තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 12, අඟහරුවාදා 16:19

ජීවිතයේ සතුට සාර්ථකත්වය ළඟා කර ගැනීමට ස්වයං මෝහනය

Written by 
අගයන්න
(1 මනාපය)
සාර්ථකත්වය කරා ළඟාවීමට අප ඉලක්කයක් කරා හඹා යා යුතු වෙයි. එය සරල ලෙසින් හඳුන්වන්නේ ධනාත්මක චින්තනය ලෙසයි. මෙම ධනාත්මක චින්තනයේ මූලික සිද්ධාන්තය වන්නේ අපගේ යටි සිත අවධි කර ගැනීමයි.

 

ස්වයං මෝහනය ද එම සිද්ධාන්තයම උපයෝගි කර ගන්නා සාර්ථක ක්‍රමයකි. එහිදී තමා විසින්ම මෝහනට පත්වීම මෙහි ඇති විශේෂත්වයයි. මෙම ක්‍රමය ප්‍රගුණ කිරීම තුළින් කළ හැකි ක්‍රියාකාරකම් ඉතාමත් විශ්මිතය. ඔබ එක් වරක් ස්වයං මෝහනයට ලක්වූ විට මෙතෙක් කිසි දිනක ඔබට කළ නොහැකි යැයි සිතූ යමක් කිරීමේ හැකියාවක් පවතින බව හැඟීමක් සිතට ඇති වෙයි.

ස්වයං මෝහනය තුළින් සිදුවන ක්‍රියාවලිය වන්නේ තමාගේ යටිසිත වෙත ඉක්මනින් හා පහසුවෙන් ඇතුල්වීමයි. එමඟින් ජීවිත සාර්ථකත්වය උදෙසා වෙනස්කම් රාශියක්ම තමාටම ඇතිකර ගැනීමේ හැකියාව පවතී. 

අපගේ උපවිඥානික මනස හැඟීම්වලින් තොරව පවතින අතර එය ජීවිත පැවැත්ම හා ආරක්ෂාව උදෙසා කැපවී සිටියි. එය යෝජනාවලට සංවේදී කොටසකි. 

එහෙත් යටිසිත වෙත ළඟාවීමට නම් ඔබගේ නීතයානුකූල උඩුසිත මඟහැර යා යුතුවෙයි. මේ සඳහා අප කිසියම් පුහුණුවක් ලබා ගත යුතු ක්‍රියාවකි.

මෝහනයට පුහුණුවන ආකාරය

ස්වයං මෝහනය සඳහා පුහුණුවීම සඳහා පළමු පියවර වන්නේ ඔබ මෝහනයට ලක්විය යුත්තේ ඇයිදැයි පළමුව අරමුණු පැහැදිලි කර නිරවුල්කර ගැනීමයි. ඔබට ළඟාවිය යුතු අරමුණ පැහැදිලි කරගත් පසු එය යටිසිතට පහසුවෙන තේරුම් ගැනීමට හැකියාවක් තිබේ. 

ඔබගේ අරමුණ ධනාත්මක එකක් විය යුතු අතර එය ව්‍යාක්‍යයට නැගිය යුත්තේ වර්තමාන කාල ස්වභාවයෙන්ය. උදාහරණයක් ලෙස ඔබට සුවදායක නින්දක් අවශ්‍ය නම් මම රාත්‍රියේදී ඇඳේ වැතිරුණු විට මගේ සිත ඉතාම සන්සුන් හා සාමකාමීවන අතර ඉතා පහසුවෙන් නින්ද වෙත ළඟාවෙයි. එසේම ඔබට විභාගයට මුහුණදීමට අවශ්‍ය නම් මම පාඩම් කළ සියලු දේ ඉතා හොඳින් මතකයේ තිබෙන බැවින් විභාගය අවස්ථාවේ ඉතා පහසුවෙන් මතක් කර ගැනීමට හැකිවෙයි.

 එසේම ඔබට ප්‍රසිද්ධියේ කතාවක් පැවැත්වීමට අවශ්‍ය නම් මට ප්‍රසිද්ධියේ කතා කිරීමට විශේෂ හැකියාවක් ඇති අතර මාගේ ශ්‍රාවකයන් මගේ කතාව ඇසීමට උනන්දුවෙන් බලා සිටින බව හැඟීමක් යටි සිත වෙත ඇතුල් කරගත යුතු වෙයි.

ස්වයං මෝහනයේ පියවරවල් බොහෝ විට මෝහන වෛද්‍යවරයෙකු මෝහනය ප්‍රගුණ කළ අයකු ලවා කර ගන්නා සමාන ක්‍රියාවලියකි. 

මෙහි ප්‍රධානතම වෙනස වන්නේ යටි සිතට ඇතුල්කරන යෝජනාවලිය වෛද්‍යවරයා ඇතුල් කිරීම වෙනුවට තමා විසින්ම ඇතුළු කර ගැනීමයි.

මෝහනය කරන පහසු ක්‍රම

මෙම කටයුත්ත සිදු කිරීම පහසු ක්‍රම කිහිපයක්ම පවතී. ඒ සඳහා ඔබ පළමුව සුදුසු ස්ථානයක් තෝරාගන්න. මෙය එක්තරා භාවනාවකට සමාන කටයුත්තකි. 

එබැවින් ඒ සඳහා සුදුසු කලබලකාරී නොවන සන්සුන් ස්ථානයක් තෝරා ගන්න. සරල මෘදු සංගීත රාවයක් හා මිහිරි සුවඳකූරු දැල්වූ පරිසරයක් වුවද යම් අයෙකුට මෝහනය කරා ළඟාවීමට පහසුවෙයි. 

දෙවනුව ඔබ කළ යුත්තේ මෝහන කාල සීමාව නිර්ණය කිරීමයි. එය විනාඩි 10 - 15 ක් විය යුතුයි. එය මෙසේ යෝජනා කරගත හැකියි. "මේ මොහොතේ පටන් විනාඩි 10 ක් ගතවන විට මගේ ඇස් ස්වභාවයෙන්ම විවර වන අතර මගේ අවධිවන හැඟීම් ඉතාම සුන්දර, විවේකී හා ප්‍රබෝධමත් වේ."

මෙහිදී යටිසිත වේලාව මැනීමට දක්ෂවන අතර පුහුණු වූ පසුව ඔබට ඔරලෝසුවක් නොමැතිව නියමිත අවධිවිය හැකි වෙයි. ස්වයං මෝහනය ආරම්භ කිරීමට විධානයක් හෝ යෝජනා ඔබම දිය යුතු බව කලින් ද සඳහන් කළ අතර පහත අයුරින් කළ හැකි වෙයි.

ක්‍රමයෙන් ඔබගේ ශරීරය සැහැල්ලු කිරීම පහසුවෙන් මෝහනයට ළඟාවීමේ ක්‍රමයකි. 

ඔබ පහසුවෙන් දෑස් පියා ගැඹුරු හුස්ම කිහිපයක් ගන්න. ඔබගේ පිටතට යන සෑම සුසුමක් සමඟම ඔබගේ ශරීරයේ තදගතිය බර ගතිය ඉවත් වී සැහැල්ලුවට පත්වන බව දකින්න. දැන් හිසේ සිට පාදාන්තය දක්වා හෝ පාදාන්තයේ සිට හිස් මුදුන දක්වා ගමන් කර මස්පිඩු සැහැල්ලුවන බව දකින්න. එක් එක් ශරීර කොටස් සැහැල්ලු කර ගැනීමට නිරන්තර යෝජනා ලබා දෙන්න. එම කොටස් සැහැල්ලු බව මනසින් දකින්න.

මෙම ඉහිල්වීමේ ක්‍රියාවලිය යොදා ගන්නේ හිසේ සිට පාදාන්තය දක්වා ශරීරය සම්පූර්ණ සැහැල්ලු තත්ත්වයට පත්කර ගැනීමයි.

තවත් පහසු ක්‍රමයක් වන්නේ ඔබගේ ඇස හිසට ඉහළින් ඇති යම් ලක්ෂයක් යොමුකර ඇසට විඩාවක් ඇතිවන තෙක් එදෙස බලා හිඳිමින් සැහැල්ලුවීමට අවශ්‍ය යෝජනා කිරීමයි. මෙය ද සාර්ථක හා පහසු ක්‍රමයක් වනු ඇත.

මෙසේ ආරම්භ කරන ලද මෝහනය තවදුරටත් ගැඹුරට ගමන් කළ යුතු වෙයි. ඒ සඳහා භාවනා කරන ආකාරයට 10 සිට 1 දක්වා ගණන් කිරීමයි. 

ඔබ 10 සිට 1 දක්වා සෙමින් ගණන් කරමින් පියවරින් පියවර ගැඹුරු මෝහන නිද්‍රාවකට යන අයුරු දකින්න. අංක 1 ට ළඟා වූ ඔබට ඉතාම සහනදායි හැඟීමක් ඇතිවන අතර ඔබට අවශ්‍ය යෝජනා යටි සිතට ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ. දැන් ඔබ මුලින් සඳහන් කළ ඔබගේ අරමුණු සරල වාක්‍යයකින් යටිසිතට පවසන්න. 

එය සරල පැහැදිලි තනි වාක්‍යයක් වන්නේ නම් යටි සිත පහසුවෙන් ග්‍රහණය කර ගනී. කිහිපවරක් මෙම වාක්‍ය කාණ්ඩය පවසා එම තත්තවයට ඔබ ළඟා වූ විට ඇතිවන සතුට හැඟීම් ඒ මොහොතේම අත්විඳින්න. ඔබ අවදිවූ විට ඔබගේ පෞරුෂය ශක්තිමත් කර ගැනීම සඳහා ද යෝජනා කිහිපයක ඇතුළු කරන්න.

ඔබ අවධිවීම සඳහා 1 සිට 10 දක්වා ඉහළට ගණන් කරන්න. ඔබ ඔබටම මෙසේ පවසන්න. "ඉහළ ගණන් කරන සෑම ඉලක්කමක් ඉලක්කමක් ගානේ මෙම ක්‍රමයෙන් අවධිවෙනවා. මගේ අවධිවන හැඟීම් ඉතාම සතුටුදායකයි. 

විශ්වාසයෙන් හා ආත්ම ප්‍රබෝධයෙන් මම අවධිවෙනවා." මෙසේ පැවසීමෙන් පසු 1 සිට 10 දක්වා ගණන් කර අංක 10 ට ගණන් කර ඇස් අරින්න. දෑස් විවර කළ මොහොතම යන තුරු ප්‍රබෝධය හා ආත්ම විශ්වාසය පිළිබඳ හැඟීම් සිතීම තුළින් ඔබේ සිත තවදුරටත් ශක්තිමත් වේ.

මෙම ස්වයං මෝහන ක්‍රියාවලිය ඉතාම බලගතු හා ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයක් වන අතර ඔබගේ ප්‍රශ්න හා ගැටලු බොහොමයක් ඔබටම විසඳා ගැනීමට උපකාරි වේ. ඔබට යම් මානසික රෝගී තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයක් ඇති බවට සැක කරන අය මින් වැලකිය යුතු අතර මේ පිළිබඳ කිසියම් සැකයක් තිබේනම් පිළිගත් මෝහන වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්න.

 

උපදෙස්  වෛද්‍ය

ධම්මික ආරියනන්ද

මෝහනය සහ ප්‍රතිගමන

ප්‍රතිකාර පිළිබඳ 

විශේෂඥ වෛද්‍ය

දුමින්ද කාරියවසම්

1640 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න