිරිමි පාර්ශ්වයත් මේ පිළිබදව දැන සිටිය යුතුයි. අපහරණය / ස්ත්‍රි දූෂණයක් ගත් කළ බාල වයස්කාරද? නැද්ද යන්න අදාළ වන්නේ නැහැ. කුමන හෝ වයස් කාණ්ඩයක පසුවන කාන්තාවක් සම්බන්ධයෙන් ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගිකව එකතුවීම ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකෙනවා. ස්ත්‍රී දූෂණයක් සිදුවූ වහාම ඒ පිළිබඳව විමර්ෂණ කටයුතු සිදුකිරීමට පොලිසිය බැඳී සිටිනවා. එවැනි අවස්ථාවකදී පොලිසිය වෙත පළමු පැමිණිල්ල ආ යුතුයි. නීතියේදී එය ‘මුල් තොරතුර’ ලෙස සඳහන් කරනවා. මුල් තොරතුර පැමිණි ආකාරය අදාළ වන්නේ නැහැ. අපි හිතමු, දූෂණයට ලක්වූ තැනැත්තිය / දැරියට වුණත් ඇය විසින්ම පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමට පුළුවන්. නීතියේදී මෙවැනි ප්‍රකාශයක් කිරීම ඉතාමත් සුදුසුයි. සමහර අවස්ථාවලදී එම පැමිණිල්ල වින්දිත තැනැත්තියගේ ලේ ඥාතියෙකු හෝ අසල්වැසියෙකු හෝ ළඟම මිතුරෙක් විසින් ලබාදෙන මුල් තොරතුරක් විය හැකියි. පාසල් දැරියක් නම් පාසල් ගුරුවරයෙකු විසින් ලබා දිය හැකියි. එසේත් නැතිනම් මුල් තොරතුර පොලිසියට ලැබෙන්නේ නිර්නාමික ලිපියකින් වෙන්නත් පුළුවන්. ‘119’ විය හැකියි. ඒ නිසා තමාට හැකි විගසම පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදීම ඉතාමත් වැදගත් කරුණක් බව කිව යුතුයි. මේ කොයි ක්‍රමයට හෝ පැමිණිල්ල පොලිසියට ලැබුණු විට නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා.

බොහෝ වේලාවට මෙවැනි සිදුවීම්වලදී ඇසින් දුටු සාක්ෂි නොමැතිවීම අඩුපාඩුවක් විය හැකිද?

එය නිවැරැදියි. මේවායේ තිබෙන ලොකුම ගැටලුව වන්නේ ඇසින් දුටු සාක්ෂි නොමැතිකම. නමුත් සාක්ෂි නොමැති වුණා කියලා සිදුවීම කිසිවිටෙකත් යටපත් වන්නේ නැහැ. ඒ කියන්නේ අනෙකුත් බාහිරින් ලැබෙන සාක්ෂිවලට අප පරිවේෂණාත්මක සාක්ෂි (Circomstances Evidences)  කියා සඳහන් කරනවා. උදා: ලෙස පොලීසිය අදාළ සිදුවීම සිදුවූ තැන තිබී නොයෙකුත් නඩු භාණ්ඩ සොයා ගැනීම, ඇඳක දූෂණයට ලක් වූවා නම් ඇඳ ඇතිරිලි ආදිය, එම අවස්ථාවේදී අදාළ වින්දිත කාන්තාව ඇඳසිටි යට ඇඳුම් ආදිය ප්‍රධාන නඩු භාණ්ඩ ලෙස සැලකිය හැකියි. එම අවස්ථාවේදී පොලිසිය විසින් අදාළ වින්දිත කාන්තාව අධිකරණ වෛද්‍ය නිලාධාරියකු වෙත යොමු කරනු ලබනවා. මන්ද ස්ත්‍රි දූෂණයක් සම්බන්ධ නඩුවකදී අධිකරණ වෛද්‍ය නිලධාරියකුගේ හෝ ඒ පිළිබද විශේෂඥතාවයක් තිබෙන වෙනත් වෛද්‍යවරයකුගේ විශේෂඥ සාක්ෂිය අතිශයින්ම වැදගත් වෙනවා.

ස්ත්‍රී දූෂණ ගත් කළ බරපතළ ලිංගික අපයෝජනය හා ලිංගික අඩම්තේට්ටම් ඉන් වෙනස් වන්නේ කොහොමද?

ස්ත්‍රී දූෂණයක් වන්නේ ලිංගික ප්‍රවේශයක් තිබේ නම් පමණි. සාක්ෂිවලින් තමයි කිසියම් ප්‍රවේශයක් අදාළ වින්දිත කාන්තාවට වූවාද? නොවූවාද? යන්න තීරණය කරන්නේ. කැමැත්තක් ඇතිව හෝ නැතිව ලිංගිකව එක්වීම තමයි ප්‍රවේශයක් කියලා මා සඳහන් කළේ. ප්‍රවේශයක් නොමැතිව බලෙන් ලිංගික එක්වීමක් සිදු කළොත් එය ස්ත්‍රී දූෂණයක් නොවේ. එය බරපතළ ලිංගික අපයෝජනය කියලා සඳහන් කරන්න පුළුවන්. එය ස්ත්‍රී දූෂණයක් තරමටම වරදක් නොවුවත් එය දඬුවම් ලැබිය හැකි වරදක්. තවත් කරුණක් ලෙස ලිංගික අඩම්තේට්ටම් සඳහන් කරන්න පුළුවන්. එනම් කිසියම් පුද්ගලයකුගෙන් කාන්තාවකට ලිංගික ක්‍රියාවලියකට ඇරයුම් නොකළත්, වචනයෙන් හෝ ලිංගික හිංසාවක් කළා නම් එය ලිංගික අඩම්තේට්ටමක් වෙනවා. ඒ කියන්නේ බස් රථයක් තුළදී කාන්තාවකට ලිංගික හිරිහැරයක් සිද්ධ වේ නම් එය ස්ත්‍රී දූෂණයක් වන්නේ නැහැ. දඬුවම් නියම කිරීමේදී ස්ත්‍රී දූෂණයට තමයි බරපතළ දඬුවම් ලැබෙන්නේ. එනමුත් ස්ත්‍රීයක් ලිංගිකව හිංසනයට ලක් කරන ඕනෑම වරදකට බරපතළ සිර දඬුවම් නීතියෙන් හිමිවන බව කිව යුතු කරුණක්. එහෙත්, සැර පරුෂ වචන, අසභ්‍ය වචන මේ ගනයට වැටෙන්නේ නැහැ. ඒ සඳහා ලිංගිකත්වය උද්දීපනය කරන වචන භාවිත කළ යුතුයි. බැණවැදීම, තර්ජනය කිරීම, සාපරාධි බිය ගැන්වීම් ,ලිංගික අඩම්තේට්ටම් ගණයට වැටෙන්නේ නැහැ.

ස්ත්‍රී දූෂණවල වර්ගීකරණය මත ලබා දෙන දඬුවම අඩු/වැඩි වීම්වලට ලක්වෙනවා. මේ සඳහා දඬුවම් ලබා දෙන්නේ කොයිවගේද?

මේ සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 1995/22 දරණ කාන්තාවන් හා ළමුන් සඳහා විශේෂයෙන්ම සංශෝධිත වූ පනතක් නියම කර තිබෙනවා. ඒ අනුව, ස්ත්‍රී දූෂණයකදී සිර දඬුවම් ලෙස අවුරුදු 7 කාලයකට නොඅඩු වුවද අවුරුදු 20 නොයික්ම වන්නාවූද කාලයකට සිරදඬුවම් නියම කරන්නේ මහා අධිකරණයයි. අවුරුදු 18 ට අඩු ස්ත්‍රීයක් දූෂණයට ලක් කළා නම් හෝ මානසික වශයෙන් ආබාධිත තත්ත්වයෙන් පසුවන කාන්තාවක් දූෂණයට ලක් කළා නම් හෝ ගර්භණී බව දැන දැනම ඇයව දූෂණයට ලක් කළා නම්, ඒ සඳහා ලබා දෙන දඬුවම වැඩිවන අතර එය අවුරුදු 10 ක කාලයකට නොඅඩුවූද අවුරුදු 20 ක කාලයක් නොඉක්ම වන්නාවූද වශයෙන් බරපතළ වැඩ ඇතිව / නැතිව (වරදේ ස්වභාවය මත) සිර දඬුවම් නියම කරනු ලබයි.

අවුරුදු 16 ට වඩා අඩු දරුවකු සම්බන්ධයෙන් නීතිය බලපාන්නේ කෙසේද?

වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු නම් ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගිකව එක් වුවත් එය ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකේ. මෙම වයසේ පසුවන දැරියන් බොහෝ වේලාවට තම පෙම්වතාත් සමඟ කැමැත්තෙන් ලිංගිකව එකතු වුවත් එය ස්ත්‍රී දූෂණයක් වනවා. එම අවස්ථාවේදී කුමන හෝ පාර්ශ්වයක් බාහිරින් පොලිසියට පැමිණිල්ලක් කළ අවස්ථාවකදී, පොලිසියේ විමර්ෂණ කටයුතුවලදී වයස අවුරුදු 16 ට අඩු බව තහවුරු වී වෛද්‍ය පරික්ෂණයේදීත් දූෂණයට ලක්වූ බවට සාක්ෂි සනාථ වූ විට ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගනු ලබනවා. ඔහු පාසල් වියේ පසුවුවත් ඔහුට දඬුවම් නියම කරනු ලබනවා. මෙවැනි අවස්ථාවලදී දෙදෙනාගේම පාසල් ජීවිතය අඳුරු වෙනවා. සමාජයෙන් කොන් වෙනවා. ඉච්චාභංගත්වය (අනාගතයට මුහුණ දීමට ඇති භය) ඇති වෙනවා. ශ්‍රී ලංකා නීතියට අනුව අවු. 18 අඩු නිසා විවාහයක්ද සිදුකර ගත නොහැකියි. මේ සඳහා දඬුවම් ලබාදීමේදී අවුරුදු 10 - 20 ක කාලයකට සීමා වෙනවා.

මෙහි වර්ධනය වීම පිළිබදව හා එයට හේතු සාධක ලෙස ඔබතුමා දකින්නේ කුමක්ද?

අවුරුදු 16 ට අඩු කැමැත්තෙන් දූෂණයට ලක්වීම පොලිසිය විසින් වගකිව යුත්තක්ද යන්න ප්‍රශ්නයක්. පොලිසියේ විමර්ෂණ කටයුතුවලින් අනතුරුව විත්තිකරු අත්අඩංගුවට ගැනීම වෙනමම කතාවක්. මේ සියලුම කරුණුවලට මූලික සිද්ධිය හෝ සෘජු සිද්ධිමය කරුණක් ලෙස මුලින් උපුටා දැක්විය හැක්කේ පෙම්වතා හෝ පෙම්වතිය විසින් ගැනුන සිද්ධියක් වෙනවා.

අනමුත් මෙතැන ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. මන්ද මෙය පවුල් පරිසරයෙන්ම බොහෝ දුරට විසඳාගතයුතු ප්‍රශ්නයක්. මන්ද පවුල් පරිසරය, අධ්‍යාපනය, පවුල් සංස්ථාව තුළ පවතින අසමබරතාවය යන මූලික කරුණු කාරණාවලින් තමා මෙම ගැටලු සහගත තත්ත්වයන්වලට හේතු සාධක වන්නේ. මෙය අපරාධ නඩුවක් නිසා පැමිණිල්ලේ කාර්යභාරය ඉතාමත් වැඩියි. ඒ නිසා සාක්ෂිවල සමබරතාවය සාධාරණ සැකයෙන් ඔබ්බට Beyond reasonable doubt)  ඔප්පු කළ යුතුවේ.

පසුගිය කාලයේ සිදුවූ වීරවිල පොලිස් වසමේ සිදුවූ අවු: 14 වියැති පාසල් සිසුවා ගෙල වැළලා මිය යාම ඉතාමත් ආන්දෝලනාත්මක පුවතක්. මේ පිළිබද සමාජ විවරණයක් කළොත්...

මෙහිදී මූලික සාක්ෂිය බවට පත්වූයේ දැරිය විසින් ලියන ලද ලිපියයි. එම ලිපියේ සැකකරුවන් පිළිබද විස්තර ද සඳහන් කර තිබුණා.

ඉන්පසු කළ විමර්ෂණ කටයුතුවලදී දූෂණයට ලක්වීම, ගෙල වැළලා මියයාමට ප්‍රධානතම හේතුව වුණා. මෙය මීට පෙරම විසඳාගතව තිබුණ කාරණයක්. නමුත් පවුල් පරිසරය තුළ පවතින ගැටළුකාරි අවකාශය එයට බාධාවක් වුණා. කෙසේ වෙතත්, මේ පිළිබඳ විමසා බැලීමේදී පෙනී යන්නේ පවුල, ඒ ආශ්‍රිත වටපිටාව, පුද්ගල හික්මීම, පෞරුෂ වර්ධනයේ පවතින අඩුපාඩුවල පවතින දෝලනය මත තමා වැරදිකරුවකු බවට පත්වන්නේ. සමාජයේ කොතැනක හෝ පවතින අඩුපාඩුවක් නිසා තමයි මෙවැනි දෑ සිදුවන්නේ. ඒ නිසා රටේ පුරවැසියන් වන ඔබටමයි මේ දේ සිදු කළ හැක්කේ. කිසිවිටකත් සැකකරුවකු අල්ලාගත් විටක පහරදීම් සිදු කරන්න එපා. ඒ සඳහා අධිකරණය මඟින් දඬුවම් ලබා දෙනු ලබනවා. ඒ නිසා මෙවැනි සිද්ධීන් සිදුවූ වහාම සාක්ෂි විනාශ නොකිරීමට වගබලාගැනීම තමා සතු වගකීමක්. සාක්ෂි විනාශ කළහොත් අගතියක් වන්නේ විත්තිකරුටමයි. මෙවැනි වැරදිවලට නීතියෙන් කිසිදු ගැළවීමක් නැහැ. සැඟවී සිටියත් නීතියේ රැහැනට කොටු කරගත හැකි සේම දැඩි දඬුවම් නීතිය ඉදිරියේ නියම වන බව කිව යුතුමයි.

723 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 06, අඟහරුවාදා 11:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න