තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

උපදේශනය සිරස්තල

2018 ජූලි 10, අඟහරුවාදා 15:40

අනෙකාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නත් පුරුදුවෙමු විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
සාර්ථකත්‍වය ගැන කතා කරන්න ලේසි වුණාට, ඇත්තටම සාර්ථකත්‍වයට පත්වෙන එක නම් හිතන තරම් ලේසි පහසු කටයුත්තක් නොවෙයි.

 

නමුත්, උනන්දුව, කැපවීම හා නිවැරැදි දැක්මක් සහිත ඕනෑම කෙනෙක්ට සාර්ථකත්‍වයට ළඟාවෙන එක හිතන තරම් අමාරු දේකුත් නොවෙයි. කෙසේවෙතත්, සාර්ථක වෙන්න ඕනෙ නම් ඒ සඳහා අපට විවිධ වූ ක‍‍්‍රමවේද අනුගමනය කරන්නත් සිද්ධ වෙනවා. ඒ අතර මුලටම එන දෙයක් තමයි විවිධ දේවල් දෙස අන්‍යයන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන එක. මේ සඳහා කදිම උදාහරණයක් ඩේල් කානගී විසින් රචිත ඊඩඥ තඥචඤඥප ඪද රධභ නමැති කෘතියේ සඳහන් වෙනවා. මෙම කෘතිය ප‍‍්‍රවීණ ලේඛක ප‍‍්‍රදීප් කුමාර බාලසූරිය විසින් “ඔබ තුළත් නායකයෙක්” හිසින් යුක්තව සිංහලයට ද පරිවර්තනය කර තිබෙනවා.

‘බර්ට් මානින්ග්’ කියන්නෙ අමෙරිකාවේ ප‍‍්‍රසිද්ධ වෙළෙඳ දැන්වීම් රචකයකු ලෙස කටයුතු කළ කෙනෙක්. ඔහු මැඩිසන් වීදියට පැමිණෙන්නේ කෙසේ හෝ ලේඛකයකු වීමේ බලවත් අභිලාෂයෙනි. ඒ වෙළෙඳ දැන්වීම් පිටපත් රචකයකු ලෙස හෝ ග‍‍්‍රන්ථ කතුවරයකු ලෙස හෝ විශිෂ්ටත්වයට පත්වීමට නොවේ. සෑම දිනකම උදෑසන පාර අයිනේ වූ ජංගම මේසයක් මත තබාගත් ටයිප් රයිටරයකින් කෙටිකතා, නවකතා හා නාට්‍යයන් රචනා කිරීමට පුරුදුව සිටියේ කවරකුගේ හෝ අවධානය දිනා ගැනීමේ අපේක්‍ෂාවෙනි. නමුත්, ඔහුගේ අපේක්‍ෂාව ඉටුවන්නේ නෑ. ඔහුට ද මුහුණපාන්නට සිදුවන්නේ බොහොමයක් තරුණ ලේඛකයන්ට මුහුණදෙන්නට සිදුවන දේමයි. ඒ තමා කිසිවකු ඔහුගේ සහයට ඉදිරිපත් නොවීම. අවසානයේ ඔහු තමන් සිටි කාමරයේ කුලිය පවා ගෙවා දැමීමට නොහැකි තත්ත්වයකට පත්වෙනවා. මේ හේතුවෙන් ඔහු කුමක් හෝ රැකියාවක් සොයාගැනීමට තීරණය කරනවා.

නමුත්, රැකියාවක් සොයාගැනීම ඔහු සිතන තරම් පහසු කටයුත්තක් වෙන්නේ නෑ. ඔහුට සොයාගැනීමට හැකිවූ පහසුම රැකියාව වන්නේ ගෙයින් ගෙට ගොස් භාණ්ඩ අලෙවි කිරීමේ රැකියාවයි. ඒ සඳහා ඔහු භාණ්ඩ කිහිපයක්ම තෝරාගන්නවා. ඒ අතර “එන්සයික්ලොපීඩියා බි‍‍්‍රටනිකා” නම් විශ්වකෝෂය, මුළුතැන්ගෙයි උපකරණ මෙන්ම සුසානභූමි සඳහා අවශ්‍ය වන භාණ්ඩ ද වෙනවා. මේ අතරින් සුසානභූමි සඳහා අවශ්‍ය වන භාණ්ඩ කෙරෙහි ලැබෙන්නේ ඔහු නොසිතූ විරූ ඉල්ලුමක්. එම භාණ්ඩ අලෙවියෙන් ඔහුට අධික ලෙස ලාභ ලැබෙනවා. මුළු දවස පුරාම යතුරු ලියනයේ යෙදෙන මානින්ග් සවස් වරුවේ ටයිකෝට් පැලඳ ජේත්තුවට හැඳ පැලඳ ගන්නේ අන් කිසිවක් සඳහා නොව වෙළෙඳමේ යාමටයි. අනතුරුව තමන් අලෙවි කරන භාණ්ඩ සූට්කේසයකට තැන්පත් කරගන්නා ඔහු තමන්ට ප‍‍්‍රිය වීදි ඔස්සේ ඇවිද යමින් ගෙයින් ගෙයට තට්ටු කරමින් සුසානභූමි භාණ්ඩ අලෙවියට විමසයි. ඔහුට සෑම නිවෙසකින්ම ලැබෙන්නේ එසේ මෙසේ ප‍‍්‍රතිචාරයක් නොවේ. එම ව්‍යාපාරය සඳහා මුදල් ආයෝජනය කිරීමෙන් ඔහුට අධික ලාභයක් ලබාගැනීමට හැකි විය. මන්ද වේගයෙන් දියුණුවන චිකාගෝ නගරයෙහි සුසානභූමි භාණ්ඩවල හිඟයක් තිබුණි. තම භාණ්ඩ ලබා ගන්නා පාරිභෝගිකයන් හට වසර පහක වගකීම් සහතිකයක් ලබාදීමට ද මානින්ග් අමතක කරන්නේ නෑ. ඔහු වැඩි දුරටත් මෙසේ පවසනවා.

“ඇත්තටම මං ඒ ව්‍යාපාරයට ප‍‍්‍රියයි. මන්ද එයින් ලද ලාභය අති විශාලයි. එයට අමතරව මට කිසිදු භාණ්ඩයක් අලෙවි කිරීමේ උවමනාවක් ඇති නොවුණේ මා එය කළේ ඔවුන්ගේ දෘෂ්ටි

කෝණයෙන් වීම නිසයි. එහි වූ වැදගත්කම වෙනුවට ඔවුන් අවධානය යොමුකළේ එහි මූල්‍යමය ප‍‍්‍රතිලාභය පිළිබඳ යි. සැබෑ ලෙසින්ම මා අලෙවි කළේ කුමන හෝ අන්දමකින් ඔවුන්ට අදාළ වන දෙයක්.”

වරෙක ඔහු සිය නෑදෑ පරපුරම ඉතා සමීපව පදිංචිව සිටින මිනිසුන් වෙසෙන ප‍‍්‍රදේශයක භාණ්ඩ අලෙවිය සඳහා ගිය අතර, එහිදී ඔහු නව අලෙවිකරණ ක‍‍්‍රමෝපායක් භාවිතයට ගන්නා ලදී. ඔහු තම නිෂ්පාදන අලෙවි කළේ එය භාවිතයට ගතහොත් මරණින් පසුව ද සිය පරපුරටම ඉතා සමීපයෙන් සිටීමට හැකිවන අතර, අවශ්‍ය අවස්ථාවක දී එකිනෙකා වෙතට යෑමට සැතපුම් සිය ගණනක් යා යුතු නොවන බව පවසමිනි. මෙම අදහස ඔහු ඉදිරිපත් කරන ලද්දේ එම පුද්ගලයන්ගේ දෘෂ්ටි කෝණයෙන් වන අතර, එය ඔවුන්ට අවබෝධ කරගැනීමට පහසුවන ලෙසිනි. කෙසේ හෝ මානින්ග් අවසානයේ ලෝක ප‍‍්‍රකට ප‍‍්‍රචාරක සමාගමක් වන ජේ. වෝල්ටර් තෝම්ප්සන් ආයතනයේ ප‍‍්‍රධානියා බවට පත්වන අතර, එම සාර්ථකත්‍වය ලැබීමට ඔහු උපයෝගි කරගන්නේ සියල්ල දෙස අනුන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලීමේ න්‍යායයි.

මෙම අදහස තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා තවත් කදිම උදාහරණයක් එම කෘතියේම අඩංගු වෙනවා. ඇත්තෙන්ම මෙය කානගී මහතාගේම පෞද්ගලික අත්දැකීමක්. එබැවින් එය ඔහුගේ වචනයෙන්ම පවසනවා නම් මෙසේයි.

“මට පෞද්ගලික ලේකම්වරයකු අවශ්‍ය විය. මම තැපැල් පෙට්ටි අංකයක් සහිතව පුවත්පතක කුඩා කොටුවක දැන්වීමක් පළ කළෙමි. අයදුම්පත් 300 කට අධික ප‍‍්‍රමාණයක් ලැබුණි. එයින් වැඩි දෙනකු අයදුම්පත සමඟ එවූ ලිපිය අරඹා තිබුණේ මේ අන්දමිනි.

තැ. පෙ. අංක 299 යටතේ “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ ඔබ විසින් ඉදිරිපත් කර තිබූ තනතුරට අයදුම් කිරීමට මම කැමැත්තෙමි. මා 26 හැවිරිදිය.

සියලුදෙනාම පාහේ එසේ සටහන් කර තිබුණ ද එක් කාන්තාවක් එයට වඩා වෙනස් යමක් ලියා තිබුණා. ඇය තමාට අවශ්‍ය දේ පිළිබඳ කතා නො කර, මට අවශ්‍ය දේ සටහන් කර තිබුණා. ඇගේ ලිපිය මෙසේය. “හිතවත් මහත්මයාණෙනි,

ඔබේ දැන්වීමට මේ වන විට දී ලිපි දෙතුන් සියයක් ලැබී ඇතුවාට සැකයක් නොවේ. ඔබ කාර්යබහුල පුද්ගලයෙකි. ඒ සියලු ලිපි කියවීමට කාලයක් නොමැති බව ද දනිමි. ඒ නිසා ඔබ සිටින්නේ දුරකථනයක් අසල නම් 3-9572 යටතේ වැන්ඩර්බිල්ටි ට කතා කරන්න. මා ඔබ වෙතට පැමිණ එම ලිපි කියවා බලා අනවශ්‍ය ඒවා ඉවත්කර සුදුසු ලිපි ඔබේ මේසය මත රඳවා තබන්නම්. එවිට ඒ ලිපි කෙරෙහි අවධානය යොමු කිරීම ඔබට පහසුය. මට වසර 15 ක් පළපුරුද්දක් හිමි.

දෙවනුව ඇය සඳහන් කර තිබුණේ ලේකම්වරියක ලෙසින් සේවය ලබාදී ඇති වටිනා පුද්ගලයන්ගේ නාම ලේඛනයයි. එම හසුන අතට ගත් සැණින්ම ප්‍ර‍බල වෙනසක් මට දැනුණි. මා කළේ වහාම දුරකථනය වෙතට ගොස් ඇයට පැමිණෙන ලෙසින් දැන්වීමය. නමුත් ඒ වනවිට දී ද මා ප‍‍්‍රමාදය. මන්ද අන් අයකු ඇයගේ සේවය ලබාගෙන තිබුණි. ඇයවන් ගැහැනියක ඉදිරියේ ව්‍යාපාරික ලෝකය දණින් වැටෙනු ඇත.”

ඉතිං මේ පුංචි කතාවලින් ඔබට වැටහෙනවා නේද සාර්ථකත්‍වයට පත්වීම සඳහා අනුන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන එක කෙතරම් වැදගත් ද කියලා. එබැවින් ඔබත් සියලු දේ දෙස අනුන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න පුරුදු වෙන්න. ඔබගේ සාර්ථකත්‍වය කිසිවකුට වැළැක්විය නො හැකියි. ඔබට ජය නියතයි!

 

 

තරුණි පාඨක ඔබටත් දැන් ටෙරන්ස් වීරවර්ධන මහතා විසින් පවත්වන “පුද්ගල හැකියා සංවර්ධන” වැඩමුළුවක් ඔබගේ ප‍‍්‍රදේශයේ සංවිධානය කරගැනීමට අවස්ථාව ඇත.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත ඊමේල් ලිපිනයෙන් විමසන්න.

 

 

(පුද්ගල හැකියා සංවර්ධන හා ඉංග්‍රීසි භාෂා දේශක)

ටෙරන්ස් වීරවර්ධන

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

291 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 10, අඟහරුවාදා 15:40
අදහස් එක් කිරීමට ලොග් වෙන්න