තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 මාර්තු 13, අඟහරුවාදා 10:55

මේ දවස්වල අව්ව හරිම සැරයි පරිස්සම් වුණොත් හොඳයි විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
මේ දවස්වල පවතින අධික රස්නය නිසා හැමකෙනෙක්ම වගේ ඉන්නේ හරිම අපහසුතාවයෙන්.

 

මේ හැමෝගෙම කතාබහට ලක්වෙලා තියෙන්නේ මේ දිනවල දැරිය නොහැකි ආකාරයෙන් පවතින දැඩි රස්නයයි.

“අව්ව හරිම සැරයි පිච්චෙනවා වගේ. ඇස් දෙකත් දැවිල්ලයි”

කාටත් දැනෙන්නේ මේ විදියට. ඒ විතරක් නෙමෙයි. මේ අධික රස්නය නිසා යම් යම් අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවටත් පැතිර යන ආරංචිය නිසා වැඩිදෙනෙක් දැන් ඒ පිළිබඳවත් විමසිලිමත් වෙන්නට පටන් අරගෙන.මෙහිදී ඇතිවිය හැකියැයි පැවසෙන අහිතකර බලපෑම් පිළිබඳව පවුලේ වෛද්‍ය විශේෂඥවරයෙකු අදහස් පළකළේ මේ ආකාරයෙන්.

සමේ ආසාදනවලට ප්‍රධාන හේතුවක්

වෛද්‍යතුමනි, මේ දිනවල පවතින දැඩි හිරුරැස් නිසා අහිතකර බලපෑම් ඇතිවිය හැකිද ?

ඔව්. අධික ලෙස පවතින හිරු කිරණවල බලපෑම් නිසා යම් යම් අපහසුකාරී තත්ත්වය මෙන්ම ගැටලුකාරී තත්ත්වයන් ද ඇතිවන්නට පුළුවන්.මෙම දැඩි හිරුකිරණ කෙළින්ම සමමතට පතිත වීම නිසා සමේ ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් ද බොහොමයි. එය තවදුරටත් පැහැදිලි කිරීමක් කළහොත් මෙම අධික රස්නයට සම නිරාවරණය වීම තුළින් ඇතිවන අධික වියළි බව හේතුකොට ගෙන සමේ කසන ස්වභාවයක් සහ එසේ දිගටම කැසීමට පටන් ගැන්මෙන් සමේ ආසාදන (අචඵඩ) වැනි දේ ඇති විය හැකියි. අනෙක් කරුණ නම් මෙම අධික රස්නයට ඔරොත්තු නොදෙන ගතිය නිසා අධික ලෙස දහඩිය දැමීමට පටන් ගැනීම. විශේෂයෙන්ම වැඩි වශයෙන් දහඩිය රැඳෙන තැන්වල කැසීමත් සමඟ ආසාදනයන් ඇතිවිය හැකියි.

ඇස්වලට හොඳම නැහැ

හිරු රශ්මියේ දැඩිබව ඇස්වලට බලපෑමක් ගෙනදෙන්නේ මොන ආකාරයෙන් ද?

අධික හිරු රශ්මිය බොහෝවිට ඇස්වලට දරාගැන්මට අපහසුයි. අධික හිරු එළිය පවතින විට ගමන් බිමන් යාමෙන් එහි අපහසුතාවය තදින්ම ඇස්වලට එල්ලවන්නට පුළුවන්. මේ නිසා යම්තාක් දුරකට එහි අහිතකර බලපෑම් ඇස්වලට හානිකර බවක ගෙනදිය හැකියි.

එම නිසයි අප බොහෝවිට මේ අයට උපදෙස් දෙන්නේ අධික හිරු එළිය පවතින විට ඇස් ආරක්ෂා වන ආකාරයෙන් ප්‍රමිතියෙන් යුත් අව්කණ්ණාඩි පලඳින හැටියට. එසේ නොමැතිව හිරු එළියට ඇස් යොමුකිරීම, ආවරණයකින් තොරව අව්වේ ගමන් කිරීම සුදුසු නොවන බව කිවයුතුයි. අව්කණ්ණාඩි පැලඳීමෙන් හිරු එළිය නිසා ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් ඇස් ආරක්ෂා කරගත හැකියි. අනෙක් කරුණ නම් මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය නිසා පරිසරයේ වැඩිවශයෙන් රැඳෙන දූවිලි ඇස්වලට යාමෙන් නිතර ඇස්වල දැවිල්ලක්, රතුවීමක් ඇතිවීමයි. අව්කණ්ණාඩි පැලඳීමෙන් මෙම තත්ත්වය බොහෝදුරට වළක්වාගන්නට පුළුවන්. එමෙන්ම ආවරණයකින් තොරව මේ දිනවල අව්වේ ගමන් කිරීමෙන් වැළකිය යුතුයි. ඒ එය සමට ඉතාමත් අහිතකර වන නිසයි. විජලනය තත්ත්වයට පත්වෙන්නටත් පුළුවන්

මේ හැරෙන්නට දැඩි අව් රශ්මිය නිසා ඇතිවිය හැකි වෙනත් ශාරීරික බලපෑම් තිබෙනවා ද?

ඔව්. මා කලින් කී ආකාරයට අධික රස්නය හේතුකොට ගෙන මේ දිනවල වැඩි වශයෙන් සිරුරෙන් දහඩිය පිටවීමක් සිදුවනවා. මෙමඟින් අප සිරුරේ පවතින වතුර ප්‍රමාණය ඉවත්වනවා. මෙහිදී ලවණ වර්ගත් ශරීරයෙන් ඉවත් වී යාම නිසා ශරීරය අධික ලෙස වියළි බවට පත්වී විජලනය තත්ත්වයට පත්වන්නට පුළුවන්.ඊට අමතරව සෝඩියම්, පොටෑසියම් වැනි ලවණද සිරුරෙන් ඉවත්ව යාම හේතුකොට ගෙන මස් පිඬු පෙරළීම වැනි තත්ත්වයන්ට වුව ද මුහුණ පෑමට සිදුවිය හැකියි.

අධික රස්නයක් පවතින මෙම කාලයේ දී තම ශරීර සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් වියයුත්තේ මොන ආකාරයෙන් ද?

හැකිතාක් සිරුර සිසිල් කරන්න

මූලික වශයෙන් සැලකිලිමත් වියයුතු කාරණය නම් මෙම අධික රස්නය සමඟ ශරීරයේ වතුර ඉවත්ව යාම නිසා ඇතිවිය හැකි විජලනය වළක්වා ගැනීමයි. එය වළක්වා ගන්නට නම් සිරුරේ තෙතමනය, වතුර ප්‍රමාණය අවශ්‍ය මට්ටමින් පවත්වාගත යුතුයි. එම නිසා වෙන දිනවලට වඩා දිනකට බොන වතුර ප්‍රමාණය වැඩිකළ යුතුයි. හැකිතාක් සිරුර සිසිල් කරන ආකාරයේ දියර වර්ග පානයට ගැනීම වැදගත්. මුත්‍රා කිරීමේදී පිටව යන මුත්‍රාවල පැහැය අනුව අපේ සිරුරේ වතුර ප්‍රමාණය කෙතරම් අඩුවි තිබේද යන්න අපට වටහාගත හැකියි. එනම් මුත්‍රා තද පැහැයකින් යුක්තව පිටවී යනවානම් ඉන් හැඟෙන්නේ සිරුරට අවශ්‍ය වතුර ප්‍රමාණය අඩුවී තිබෙන බව සහ සිරුර විජලනයට පත්වී ඇති බවයි. එම නිසා ඉතා හොඳින් ප්‍රමාණවත් පරිදි වතුර පානය කිරීම වඩාත් වැදගත් කොට සැලකිය යුතුයි.

මෙහිදී සාමාන්‍ය පැහැයට මුත්‍රා පිටවී යනවානම් ඉන් හැඟෙන්නේ සිරුරට ප්‍රමාණවත් පරිදි වතුර තිබෙන බවයි. සිරුරෙන් පිටවයන වතුර සමඟ ලවණ ප්‍රමාණයත් අඩුවී යන බව අප මුලින් සඳහන් කළා. එම නිසා එම ලවණ ප්‍රමාණයන් සිරුරට ලබාගත හැකිනම් ඉතාමත් වැදගත්. ඒ සඳහා තැඹිලි වතුර, ජීවනී වැනි දේ පානයට ගැනීමෙන් ලවණ ඉවත්වීම නිසා ඇතිවන අඩුපාඩුව නිවැරැදි කරගත හැකියි. මේ දිනවල වැඩි වේලාවක් වතුර සමඟ රැඳෙන්නට හැකිනම් එය ද ඉතාමත් හිතකරයි. එනම් දිනකට එක්වරක් ස්නානය කරන අයෙක් දිනකට දෙවරක් ස්නානය කිරීම. වෙනදාට වඩා වැඩි වේලාවක් වතුර සමඟ රැඳීම, ඇඟ සේදීම සුදුසුයි. එමඟින් සිරුරේ දාහය අඩුවී යාමත් සමේ තෙතමනය පවත්වා ගන්නට හැකියාවත් ලැබෙයි. ඉතින් අධික රස්නය ගැන සිත සිතා එහි පීඩාකාරී බව අත්විඳිනවාට වඩා ඉන් ඇතිවිය හැකි අපහසුතාවය වළක්වා ගන්නට සැලකිලිමත් වුවහොත් ඔබට මෙම අධික රස්නය තවදුරටත් ප්‍රශ්නයක් නොවේවි.

 

උපදෙස් - පවුල් වෛද්‍ය විශේෂඥ

හර්ෂ ගුණසේකර

දිසා රෝහල - මතුගම

1154 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 13, අඟහරුවාදා 10:56
අදහස් එක් කිරීමට ලොග් වෙන්න