තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 ජූනි 25, සඳුදා 15:44

ගැහැනු දරුවාගේ පෝෂණය ජාතියම ජීවත් කරවයි විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
අද ගැහැනු දරුවා , හෙට යෞවනියකි, තරුණියකි. මනුෂ්‍යයාගේ පැවැත්ම උදෙසා නව පරපුරක් බිහි කරන මවකි. එවැනි සුවිශේෂී බවක් ඇති ගැහැනු දරුවා රැකදීම අප කාගේත් වගකීමකි. යුතුකමකි. ගැහැනු දරුවාගේ අගය ලෝකයට වටහා දීමට ගැහැනු දරුවාට දිනයක් ප්‍රකාශයට පත්කර ඇත්තේ එබැවිනි. ගැහැනු දරුවාගේ ජීවිතය වැදගත් වන අයුරු අපි දැන් සාකච්ජා කරමු.

 

මෙහිදී පුද්ගලයෙකුගේ ජීවිතයේ රත්තරන් දින දහස ගැන අවධානය යොමු කරමු. එම දින දහස වන්නේ දරුවකු මවු කුස පිළිසිඳ ගත් දවසේ සිට මවුකුස තුළ වැඩෙන දින 280 ( මාස 09 ) ක කාලයක් , ඉපදීමෙන් පසු ගෙවන මුල් අවුරුදු දෙකක කාලයත් ය. එම කාලය දින 1010 කි. මේ කාලය තුළ මවගේ කුස තුළ වැඩෙන කලලයක්, දරුවා බිහිවීමෙන් පසු ගෙවන මුල් අවුරුදු දෙකත් තුළ දරුවා මුහුණ දෙන කායික, මානසික, බුද්ධිමය වෙනස්වීම් අනාගත මිනිසාගේ ජීවන පැවැත්ම සඳහා අති විශාල බලපෑමක් සිදු කරයි.

එයිනුත්, දරුවා මවුකුස පිළිසිඳෙන අවස්ථාවේ මව මන්දපෝෂණයෙන් පෙළෙයි නම්, නීරක්තිය වැනි ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන්ගෙන් පෙළෙයි නම් එය මුල් කාලයේ සිට ම වැඩෙන කලලයට අහිතකර ලෙස බලපෑම් සිදු කරයි. එහි ප්‍රතිඑලය වන්නේ අඩු බර දරුවකු බිහි කිරීමයි. මෙවැනි දරුවන් ජීවිතයේ මුල් කාලයේ සිටම මන්ද‍පෝෂණයට ලක්වීමට වැඩි ප්‍රවණතාවයක් ඇති අතර ප්‍රතිශක්තිය අඩු වීම නිසා නිතර ආසාදනවලට ලක් වීමට ඉඩ ඇත. එමෙන් ම මවු කුස තුළ වැඩෙන අවධියේ සිට ම නිසි අයුරින් පෝෂණය නොලැබීම නිසා යම්කිසි පීඩනයකට, ආතතියකට නතුව ඔවුන්ගේ වර්ධනය සිදු වේ. එසේ වූ කළ ඔවුන් මෙලොවට බිහි වන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා වැනි බෝ නොවන රෝග වැලදීමේ අවදානම ද සහිතව ය. එනම් හොඳ උපත් බරකින් යුතු

( කිලෝග්‍රෑම් 2.5 කට වැඩි ) දරුවකුට වඩා අඩු වයසින් ඉහත රෝග වැලදීමේ අවදානම ඇතිව ය. එමෙන් ම බුද්ධිය, ගණිතමය හැකියාව, වැනි බුද්ධි එලයන් ද අඩු වීමේ අවදානම සහිතව ය.

එබැවින් අප විසින් කළ යුත්තේ ගැහැනු දරුවාගේ කායික සහ මානසික පෝෂණය නිසි අයුරින් පවත්වා ගැනීමට කුඩා අවධියේ සිට ම කටයුතු කිරීමයි.

එසේ වුවහොත් යෞවනියක ලෙස, තරුණියක ලෙස ලබා දෙන නිසි පෝෂණය තුළින් ඇය විවාහ අපේක්ෂිත වයසට එළැ‍‍ඹෙන විට උසට සරිලන බරකින් යුතු වීම මෙන් ම නීරක්තිය , අයඩීන් ඌනතාවය වැනි පෝෂණ ඌනතාවයන්ගෙන් තොර තරුණියක වීමට හැකි වනු ඇත.

සුබ මොහොතින් කුල ගෙට කැන්දාගෙන යන්නට සැරසෙන ඔබේ දියණියගේ පෝෂණ තත්ත්වය ගැන ඔබ සිතුවා ද? යෞවනයේ පොපියන චමත්කාරයෙන් ඔද වැඩී සිටින යෞවනියන් , තමන්ගේ ආහාර වේල ගැන සිතනවා ද? හැඩරුව, රූපලාවණ්‍ය සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම තාරුණ්‍යයේ ලක්ෂණයකි. ඔබේ සහකාරිය තෝරා ගන්නා විට තරුණ ඔබ ඇගේ නිරෝගී බව ගැන සිතුවා ද?

එබැවින් මාපියන් වශයෙන් අප අපගේ දියණියගේත්, යෞවනියක ලෙස ඔබ ඔබගේත් , තරුණයකු ලෙස ඔබ ඔබගේ සහකාරිය වශයෙන් තෝරා ගන්නා යුවතියගේත් නිරෝගීභාවය, නිසි පෝෂණය ගැන ඉතා සැලකිලිමත් විය යුතු ය. කුඩා කළ පටන් සමබල ආහාරවේල් 3 ක් ලබා දීමටත්, එනම් ශක්තිය ලබාදෙන ධාන්‍ය, අල, බතල, කොස්, දෙල්, තෙල් හා මේද සහිත ආහාර, මස්, මාළු, බිත්තර, කිරි, ඇට වර්ග, පියළිවලින් යුතු වර්ධක ආහාර සහ එළවළු , පලතුරු සහ පළා වර්ගවලින් යුතු ආරක්ෂක ආහාර දරුවාගේ ආහාර වේලට එකතු කළ යුතු ය. නිසි පමණට ජලය පානය කිරීමට හුරු කළ යුතු ය. ශාරීරික ව්‍යායාමවලට යොමු කළ යුතු ය. එමෙන් ම තමන්ගේ ශරීරය පිරිසුදුව තබා ගැනීමට හුරු කළ යුතු ය. මානසික සමබරතාවය පවත්වා ගැනීමට හුරු කරවිය යුතු ය. ක්ෂණික ආහාරපානයන්ගෙන් හැකිතාක් ඈත් කරවිය යුතු ය.

මේ සියල්ල අනාගතයට කරන ආයෝජනයන් ය. එබැවින් නිරෝගී ගැහැනු දරුවකු හදා වඩා ගැනීමට අප සියලු දෙනා කටයුතු කිරීම අනාගත පරපුරේ යහපතට හේතුවනු නොඅනුමාන ය.

 

 

උපදෙස්- සෞඛ්‍යය අමාත්‍යංශයේ

බෝ නොවන රෝග අංශයේ

ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන 

1271 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 25, සඳුදා 15:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න