තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ජ්‍යොතිෂය සිරස්තල

2017 සැප්තැම්බර් 11, සඳුදා 13:07

දරුඵල හිමි දැයි කේන්ද්‍රයෙන් දැන ගමු

ලිව්වේ  පමිතා කුමාරි ගුණතිලක
අගයන්න
(0 මනාප)
කා න්තාවක විවාහයට පත්වීමට රුචි නම්, විවාහ වූවානම් ඇගේ පැතුම දරු සම්පත ලබා මාතාවක් වීමයි. දරු ඵල ප්‍රමාද වූවිට ස්ත්‍රියත් පුරුෂයාත් දෙදෙනාවම වෛද්‍ය පරීක්ෂණවලට බඳුන්කර වෛද්‍ය ප්‍රතිකාර මඟින් දරුඵල ලබාගැනීමට උත්සාහ කරතත්, සමහර අයට වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර තුළින්ද දරුඵල ලබාගත නොහැකි බව පෙන්වා දෙයි.

 

ජ්‍යෝතීර් විද්‍යාවේදී විවාහ වීමට ප්‍රථමයෙන් සරණ බැඳීමට සිටිනා යුවළගේ කේන්දර පරික්ෂා කර දරුඵල තිබේදැයි දැනගත හැකි වෙයි. දරුඵල අහිමි නම් ඊට ප්‍රතිකර්ම ද පහදා දෙයි.

දක්ෂ දෛවඥයකුට නිවැරදි හඳහන හෝ උපන් නිවැරැදි වේලාවන් ලබාදීමෙන් එම අවශ්‍යතාවය ඉටුකරගත හැකිදැයි මේ ලිපියෙන්ද දරුඵල පතන අයට ඒ ගැන අවබෝධයක් ලබාදෙයි.

හඳහනක පස්වැන්න දරුඵල නිවේදනය කරයි. විශේෂයෙන් පස්වැන්නේ අධිපතියා බලවත් තැනක පිහිටීම හා සුබ දෘෂ්ටි ලැබීම දරුඵල කෙරේ යහපත් වන අතර පස්වැන්නාධිපති 6, 8, 12 වැනි අසුබ තැනක පිහිටියේ වී නම් එය අයහපත් පිහිටීමකි. දරුඵල අහිමි කරන ගබ්සා කරවන ප්‍රමාද කරවන, ප්‍රමාදවී හෝ ලැබෙන දරුවන් තදබල ලෙස රෝගී කරවන අහිතකර තත්ත්ව එම අයහපත් පිහිටීම්වලින් පෙන්නුම් කරවයි. කුජ ශනි රාහු වැනි පාපී ග්‍රහයන් 5 ට සම්බන්ධ වූ විට ඉහත අහිතකර තත්ත්ව උදාකරන නිසා ඊට පිළියම් කළයුතුය. විවාහවීමට පෙරද දරුවෙකු පිළිසිඳ ගැනීම අපේක්ෂාවෙන් සිටින විටද මේ තත්ත්වය වටහාගෙන ප්‍රතිකර්ම කළ යුතුයි. පෙර භවවල කුඩා දරුවන් සම්බන්ධව කළ අකටයුත්තක් නිසා, සත්ත්ව ඝාතනය නිසා, කුඩා සත්ත්ව පැටවු බිත්තර ආහාරය පිණිස තමන්ම ප්‍රාණ නිරුද්ධ කර කෑම නිසා, දරුඵල අහිමිවේ. ප්‍රමාද වේ. රෝගී දරුවන් ලැබේ. එනිසා මව් පිය සෙනෙහස අහිමි වූ දූ පුතුන්ට සුබ සාධනය, සත්කාරය, කරුණා සිතින් සිදුකිරීමෙන් සහනය සාර්ථක ප්‍රතිඵල හිමිවේ. ගැබ්බර අසරණ කාන්තාවන්ට, තිරිසන් කුලයේ වුව ගැහැනු සතුන්ට පැටවුන්ට කරුණා සත්කාරය, පෝෂණයට ආහාර සැපයීම හොඳ ප්‍රතිඵල දෙන පුණ්‍ය කර්මයන් වේ.

කේන්ද්‍රවල පස්වැන්නට සඳු ගුරු සිකුරු සම්බන්ධ වීම යහපත් වන අතර වාසනාවන්ත දරුවන් එම පිහිටීම් ඇති ස්ත්‍රී පුරුෂයන්ට හිමි වේ. කේන්ද්‍රයේ පස්වැන්නට සඳු හෝ සිකුරු සම්බන්ධවීම හා පස්වැන්නාධිපති වු විට වැඩියෙන් ලැබෙන්නේ ගැහැනු දරුවන්ය. රවි, කුජ ගුරු ග්‍රහයෝ පස්වැන්නට සම්බන්ධ වූ හෝ පස් වැන්නාධිපති වූ විට වැඩි වශයෙන් පිරිමි දරුවන් ලැබේ. ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමයේදී මේ සඳහා අන් ක්‍රමයක් භාවිතා කරන අතර පස්වැන්නෙ උප අධිපති තැන්පත් නැකතේ අධිපති තැන්පත් රාශිය ස්ත්‍රී රාශියක්ද පුරුෂ රාශියක්ද කියා පරීක්ෂා කර පළමුවෙන් ලැබෙන දරුවා ගැහැනු ද පිරිමි ද කියා පවසනු ලබයි. මෙම ලිපියෙන් පාඨක ඔබට වැදගත් කරුණක් පවසා මිථ්‍යා මතයකින් ඔබව මුදවා ගැනීම ද මට කළ හැකියි. එනම්, විවාහයකට පෙර කරන පොරොන්දම් පරීක්ෂාවේදී කිරි වෘක්ෂ හර වෘක්ෂ සේ බෙදා වෘක්ෂ පොරොන්දම ගලපා දරුඵල ලැබීම නොලැබීම තීරණය කිරිම සාවද්‍ය හා අවිද්‍යාත්මක බවයි. එම මතය පිළිගන්නා අයගෙන් අපි පෙරලා මේ ප්‍රශ්නය අසමු. වෘක්ෂ පොරොන්දමෙන් දරුඵල තීරණය වේ නම් කේන්ද්‍රයක පස්වැන්නේ දරුඵල කාරකත්වයට කුමක් සිදු වේද? පස්වැන්නාධිපති බලවත්ව තිබියදී වෘක්ෂ පෙරොන්දම නොගැළපුණහොත් දරුඵලවලට කුමක් වේද? පස්වැන්න දුර්වලව තිබියදී වෘක්ෂ පොරොන්දම ගැලපුනහොත් දෝෂ භංග වී වාසනාවන්ත දරු ඵල ලැබේද? පුත්‍ර කාරක ගුරු හා වෘක්ෂ පොරොන්දම් අතර අන්තර් සම්බන්ධතාවය කුමක්ද? මෙවැනි ප්‍රශ්නවලට නිවැරැදි පිළිතුරු සොයද්දී වෘක්ෂ පොරොන්දම හා දරුඵල අතර අන්තර් සම්බන්ධකමක් නැති බව පාඨක ඔබට පැහැදිලි කරගත හැකිය.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී ආධ්‍යාත්ම උපදේශක

ඉන්දික තොටවත්තගේ විග්‍රහයකි

841 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 11, සඳුදා 13:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න