තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ජ්‍යොතිෂය සිරස්තල

2017 සැප්තැම්බර් 04, සඳුදා 13:55

පොරොන්දම් පසුපස හඹායාම විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
විවිවාහයක් සිදුකිරීමට පෙර එම තරුණයා සහ තරුණිය එකතුවීම සුදුසුද නැද්ද යන්න විවාහ කිරීම සඳහා සිදුකරනු ලබන්නේ පොරොන්දම් බැලීමයි.

 

මෙහිදී ඇතැම්විට දෙදෙනාගේ පොරොන්දම් ඉතා හොඳින් ගැළපෙන බව හෝ එසේත් නැතිනම් කිසිසේත් නොගැළපෙන බැව් හෝ ප්‍රකාශ කෙරේ. එකී තීරණය මත සමහර විවාහ අතරමඟ නවතින අවස්ථා ද ඇත. එහෙත් පුරුද්දට මෙන් බලන මේ පොරොන්දම් යනු මොනවාද යන්න බහුතරයක් දෙනා නොදනිති. පොරොන්දම් බැලීමේදී කරුණු විස්සක් කෙරෙහි අවධානය යොමු කරන අතර ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම එකී පොරොන්දම් එකිනෙකට ගැළපිය යුතු යැයි අපේක්ෂා කරයි.

නමුත් ඔබ දන්නවාද මේ පොරොන්දම් විස්ස සඳහාම යොදා ගැනෙන්නේ ඇත්ත ප්‍රායෝගික ශාස්ත්‍රීය ජ්‍යෝතිෂ සිද්ධාන්ත නොව කිසිසේත්ම ශාස්ත්‍රීය නොවූ තර්කානුකූල නොවූ එකට එකක් පරස්පර විරෝධී වන්නා වූ මනඞකල්පිත කරුණු මනඞකල්පිත ගැළපුම් විස්සකි. සත්‍ය වශයෙන්ම මේ ලෝකයේ දැනට පවතින මනා සම්මත ජ්‍යෝතිෂ සම්ප්‍රදාය හෝ ඊට පසුව බිහිවූ ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය වැනි වූ ජ්‍යෝතිෂ ක්‍රමවල පවා මෙවැනි අභූත විවාහ ගැළපීමේ ක්‍රමයන් නොපවතී.

පොරොන්දම් යනු දකුණු ඉන්දීය භාෂා උප කුලයකට අයත් ශබ්දයකි. නොදියුණු ගෝත්‍රික තත්ත්වයන් යටතේ කූට බමුණන් විසින් විටින් විට සකස්කරගත් හෝ අනෙක් මහා සම්මත ජ්‍යෝතිෂ සම්ප්‍රදායන්ගෙන් ශාස්ත්‍රීය ලෙස උපුටාගත් කරුණු මිශ්‍රකොට සාදාගත් විවාහ ගැළපීම් ක්‍රමය පොරොන්දම් බැලීම ලෙස හඳුන්වනු ලබයි. එම ක්‍රමයේදී කිසිසේත්ම දෙදෙනකු අතර පවතින ගැළපීම් හෝ නොගැළපීම් පරීක්ෂා කළ නොහැකියි. එපමණක් නොව ඒ ඇතැම් පොරොන්දම් ඉතා විහිළුකාරි සහ එකිනෙකට නොගැළපෙන විකාරරූපී ස්වභාවයයි. තත්ත්වය එසේ වනමුත් ශ්‍රී ලංකාවේ බොහෝදෙනා විවාහයට පෙර පොරොන්දම් පරීක්ෂා කරනු ලබයි. එහිදී ඇතැම් අවස්ථාවල වසර ගණන් එකට පැවැති ප්‍රේම සබඳතා පවා කඩා බිඳදමා ඔවුන් දෙදෙනාට විවාහවීමට ඇති අවස්ථාව අහිමි කිරීමට මේ බොරු පොරොන්දම් බැලීම හේතුවක් වී තිබේ. එවැනි අවාසනාවන්ත සිදුවීම් දිගින් දිගටම අප විසින් අත්දකිනු ලැබේ.

ඇතැම් අවස්ථාවල කිසිසේත්ම එකට එකතු විය යුතු නැති ස්ත්‍රියක හා පුරුෂයකු පොරොන්දමෙන් ගැළපෙන බැව් ප්‍රකාශ කරන අතර එවැනි විවාහ බොහෝවිට අවසන් වී තිබෙන්නේ දික්කසාදයෙන් හෝ දුක්ඛ දෝමනස්සයන්ගෙනි. තවත් ඇතැම් අවස්ථාවල මෙකී පොරොන්දම් බොරුව නිසා නිසි කලට විවාහ පත්වීමට නොහැකි වූ අයද මේ සමාජයේ එමට සිටියි. නමුත් ඔවුන්ගේ ජීවිත අඳුරු වී තිබෙන්නේ බොරු මනස්ගාතයන් බව ඔවුහු නොදනිති.

ජ්‍යෝතිෂ්‍යානුකූලව විවාහය සඳහා කෙනකු ගැළපෙන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට භාවිත කරන්නේ ඉතා ප්‍රසස්ථ ප්‍රායෝගික සිද්ධාන්ත සහ ක්‍රම විධි ගණනාවක් තිබේ. ඒවා අනුව දෙදෙනකු අතර ගැළපීම් නොගැළපීම් තීරණය කිරීමෙහිලා ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ පරිණත දැනුමක් තිබිය යුතුමයි. එහෙත් මේ පොරොන්දම් විස්සට අනුව දෙදෙනකු ගැළපෙන්නේද නැද්ද යන්න තීරණය කිරීමට එවැනි පරිනත දැනුමක් අවශ්‍ය නොවේ. නිදසුනක් ලෙස ගත් කළ ජ්‍යෝතිෂ්‍යය පිළිබඳ කිසිත් නොදන්නා අයකුට වුවත් එකී පොරොන්දම් විස්ස භාවිත කළ හැකියි.

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් ජ්‍යෝතිෂවේදීන් ද මේ පහසු එහෙත් වැරැදි මාර්ගයම අනුගමනය කරනු දක්නට ලැබේ. මෙනිසා විවාහ පත්වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට ද ඔවුන් පිළිබඳ භාරකාරත්වය දරන වැඩිහිටියන් සහ මවුපියන්ට ද අවධාරණයෙන් කිවයුතුව තිබෙන්නේ මේ පොරොන්දම් බැලීම පසුපස තවදුරටත් ගමන් නොකළ යුතු බවයි. විවාහය පිළිබඳ තීරණ ගැනීමේ දී කේන්දර පරීක්ෂාව අත්‍යාවශ්‍ය වෙයි.

එහෙත් කේන්දර පරීක්ෂාව යනු පොරොන්දම් බැලීම නොවන බව ඔබ විසින් තේරුම් ගතයුතුව තිබේ.

 

උපදෙස් - ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කේ. සී. ජේ. රත්නායක

 

 

 

828 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 04, සඳුදා 13:55
අදහස් එක් කිරීමට ලොග් වෙන්න