තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 ජූලි 03, අඟහරුවාදා 12:40

දැඩි වෙහෙස මඳසරු බවේ ලකුණක් විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
වෙහෙස රෝගයක් නෙවෙයි. කුමන හෝ ක්‍රමයකින් වෙහෙස දුරුකර ගත් පසු අපට එය මතකයෙන් ගිලිහී යයි. එහෙත් ඒ සුළු වේලාවකට පමණි. යළිත් සුපුරුදු අත්දැකීම 'වෙහෙස' අත්දකින්න ලැබේ. එය එදිනෙදා ජීවිතයේ ආහාර පාන ගැනීම මෙන්ම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.

 

වෙහෙසට හේතු රැසක් ඇතත් කාන්තාවක නම් වෙහෙසක් දැනෙද්දී එක් කරුණක් ගැන සැකයක් ඇති කරගත යුතුයි. ඒ එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය ගැනයි.

එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ ගර්භාෂ පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වීමයි. මේ තත්ත්වයෙන් පීඩා විඳින කාන්තාවන්ගෙන් සියයට පනහකට පමණ නිදාගත් පසුව ද වෙහෙස දුරු නොවේ. ස්විස්ටර්ලන්තයේ සූරිච් රෝහල් සරසවියේ පර්යේෂකයන් පවසන්නේ වෙහෙස එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයේ කැපී පෙනෙන ලකුණක් බවයි.

මුළු ලෝකයේම දස දෙනකු ගතහොත් ඉන් එක් අයකු එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයෙන් පීඩා විඳියි. තවමත් රෝග තත්ත්වයට හේතු නම් අනාවරණය කරගෙන නැත.

බොහෝ විට ගර්භාෂ ආස්තරණ වැඩෙන්නේ ඩිම්බවල හෝ පැලෝපීය නාලවලය. එහෙත් වෙනත් ඕනෑම තැනක ද වර්ධනය වීමට පුළුවන. අධික විඩාවට අමතරව උග්‍ර ලෙස ඔසප්වීමේදී රුධිරය පිටවීමට, බරපතළ උදර වේදනාවට මඳ සරු බවට පමණක් නොව විෂාදයට ද මෙය බලපායි. වෙහෙස සැමවිටම සිරුරට අල්පමාත්‍රයකින්දු ශක්තියක් නොදැනීම සමඟ අත්වැල් බැඳගෙන සිටී.

එන්ඩොමෙට්‍රියෝසිස් හා වෙහෙස කාන්තාවකගේ නින්ද නොයාමට හා විෂාදයට පත්වීමට ඇති ඉඩ සිව් ගුණයකින් වැඩි කරයි. එලෙසම මේ අය රැකියා ස්ථානයේ පීඩනයට පත්වීමට ඇති ඉඩ ද වැඩිය. සූරිච් රෝහල කළ තවත් නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ කුඩා වියේ අපචාරයට ලක් වූ, නොසලකා හැරි දැරියන් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයට පත්වීමේ වැඩි ඉඩක් ඇති පිරිසක් බවයි.කාන්තාවට වින කරන මේ රෝග තත්ත්වය අන්ත්‍ර හා මුත්‍රාශයේ ගැටලුවලට ද හේතු වෙයි.

ඇයගේ වෙහෙසට බලපාන එකම හේතුව එන්ඩොමෙට්‍රියෝසිස් පමණක් කියා සිතුවොත් වැරැදියි. තවත් බොහෝ හේතූන් කාන්තාවක විඩාපත් කිරීමට හේතු වෙයි.

තයිරොයිඩ් ගැටලු

ගෙලේ සමනලයකුගේ හැඩයට ඇති තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වුව ද වැඩි වුව ද නිදිමත දැනෙයි.

පිරිමින්ට වඩා ගැහැනුන් අතර තයිරොයිඩ් ගැටලු සුලබය. හෘද රෝග තවත් ගැටලුවකි. මෙතෙක් හෘද රෝග පිරිමින්ගේ රෝගයක් ලෙසට හංවඩු ගසා තිබුණ ද තවදුරටත් එය එසේ නොවන බව වැඩි දෙනෙක් දනිති. අද හෘද රෝග කාන්තාවන්ගේ දැවැන්තම සෞඛ්‍ය තර්ජනය වී හමාරය. අමෙරිකානු හෘද සංගමයට අනුව පියයුරු පිළිකා ඇතුළු සියලු පිළිකා රෝගවලට කතුන් මරණයට පත් කරන රෝගය බවට හෘද රෝග පත් වී ඇත.

හෘදයට ඇති තරම් රුධිරය නොලැබෙන විට සිරුරට ද ඇති තරම් රුධිරය නොලැබේ.

එහි ප්‍රතිඵලය විඩාවයි. තමන්ට හෘද රෝගයක් ඇති බව නොදන්නා කාන්තාවන් නඟන ප්‍රධාන මැසිවිල්ල බවට වෙහෙස පත් වී තිබේ. ඔබ දැනටමත් හෘද රෝගියකුවීමේ අවදානම් සාධක වන තරබාරුකම, අධික රුධිර පීඩනය, පවුලේ රෝග ඉතිහාසයක් තිබීම සමඟ අධික විඩාවක් ද ඇත්නම් වෛද්‍ය පරීක්ෂණයකට ලක්වන්න.

විටමින් ඩී ඌනතාව

හිරු එළිය නොඅඩු රටක ඉපදුණ ද උදෑසන හිරු එළිය හෝ ලබාගන්න උනන්දු වන්නේ කීයෙන් කී දෙනා ද? කිරි අසාත්මික වීම, තනිකර නිර්මාංස වීම, තද පැහැති සමක් තිබීම (සම තද පැහැ වන්නේ මෙලනින් වර්ණකය නිසයි.

මෙලනින් හිරු එළියෙන් විටමින් 'ඩී' උරාගැනීමේ හැකියාව අඩු කරයි). සමහරුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් විටමින් ඩී උරා ගන්නේ අඩුවෙනි. වකුගඩු ආබාධ, අධි බර වැනි හේතූන් ද මේ කෙරෙහි බලපායි. හේතුව කුමක් වුවත් අත්‍යවශ්‍ය විටමින් ඩී අවමව ලැබීම අස්ථි දුබලවීමට, දිගින් දිගටම විඩාව පැවතීමට බලපායි.

රුධිර පරීක්ෂණයකින් විටමින් ඩීවල අඩු වැඩි බව සොයා ගත හැකියි. අවශ්‍ය තරමට නැත්නම් වෛද්‍ය උපදෙස් පරිදි පෙති මඟින් ලබා ගත හැකියි.

රක්තහීනතාව

සිරුරට අවශ්‍ය තරමට ඔක්සිජන් ලැබෙන්නේ නැත්නම් එය ද වෙහෙසට බලපායි. ඇති තරම් රුධිරය නොලැබෙන්නේ යකඩ ඌනතාව නිසයි. මෙය ද රුධිර පරීක්ෂණයකින් හඳුනාගත හැකි අතර ඉතා සරල ප්‍රතිකාර තිබේ.

නින්දෙන් ගෙරවීම

මෙය සිනහවට කාරණයක් කරගෙන ඇතත් සෞඛ්‍යයට විශාල තර්ජනයකි. මෙවිට ද විඩාවක් ඇති වෙයි.

අවශ්‍ය තරමට ආහාර,

නින්ද නොලැබීම

ආහාර නොගැනීම, අවශ්‍ය තරමට ආහාර නොගැනීම, අවශ්‍ය තරමට නින්ද නොලැබීම, පෝෂ්‍යජනක ආහාර නොගැනීම යන කරුණු සියල්ල වෙහෙසට මං පාදයි.

කැෆේන් අධික පාන පමණට වඩා ගැනීම, හෘද ස්පන්දන වේගය වැඩිවීමට හේතු වෙයි.

රුධිර පීඩනය ඉහළ නැංවේ. කාංසාව, නින්ද නොයාම වැනි තත්ත්ව ඇතිවේ. මේ සියල්ලත් සමඟ විඩාව ද හට ගනී. කෝපි, තේ, කෝලා පාන මේ නිසා පමණ දැන අරගන්න.

මුත්‍රා ආසාදන ද වෙහෙසට මඟ පාදයි. මුත්‍රා කරන විට වේදනාවක්, දැවිල්ලක් හට ගැනීම, නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ලකුණු වගේම වෙහෙස, දුබල ගතිය ද මෙහි ලකුණුය.

දියවැඩියාව

රුධිරයේ සීනි මට්ටම වැඩිවීම වගේම අඩුවීම ද වෙහෙසට ඇති ඉඩ වැඩි කරයි. රුධිරයේ සීනි මට්ටම වැඩි වූ විට එය ශක්තිය ලෙස යොදනු වෙනුුවට රුධිර පද්ධතියේ පවතියි.

එවිට වෙහෙසක් දැනෙයි. දියවැඩියාව ඇත්නම් පාලනය කරගැනීම ඉතා වැදගත්ය.

විජලනය, විඩාව ඇති කරන තවත් කරුණකි. අපට පිපාසය දැනෙන විටත් විජලනය ඇති වී අවසන්ය. දවස පුරා මඳින් මඳ ජලය පානය කරන ලෙසට උපදෙස් දෙන්නේ මේ නිසාය. මුත්‍රාවල පැහැය අප නිසි ලෙස ජලය පානය කරනවාද නැද්ද යන්නට සාක්ෂියකි. මුත්‍රා ළා කහ පැහැයට පිට වන්නේ නම් ඇති තරම් ජලය පානය කරන කෙනෙකි. එසේ නැත්නම් මුත්‍රා තද කහ පැහැයෙන් පිටවේ.

බොහෝ නව යෞවනියන් දැඩි වෙහෙසට පත්වන්නේ මන්දපෝෂණය නිසයි. දවසම පාසලටත්, පෞද්ගලික පන්තිවලටත් ගෙවා දමන ගැටවරියන්ට අවශ්‍ය තරම් පෝෂණයක් නොලැබේ. ඔවුන්ගේ වෙහෙස මන්දපෝෂණය දුරු කිරීමෙන් නතර කළ හැකිය. ළාබාල තරුණියන්ට ඔසප් කාලයේදී සිදුවන හෝර්මෝන පෙරළිය නිසා ද විඩාවක් දැනෙයි. කෑම වේල් අත්හැරීම ද කාර්යබහුල ජීවිතයක් ගත කරන්නන් අතර සුලබය. මෙවිට රුධිරයේ සීනි මට්ටම පහළ බැස හිසරදය, වෙහෙස ඇතිවේ.

ව්‍යායාම, සංකූලතා නැතිව ගතේ වෙහෙස දුරු කිරීමට ආධාර වෙයි.

චම්පිකා දීපානි රණසිංහ

231 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න