තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 මාර්තු 06, අඟහරුවාදා 12:17

අපේ රටේ කාන්තාවට තීරණ ගැනීමට ඇති අයිතිය පිළිබඳ ඇත්තේ ගැටලුවක් විශේෂාංග

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(0 මනාප)
කාන්තාවට හිමිතැන ඉතාම පුළුල් මාතෘකාවකි. වර්තමානයේ ඒ ගැන වඩාත් ගැඹුරින් හා විමර්ශනාත්මක ලෙසින් කතා කරන මාතෘකාවක් බවට කරලියට පැමිණ තිබේ. මෙවර කාන්තා දින තේමාව නිර්මාණය වන්නේ ද එවැනි පසුබිමකිනි.

 

ආසියානු රටක් ලෙස විශාල සමාජ සංස්කෘතික බැඳීම් රැසක් මැද කාන්තාවගේ සමතැන ලැබීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටියි. කාන්තා දිනය එහි එක් අනු කුලකයකි. කාන්තාව වෙනුවෙන් එක් දිනයක් වෙන් කිරීමෙන් කියැවෙන්නේ ඉතිරි දින පිරිමින් සඳහා වෙන් කිරීම ද යන සරල සමාජ කියමනකි. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම සමාජ සම්මතයෙන් බැහැර වූ වෙනස්ම අදහසක් පළ කළේ මෙලෙසිනි.

“මානව සමාජයේ විකාශනයත් සමඟම විවිධ දාර්ශනිකයන්, ආගමික නායකයින්, බුද්ධිමතුන්, සමාජ විද්‍යාඥයන් සමාජ පැවැත්ම සඳහා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය ගැන විවිධ අයුරින් විග්‍රහ කර තිබෙනවා. මෙහිදී සමාජයේ පැවැත්ම උදෙසා ස්ත්‍රී පුරුෂ සහ සම්බන්ධතාව වඩාත් වැදගත් බව හඳුනාගෙන තිබෙනවා. මෙය සමාජයේ පැවැත්ම හා ගොඩනැගීම උදෙසා ප්‍රධාන ක්‍රියාකාරී පාර්ශව දෙක අතුරින් කාන්තාවට හිමිවන්නේ සුවිශේෂීභාවයක්. මේ ගැන දාර්ශනිකයන්, කවීන්, සමාජ විද්‍යාඥයන් කියා ඇති කරුණු කෙසේ වුවත් වර්තමානයේ සමතුලිතභාවය ගැන කතා කිරීමේ දී කාන්තාවගේ සමාජ කාර්යභාරය අති විශාලය. ඇය දරුවන් හා පවුල පෝෂණය කරනවා, ගොඩනගනවා, පවුලේ සංහිඳියාව නිර්මාණය කරනවා. නමුත් කාර්මික නාගරික සමාජය තුළ කාන්තාවගේ භූමිකාව සමමිතික විය යුතුයි, සමාන විය යුතුයි. කියන මතය පිළිගනිමින් තිබෙනවා. ඒ අනුව බුද්ධිමත් කතිකාවක් හරහා පීතෘමූලික සමාජය, මාතෘ මූලික කියන සමාජ කතිකාව යටකරගෙන කාන්තාවගේ අයිතිවාසිකම් හා නිදහස ගැන කතාවට ලක්වෙනවා. මේ සංදර්භය තුළ අප වැනි රටක කාන්තාව සතු කතිකාව විශේෂයි.

ආසියානු සමාජය තුළ කාන්තාවගේ අධ්‍යපන මට්ටම හා සමාජයේ ඉදිරියට පැමිණීමේ ප්‍රවණතාවය වැඩි වී තිබෙනවා. නවීකරණය තුළ රැකියා නියුක්තිය හා සමාජ සාධාරණත්වය තුළ කාන්තාවගේ තත්ත්වය ඉදිරියට පැමිීණීම හොඳ ප්‍රවණතාවයකි. 80-90 දශකවල නිදහස් ආර්ථිකය අප රටට පැමිණීමත් සමඟ ශ්‍රමික පාර්ශ්වයට කාන්තාවන් දායකත්වය වර්ධනය ක් පෙන්නුම් කරනවා. ඒ අනුව වර්තමානයේ දී අප රට කාන්තාව කේන්ද්‍රකරගත් අපනයන ආදායම් මාර්ග 3ම සඳහා කාන්තාව ප්‍රධානත්වය දරනවා. ඇඟලුම් කර්මාන්තය, තේ කර්මාන්තය, විදේශ රැකියා යන ක්ෂේත්‍ර තුනේදීම ඉදිරියෙන් සිටින්නේ කාන්තාවයි. මේ නිසාම රටේ ප්‍රධාන ආදායම් මාර්ග උපයාදෙන පාර්ශවය කාන්තාව බවට පත්වී තිබෙනවා.

එහෙත් එය කෙතර ඉහළ තත්ත්වයට පත්වී තිබුණත් අප රටේ තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම අතින් කෙතරම් ඉදිරියෙන් සිටිනවාද ? කෙතරම් සාධාරණයක් ඉටුවී ඇතිද යන්න විශාල ගැටලුවක්. මෙහිදී විවිධ ආගමික හා සංස්කෘතික සීමාවන් තුළ සිරගත වී තිබෙන ආකාරයක් දක්නට ලැබෙනවා.

ලංකාවේ අපහරණ, ස්ත්‍රී දූෂණ, කුඩා දැරිවියන් අපහරණයට ලක්වීමේ ප්‍රවණතාවය වැඩිවී ඇති පසුබිමක කාන්තාවගේ වටිනාකම හඳුනාගෙන තිබෙනවා ද යන්න ප්‍රහේලිකාවක්. තවදුරටත් විග්‍රහ කරන්නේ නම් ඇය විනෝදය සපයන්නියක්. රූපලාවණ්‍ය ශිල්පිනියක්ය, සුරූපිනියක් යන භූමිකාව ඉක්මවා පුළුල් වූ සමාජයේ තීරණාත්මක පාර්ශ්වයක් බවට පත්වීම පිළිබඳ ඇත්තේ ගැටලුවක්. යම් පිරිමියකුගෙන් ඇසුවොත් කාන්තාව සඳහා සමාජ වගකීම දරා ගැනීමට අවස්ථාව ලැබී තිබේද කියා ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ සීමිත පිළිතුරක් පමණයි. දැන් අපේ ජනමාධ්‍යයේ නිරූපණය වන කාන්තාව, සමාජයේ නිරූපණය වන කාන්තාව, තීන්දු තීරණගැනීමේ දී කාන්තාවගේ භූමිකාව කොතෙක් දුරට ක්‍රියාත්මක වෙනවා ද යන්න පිළිබඳ ඇත්තේ විවාදාත්මක මතයක්. විශේෂයෙන් ජනමාධ්‍ය තුළ කාන්තාව නිරූපණය , මාධ්‍යවේදිනියන්ගේ කාර්යභාරය, මාධ්‍ය සැලසුම්කරන්නන්ගේ කාර්යභාරය පිළිබඳ ඇත්තේ යම් ගැටලු සහගත තත්ත්වයක්.

මේ සඳහා වෙනසක් ඇති කිරීමට කාන්තාවගේ ක්‍රියාත්මක දායකත්වය තවත් ඉහළ මට්ටමක තිබිය යුතුයි. ලංකාවේ මාධ්‍ය හරහා ඉදිරිපත් කරන වැඩසටහන් තුළින් කාන්තාවන්ට ලබාදෙන්නේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා ශක්තිය වර්ධනය කළ හැකි පණිවුඩයක් ද? මේ පිළිබඳ ඇත්තේ නැවත සමාලෝචනය කළයුතු ප්‍රශ්නාර්ථයකි. ඒ අනුව කාන්තාව පිළිබඳ කාන්තා මාධ්‍යවේදිනිය ගැනත් මාධ්‍ය ආයතන පිළිබඳ තත්ත්වය පිළිබඳ වඩාත් පුළුල් විය යුතු බව ද මගේ මතයයි.

එසේම පසුගිය මාස කිහිපය පුරාම සමාජයේ මාතෘකාවක් බවට පත්වූ දේශපාලනයේ තුළ කාන්තා නියෝජනය පිළිබඳ ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි.

කාන්තා නියෝජනය හෝ තරුණ නියෝජනය යන දෙකම සමාජයට බලහත්කාරයෙන් ඇතුළු කළ යුතු දෙයක් නොවෙයි. එය ව්‍යවස්ථාවක් හෝ පනතක් මඟින් ඇතුළු කළ හැකි දෙයක් ද නොවෙයි. කාන්තාවගේ හුදු දැනුම කොයිවගේද ක්‍රියාකාරීත්වය කොයි ආකාරයේ ද, සමාජ සංස්කෘතික කටයුතුවලදී කාන්තාව ඒ සඳහා කෙතෙක් සක්‍රීයව මැදිහත් වෙනවා ද යන්න අපි ගැඹුරින් අධ්‍යයනය කළ යුතු මාතෘකාවකි. උදාහරණයක් ලෙස මෙවර මැතිවරණයේ දී කාන්තා නියෝජනය 25% ඇතුළු කිරීම සඳහා එය කියූ පසුව ඒ සඳහා වදෙන් පොරෙන් තම ඥාතීන්, හිතවතුන් මාර්ගයෙන් තමයි සාමාජිකාවන් සොයා ගැනීමට සිදුවූයේ. නමුත් දේශපාලන සක්‍රීයභාවයෙන් යුතුව තරුණ නියෝජනයකින් ඒ සඳහා ඉදිරිපත්වීම පිළිබඳ පැවැතියේ යම් ගැටලුවක්. ඒ නිසා අප සමාජ සංස්කෘතියේ පවතින සංකල්ප හා දැනුම දියුණු නොකර මෙය සමාජගත කළ හැකිද යන්න පිළිබඳ මගේ හිතේ පවතින්නේ විවාදාත්මක අදහසකි”.

 

 

 

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

කාන්තාවට හිමිතැන

පිළිබඳ කතිකාවතක

2031 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 06, අඟහරුවාදා 12:18
අදහස් එක් කිරීමට ලොග් වෙන්න