තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 මාර්තු 06, අඟහරුවාදා 12:00

ලෝකය නළවන තොටිල්ල නුඹය විශේෂාංග

ලිව්වේ  නන්දි අලුත්ගේ රත්නවීර
අගයන්න
(1 මනාපය)
ලෝකයේ පැවැත්ම රැඳී ඇත්තේ ගැහැනිය අතය. අද බිළිඳියකව මෙලොව එළිය දකින සිඟිත්තිය ළමාවිය පසුකරමින් යොවුන් වියට එළඹෙන්නේ පරපුරක් ඉදිරියට ගෙනයාමේ උදාරතර වගකීම කරපින්නාගෙනය.

 

ඉනිඳු ඔබ්බට ඇය බිරියක මවක ලෙස ලෝකයට ජීවය දෙන්නීය. පුරාණ භාරතයේ රජකළ කොසොල් රජතුමා බුදු දහමට අනුගතව වත් පිළිවෙත් පිරූ බෞද්ධ රජෙකි. වරක් ඒ නරපතියා බුදුන් වහන්සේ බැහැ දකින්නට දෙව්රම් වෙහෙරට පැමිණියේ මහත් වූ කලකිරීමක් ඇතිවය. බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණි රජුගේ කලකිරීමට හේතුව කුමක්දැයි බුදුහු විචාළහ. “ස්වාමීනී මගේ අග මෙහෙසිය දියණියක ලද නිසා මා දැඩි කලකිරීමට පත්ව සිටිමි. මාගේ රාජ්‍යත්වය ඉදිරියට ගෙන යෑමට මට පුතකු අවැසිය.” ඒ වදන් ඇසූ බුදුන් වහන්සේ රජුට පැවසුවේ දියණිය මතු දිනක වාසනාවන්ත පුතුන් බිහිකරනු ඇති බවත් , එම නිසා තම දියණිය මහත් සෙනෙහසින් රැකබලා ගන්නා ලෙසත්ය.

ගැහැනියක වී උපත ලැබීම නිසා අතීතයේ පටන්ම බමුණු කුලවලට පෑගී මිරිකී සිටි කාන්තාවන්ට බුදුන් වහන්සේ ස්වකීය දහමින් ආලෝකයක් ලබා දුන්නේ ගැහැනියක සතු වටිනාකම ලොවට පෙන්වා දෙමිනි. අතීතයේ දී පුරුෂ මූලික සමාජයක ගැහැනියකට පනවා තිබූ දණ්ඩ නීති, තහංචි අතිශය දුෂ්කර අසාධාරණ ඒවා විය. එනමුදු කාන්තාවකගේ අගය, සමානාත්මතාව තුළින් බුදුහු නොපැකිළව සමාජයට පෙන්වා දුන්නේ ය. කාන්තා විමුක්තිය තව තවත් ශක්තිමත් කරමින් කාන්තාවන් වෙනුවෙන් කරුණු කාරණා පැහැදිලි කරමින් බුදුහු ‘සප්තභරියා’ සූත්‍රය දේශනා කළේ මුළු සමාජයටම එය අනුයෝජනය කරමින්ය. කාන්තාව වූ කලි තම සැමියාට මවක්, මිතුරියක් ආදී වශයෙන් දයාව දක්වන බව එයින් වදාළහ. මාතුභාරියා, සඛී භාරියා, භගිනි භාරියා ආදී යනුවෙන් හැඳින්වූයේ ඔවුන්ය. ගැහැනියක වූ මවකගේ අගය වඩාත් තීව්‍ර කිරීමට ඇය “ගෙදර බුදුන් අම්මා” යයි බුදු වදනින් ප්‍රකාශ කළේ ගැහැනියකගේ වටිනාකම මේ යැයි ලොවට දැනෙන්නට ය. මවක් වන්නට හැක්කේත්, ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී මවුපදවිය ලබන්නට හැකියාව ඇත්තේත් ගැහැනියකටම පමණි.

අතීත භාරත සමාජය එලෙස වූවත්,

අපේ ඉතිහාසයේ මුලාරම්භයේ පටන්ම, එනම් කුවණ්ණාගේ පටන්ම ගැහැනියට අත්වූයේ අතිශය අනුවේදනීය වූ දු:ඛිත ජීවිතයකි. රැවටිලි, මුලාවීම් අතරේ ඇය තවමත් ගෙවන්නේ පීඩාකාරී ජීවිතයක් බව පෙනෙන්නට තිබේ. අතීතයේ දී ඇයට තිබූ ගෞරවය, සැලකීම අද වන විට ටිකෙන් ටික ගිලිහී ගියේ කොතැනදැයි අපට අද ඇත්තේ ගැටලුවකි. කාන්තාවන් එදාට වඩා අද බොහෝ දුරට සමාජගතව ඇත්තේ ය. පුරුෂයන් හා උරෙනුර ගැටෙමින් සමාජයේ පිරිමින්ට පමණක් කැප වී තිබූ රැකියාවල ඉහළින්ම සිටීම ද එක්තරා අන්දමක සාඩම්බරයට හේතුවකි. ස්ත්‍රියකගේ කායික වශයෙන් ජීවවිද්‍යානුකූල පදනමක් මත ඇගේ සිරුර සකස් වී තිබුණ ද ඇගේ හදවත ශක්තිමත්ය. ඇය බර උසුලන්නීය. මහපාරේ අව් කූටකේ දහඩියය මුගුරු හෙළමින් ජීවිතය ජීවත් කරන්නට වෙහෙසෙන්නීය. බටහිර ලෝකයේ කාන්තාව මේ සීමා මායිම් ඉක්මවාගොස් ඇතත් අපේ කාන්තාව තවමත් සමාජයෙන් දහදුක් විඳින බව නොකිවමනාය. දරුවන්, සැමියන් වෙනුවෙන් ඇය බත්පත සරිකර දෙන්නේ මැදියම් රැයේ සිට අවදිවීගෙනය. වැටුපක් නොලබන එකම සේවිකාව වන්නේ ද ඇයයි. ඇය කාර්යාලයට, සේවා ස්ථානයට දිව යන්නේ නිවෙසේ මේ සියලු වැඩකටයුතු හමාර කොට තබාය.

සේවා ස්ථානයේ වැඩ නිමකර ඇය රාත්‍රිය සමඟ ගෙට ගොඩවදින්නේ ආයෙමත් වැඩ කරන්නටය. නොනිමි මෙහෙවරක යෙදෙන අප කාන්තාවගේ මේ භූමිකාව අප නොපැකිලව අගය කළයුතු නොවේ ද? එහෙව් මෙහෙවරක යෙදී විඩාපත්ව නිවෙසට යද්දී දුම්රියේ, බස්රියේ දී ඇයට අසුනක් පරිත්‍යාග කරන්නට තරම් පරාර්ථකාමී වූ කිසිවෙක් සිටී ද? හයිහත්තිය ඇති පිරිමින් සැප පහසුවට අසුන්ගෙන හරිබරිගැසී තම ජංගම දුරකථනයේ ඉස්පාසුවක් නැතිව සැරිසරන්නේ මනෝ විකාරයෙන් වාගේය. මේ අම්මලා වැටි වැටී හිටගෙන යද්දී ඉඩ චුට්ටක් දෙන්නට අකැමැතිකමින් බොහෝ පිරිමි නෝක්කාඩුවෙන් බලන්නේ තම පිරිමිකම ගැහැනුකමට සාපේක්ෂ කරමින්ය.

පසුගිය කාල පරිච්ඡේදය පුරාවටම කාන්තා හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තුළ අඩුවක් තිබූ බවක් නම් නොපෙනේ. කාන්තා විමුක්තිය උදෙසා මොනතරම් හඬ නැගූවත් කාන්තාවට අත්වන ඉරණම නම් එබඳුමය. පසුගිය සති කිහිපය තුළ ජාතික පුවත්පත් තුළින් කාන්තාවන්ට සිදුවුණු අපරාධ බොහොමයක් හෙළිදරව් වූයේ ඇඟ කිළිපොලායන තරමේ අනුවේදනීය සිදුවීම් ඔස්සේය.

එතරම් උගත්කමක් නැති ගැමි කාන්තාවන්ට පමණක් නොව යමක්කමක් උගත් සමාජයේ ජීවත්වන කාන්තාවන්ට පවා එල්ල වුණු තාඩන පීඩනවල අඩුවක් නොවීය. පහර දී ඝාතනය කිරීම් සමූහ වශයෙන් දූෂණය කිරීම් ද ඒ අතර වාර්තා විය. ඒ අතර නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක සේවය කළ හෙදියකගේ අනුවේදනීය සිදුවීම කාන්තාවන් ලෙස කාගේත් සිත් සසල කළ ම්ලේච්ඡ ක්‍රියාවක් වූ බව සැබෑවකි. ආදරය කරන මුවාවෙන් ඇය ග්‍රහණයට ගෙන අවස්ථා කිහිපයකදීම ඇයට බරපතළ ලෙස පහර දී සමුහ වශයෙන් දූෂණයට ලක්කර තිබුණි. තම මිතුරන්ට ඇයව ලබාදී තිබුණේ පෙම්වතා අතින් දූෂණයට ලක්කිරීමෙන් පසුවය. මේ තිරිසන් ක්‍රියාවට චෝදනා ලබා තිබුණේ අප දේවත්වයෙන් සලකන වෛද්‍ය වෘත්තියේ යෙදුණු යුද හමුදා කපිතාන්වරයකු ඇතුළු හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකි. මෙහි ඇති තවත් අශීලාචාරම කටයුත්තක් වූයේ ඇයව තිරිසන් ලෙස දූෂණයට ලක්කොට එම දසුන් ඇය සේවය කරන රෝහලේ අන්තර් ජාලයට එක්කොට තිබීමයි. එලෙස තිරිසනුන් ලෙස හැසිරුණු ඒ අශීලාචාර මිනිසුන් සිතිය යුතු යමක් තිබුණි. තමන් අතින් දූෂ්‍ය වී කෙළිබඩුවක් බවට පත්වූයේ තමන්ගේම ආත්මයේම කොටසක් බවය. මේ සියලු දෙනාම මෙලොවට ආවේ එවන් වූ ගැහැනියකගේ මවු කුසෙනි. ලේ කිරි කර ජීවය රැකදුන්නේ ළමැද පුරා එරුණු කිරි උල්පත්වලිනි. ඔවුන් කෙලෙසා දැමූවේ ඒ මාතෘත්වයේ අප්‍රමාණ ගුණ සුවඳයි. මන්ද ඇයත් ගැහැනියක වූ නිසාය. ඔවුන්ටත් මවුවරුන්, සොයුරියන්, දියණියන්, බිරියන් සිටින්නට ඇත.

මේ අයුරින් බලන කල පෙරදිග ගැහැනිය ලෙස ඇය තවමත් පුරුෂාධිපත්‍යයේ හස්තයට හසුව පීඩා විඳින්නීය. තම අයිතිවාසිකම් පරාසය තුළ ඇයට ඇති හිමිතැන ලබාදීමට කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් වී ඇත. කොතැනින් බැලුවත් අද කාන්තාව පිරිමින්ට වඩා ගණනින් ප්‍රමාණාත්මකව ඉහළ අගයක් ගෙන ඇත. ජනගහනය තුළ ද පිරිමින්ට වඩා වැඩි ප්‍රමාණයක් ගැහැනුන් වී ඇත. ලෝකය පදවන තොටිල්ල ඇත්තේ ඇය අතය. ස්ත්‍රීත්වය දෙස අසීමාන්තික අනුරාගයෙන් බලනවාට වඩා ආදරණීය මවක්, සොයුරියක්, දියණියක් යන සෙනෙහෙබර සිතිවිල්ලෙන් යුතුව ඒ හැඟීම වඩාත් සුපසන් කරගැනීම මේ සියලු පාපයන්ගෙන් වැළකීමට මඟක් නොවේ ද? ගැහැනිය මැව්වේ කාමාස්වාදයට පමණක් නොවන බව අවබෝධ කරගැනීම කෙතර අගනේ ද?

කාන්තාව සතු අභිමානය ඇයට දෙන්න. ඒ කවුරුන් වුවත් ඔබේම මවක්, නැගණියක්, දියණියක් යයි සිහිපත් කරන්න. ලෝකයේ පැවැත්ම, ලෝකය පවතිනතාක් කල් රැඳී ඇත්තේ කාන්තා පරපුර මතය. කාන්තාවක් නැති තැන දැයක් බිහි නොවේ.

ලෝකය නිර්මාණය වී ඇත්තේ හිරුගේ රැස්වලිනුත්, මවගේ කිරිවලිනුත් බව පැවසුවේ ලෝක ප්‍රකට ගත්කතුවර මැක්සිම් ගෝර්කිය. එලෙස හිරුගේ රැස් තරම්ම මවගේ කිරි බිඳක ඇත්තේ ලොව කම්පිත කළ හැකි ආශ්චර්යවත් රිද්මයකි. මවක් යනු අන් කිසිවකු නොව මුළු ලොවම නිවා සනහාලන කාන්තා බල මහිමයේ අග්‍රඵලයයි.

 

 

 

1606 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 06, අඟහරුවාදා 12:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න