තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 ජූනි 11, සඳුදා 14:42

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතේ විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
“හිච්චී... ඔයාට යාළුවො ඉන්නව ද කෙල්ලෙ..?”

 

 

එදා මං එහෙම ඔයාගෙන් ඇහුවම ඔයා මං දිහා හරිම අමුතු විදියකට බලල කට කොනකින් හීනියට හිනාවක් දැම්මෙ මොකක්දෝ හොරකමක් හිත ඇතුළෙ වහංගු කරගෙන කියලයි මට හිතුණෙ. මං ගැස්සුණා.

 

ඔයා එකපාරටම මගෙන් ඇහුවෙ. යාළුවො කියල ඔයා අහන්නෙ පිරිමි යාළුවන් ගැන ද? ගෑනු යාළුවන් ගැන ද ලොකක්කෙ...?” කියල.

 


 

ඔයා මගේ ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින් උත්තර දුන්නම මං තවත් ගැස්සුණා.

 

“නෑ.... මං ඇහුවෙ දෙගොල්ලන්ම ගැන. ඇයි... විශේෂ යාළුවෙක් එහෙම ඔයාට ඉන්නව ද?”

 

මං ඇහුවෙ හිතෙන් හොරගල් අහුල අහුල.

 

“අපේ පන්තියෙ කීප දෙනෙක්ට නම් විශේෂ යාළුවො ඉන්නවා. හැබැයි මට එහෙම විශේෂ යාළුවෙක් ඉන්නව නං මං ඉස්සෙල්ලම එයා ගැන කියන්නෙ ඔයාටනේ ලොකක්කේ...”

 

හප්පේ.... යාන්තං ඇති. මගේ ඇඟේ ලේ නහර වැඩ කරන්න පටන් ගත්තෙ දැන්.

 

“හිච්චි නංගී.... මතක තියාගන්න ඔයාට ඉස්සෙල්ලම පනින්න තියෙන්නෙ සාමාන්‍ය පෙළ පිම්ම. ඒ පිම්ම වැරදුණොත් වැරදුණාමයි නංගියේ...”

 

එයවුඅස්සෙ, මට මෙහෙමත් හිතෙනව. මං මේ ඔයාට ලියන කියන ඒව බර සාර වැඩි ද මන්දා. හැබැයි මේ ලිපි ඔය මොකක් හරි ෆයිල් එකක දාල එකතු කරලා. අරන් තියාගත්තොත් ඔයාට මතුවට ප්‍රයෝජන වේවි. ඔයා තව හුඟාක් දුර ගමනක් යායුතුයි නේ හිච්චියේ. ඒ ගමනෙදි ඔයාට මේ සටහන් ඔයාගෙ විඩාව නිවන ආදරණීය සුළඟක් වේවි.

 

මං හිතන්නෙ නෑ මේ ලෝකෙ කිසිම කෙනෙක් කිසිම උගතෙක්. විද්වතෙක්, පාණ්ඩිත්‍යයෙක් සීයට සීයක් අතිසාර්ථකයි කියලා. අපි හැමෝම ගාව තියෙන වැරැදි අඩුපාඩු එකතු කරගත්තොත් මලු සියයක් පුරවන්න පුළුවන් තරමට ඒවා එකතු කරගන්න අපට පුළුවන් වේවි හිච්චියේ.

 

හැබැයි අපිට හැකි තරම්, හොඳ දේ පෙරාගෙන කුණු කසල බැහැර කරල, ජීවත් වුණොත් අපිට වරදින එකක් නං නෑ හිච්චියේ. මගේ දර්ශනය ඒකයි.

 

ඉතින්, මං ඔයාගෙන් අර යාළුවො ගැන ඇහුව ප්‍රශ්නෙට ඔයාගෙන් නියම උත්තරය ලැබුණෙ පස්සෙ නේ. හැබැයි ඒ උත්තරේට නං මං ආසයි.

 

“ගර්ස්ල, බෝයිස්ල කියල වෙනසක් නෑ ලොකක්කෙ. හැම කෙනෙක්ම ගොඩක් හිතවත්. හැබැයි ඒ අතරින් හත් අට දෙනෙක් විතර ඉන්නව ගොඩක් හිතවත්...”

 

නංගී, එදා ඔයා එහෙම කිව්වට හැම යාළුවෙක්ම යාළුවෙක් නෙවේ කියන එකත් මතක තියාගන්න.

 

සමහර යාළුවො ඉන්නවා. ප්‍රාණය දෙන්න තරමටම හිතවත්. නමුත් අනිත් අයත් එක්ක එකතු වුණාම ඔයාගෙ නැති වැරැදි විතරක් නෙමේ, ඔයා එයාට කියාපු ගෙදර තොරතුරුත්, පෞද්ගලික තොරතුරුත් ඔක්කොම වමාරාවි.

 

හොඳ යාළුවන් හොයාගන්න එක කළුනික සොයා ගන්නවටත් වඩා අමාරුයි හිච්චි නංගියේ.

 

මම නං හිතන්නෙ ඔයාගෙ පන්තියෙ ළමයි විසිපහක් ඉන්නවනං ඒ විසිපස් දෙනාම ඔයාගෙ හොඳ යාළුවො වෙන්නැති. හැබැයි ඒ යාළුවන් අතරින් පෙරාපු රත්තරන් වගේ ඉන්න හොඳම හොඳ යාළුවො තුන් හතර දෙනෙකුත් හදාගන්න. මං අර කිව්ව වගේ ඒක ටිකක් අමාරු වැඩක්. ඔයා, එයාලව ඇසුරු කරන කොට ඔයාටම වැටහේවි එයාල පෙරාපු රත්තරන්ම ද කියල.

 

තේරුම් ගන්න, හදවතින්ම වටහා ගන්න. ඉවසන්න. තරහා නොගන්න. ඔය ඔක්කොම එකතු කළාම, ඔයාට පුළුවන් එයා ශ්‍රේෂ්ඨ යාළුවෙක් ද නොඑසේ නම් සබන් බෝල වගේ පිපිරෙන යාළුවෙක් ද කියලා ඔයාටම වටහා ගන්න.

 

අපේ ජිවිතවලට සමහර වෙලාවට, එළඹෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න ගියාම අපි හරියට අසරණ වෙනවා. ඒ ප්‍රශ්න අපිට හැමෝමත් එක්කම කියන්න බැහැනේ නංගියේ. සමහර වෙලාවට අපිට අම්ම තාත්තත් එක්කවත් කියන්න බැරි ප්‍රශ්න අපේ ජීවිතවලට මතුවෙන්න පුළුවන්.

 

ඒවා ලිහාගන්න බැරි ප්‍රශ්න වුණොත්, හිත කඩා බිඳලා පුළුස්සලා දමන ප්‍රශ්න වුණොත්, හොඳම යාළුවො ටික ඔයාගෙ දුක බෙදාගනීවි. ඔයාට සහනදායී පිළිතුරක් දේවි. එහෙම නැත්නං අඩු තරමින් ලොකක්කටවත් කියලා බලන්න කියලා කියාවි. හිතට වේදනාවක් ආවාම එහෙම හොඳම යාළුවෙකුට කියලා හිත සනසවාගන්න ලැබෙනව නං, ඒක හරිම මිහිරියි. ආදරණීයයි.

 

හැබැයි, මෙන්න මේ දේත් මතක තියාගන්න. මං ඉස්සෙල්ල කිව්ව දේවල්වලට සමගාමීව, යාළුවො වර්ග කිරීමත් හරිම සංයමයකින් කළයුතු දෙයක්. ඒක හරිම අසීරු තමයි. මම නං කියන්නෙ යාළුවෙක් නිසා හිතට වේදනා දෙන දෙයක් යාළුවා අතින් වුණත්, එයත් එක්ක අමනාප වෙන්න එපා. ඇසුරු කරන්න, මඟ හොඳට තියෙනව නං, යන්න දෑසත් පෙනෙනව නං, තවත් ඉතින් බැදිවල ගිහින් මංමුළා වෙන්න එපා කියලයි නංගියෙ මං කියන්නෙ. එච්චරයි.

 

මං එක උදාහරණයක් කියන්නං. එක්තරා කාලයක දී මට හිටියා මීඩියා කරන හොඳම හොඳ යාළුවෙක්. ගෑනු ළමයෙක්. අපි හරිම එකතුවෙන්, බැඳීමෙන් හිටියා. නමුත් එක්තරා අවස්ථාවක දී මම එයාට වෙනත් අයත් එක්ක නිගරුවක් කළා කියල ලොකු චෝදනාවක් කරලා මාව සැක කළා. ඒ වගේ අව ගතිගුණ මගේ ළඟ නැති බවත්, මං එහෙම නොකළ බවත් එයාට දිව්රලා කිව්වත් එයා ඒක පිළිගන්නේ නැතුව මාත් එක්ක අමනාප වුණා.

 

අදටත් අපේ ගෙදර තියෙන ඩිනර් සෙට් එක දකින දකින වාරයක් පාසා මට එයාව මතක් වෙනවා. මොකද එයා තමයි ඒක තේරුවේ. පෝසිලේන් එකේ ඉඳල ඒ බර පිඟන් පෙට්ටිය පාරට ගෙනාවෙත් අපි දෙන්නා.

 

අර සිද්ධියෙන් පස්සෙ එයා මාව තදින්ම ප්‍රතික්ෂේප කළා. එක මඟ ගියත්, එකට හම්බවුණත් එයා මගේ මූණවත් බැලුවෙ නැහැ. අවුරුදු කිහිපයකට පස්සෙ වුණත් මට ඕන වුණා. ඒ තරහ මරහ සිත්වලින් අයින් කරවන්න. ඒක නිසාම මං එයත් එක්ක කතා කළේ, කාලයේ අලුගෝසු රෙද්දෙන් සියලු සිත් රිදීම් කලකිරීම් වහලා දමලා, ආයෙත් අර පැරැණි යාළුවාම හදවතට එක්කරගන්න.

 

ඒත් එයාගෙ හිතේ තිබිච්ච පැරැණි කෝන්තරය අමතක කරන්න එයා සූදානම් වුණේ නැහැ. ඊටත් පසු අවස්ථාවක මං එයාට ටෙලිෆෝනයෙන් කතා කළා. නැහැ. ඒත් වැඩක් වුණේ නැහැ. නංගියේ, ඔයා තාම පුංචි කෙල්ලක්. ඒත් ඔයාට හොඳ නරක තේරෙනවා. මං ඔයාගෙන් ඇහුවොත් මේ සිද්ධියේ දී කවුද වඩාත් නිවැරැදි කියලා මං දන්නවා ඔයා කියන්නෙ “ලොකක්කෙ, ඔයා නිවැරැදියි නේ. කවුරු හරි මාත්තෙක්ක අමනාප වුණොත් මං නං එයාව අත්අරිනවා. ඔයා එහෙම කළේ නැහැනෙ ලොකක්කෙ...” කියලා.

 

ඔයා ඒ අනුරූපයේ කෙල්ලක්.

 

මේක අහන්න හිච්චී.... නිහතමානිකම කියන්නෙ ගෑනියකුට ලස්සන ආභරණයක්. ඒ නිහතමානීකම රැකගන්න ඩිංගක් ඔළුව පහත් කළාට පවක් සිද්ධ වෙන්නෙ නෑනෙ නංගියේ.......

 

සැබෑ මිත්‍රත්වය හදවතින්ම එන දෙයක්. අපි යාළුවන්ව ආශ්‍රය කරද්දි අපිට තේරුම් ගන්න පුළුවන් එයා අපට ඊර්ෂ්‍යා කරන කෙනෙක් ද අපිට වල කපන කෙනෙක් ද, අනුන්ගේ කේලම් අහලා තමනුත් එක්ක තියන යාළුකම පාවාදෙන කෙනෙක් ද කියලා. තමන් වරදක් කරනවා නං, ඒ වරදෙන් තමන්ව මුදවාගන්නෙ හොඳ යාළුවො. සැපේදි විතරක් නෙමේ දුකේදිත් අපට පිහිට වෙන්නේ හොඳ යාළුවන්.

 

ඔයා අකැමැති යාළුවෝ ඔයාට ඉන්නව නම් හිච්චියේ, එයාලව අත්අරින්නවත්, එයාලත් එක්ක තරහ වෙන්නවත් එපා. එයාල ඇසුරු කරන්න . හැබැයි ලෝකය විවිධයි. විෂමයි කියන න්‍යාය ධර්මයත් හිතේ තියාගෙන.

 

ඔය කියන විදියෙ යාළුවන්ගෙන් ඔයාට යම් සිත් රිදීමක් වුණොත් එයාල එක්ක තරහ නොවී, ඒක එයාලට වටහලා දෙන්න. එයාලත් එක්ක තරහ වෙන්න ඒක හේතුවක් කරගන්න එපා.

 

ඊට පස්සෙත් ඒ හැමදේම අමතක කරල එයාලත් එක්ක වෙනදා වගේම ඇසුරු කරන්න. ඔයා, එයාලත් එක්ක අමනාප නොවුණොත් එයාල තේරුම් ගනීවි ඔයා මොනතරම් හොඳ යාළුවෙක් ද කියල

 

ඔයාට වරදින්නෙ නෑ හිච්චියෙ. දෙවියොත් ඔයාව රැකගනීවි.

 

 

 

මං

 

ඔයාගේ ලොකක්කා

 

සඳා.....


 

984 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 12, අඟහරුවාදා 15:12
අදහස් එක් කිරීමට ලොග් වෙන්න