තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

නර්ථන පුහුණුව සිරස්තල

2017 ඔක්තෝබර් 09, සඳුදා 12:21

බැඳීම් ශක්තිමත් නම් අලුතෙන් හදන්න දෙයක් නැහැ විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(1 මනාපය)
පුංචි කාලේ වැටි වැටී දුවපු හැටි මතක් කරන්නත් ආසයි. ඒත් ඒ කාලේ හිතුවෙ ලොකු ලොකු වැඩ කරන නැන්දලා මාමලා වෙන්නයි. මල් වගේ හිත් තියෙන සමනල්ලු වගේ පාවෙලා යන ළමා ලෝකෙ හැටි ඒ තමයි.

 

 

ඉස්කෝලෙ කාලේ හැම අවුරුද්දකම ඔක්තෝබර්

පළවැනිදා ලෝක ළමා දිනය සමරපු අය අද වැඩිහිටියෝ. එදාටම යෙදුණු වැඩිහිටි දිනය සිහිගන්වනවා. ළමා දිනය හරි ආසාවෙන් සැමරුවත් කවුරුත් වැඩිහිටි දිනය කැමැත්තකින් සමරන්නේ නෑ.

හැමෝම ආස ජීවිතයේ ළමා කාලයට. ටිකක් දැනුම් තේරුමක් ඇති වුණාම තරුණ වියට ආදරය කරනවා. ආසාවෙන් විනෝදයෙන් යෞවනත්වය ගතකළත් කාටත් වියපත් වියට මුහුණ දෙන්නට වෙනවා. ඒක ලෝක ස්වභාවය. සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක්ම නැහැ.

හීන මවනවා

ආදරණීය දුවේ පුතේ, පසුගිය දාත් අපි තවත් එක් ලෝක ළමා දිනයක් සැමරුවා. එදාට ළමා උද්‍යාන, පාසල්, පන්සල්, පල්ලි, විවිධ සමිති සමාගම්, ආයතන මහත් උත්සවශ්‍රීයෙන් මේ දිනයට වැඩි වටිනාකමක් ලබා දෙනවා. පුංචි උන්ගෙ හිත් මල් වගේ කියලා අරුම පුදුම ලන්තයකට ගෙනියනවා. සුරංගනා හීන මවනවා.

මාධ්‍ය මඟිනුත් අර ලන්තයට, මේ ලන්තයට යන්න දිනුම් අදිනවා අනේ ඉතිං මේක නම් ළමා දින සැමරුමක් නොවේ. එහෙම කරන වැඩසටහන්වලින් වෙන්නෙ තවත් එක් ළමා දිනයක් සැමරුවා කියන එකයි.

ආදරණීය අම්මා, තාත්තා බුද්ධිමත් වෙන්නට ඕනෙ. අතීතය, වර්තමානය, අනාගතය යන තුන්කල් දැක්ම ඔවුන්ට තිබිය යුතුයි. අපි හැදුණෙ කොහොමද? දරුවා හැදෙන්නෙ කොහොමද? රටේ අනාගතයෙ මං විවර වෙන්නෙ මොන පිරිසට ද කියන දැක්ම තියෙන්න ඕනෙ. එහෙම නැතුව ලෝක ළමා දිනයෙ කීයක් හරි ණය වෙලා දරුවටත් ඇඳුම් පැලඳුම් අරන් දීලා, අම්මා තාත්තත් ලස්සනට හැඩවෙලා උද්‍යාන වැඩසටහන්වලට සහභාගි වෙලා පලක් නැහැ. අපි මේක දවසක් විදිහට සලකනවා නම් එහි වැදගත්කම පෙන්වා දිය යුතුයි. පුතේ අද තමයි ලෝක ළමා දිනය. මුළු ලෝකයම පුංචි අයගෙ දිනය මහ ඉහළින් සමරනවා. ඒකට හේතුව ඔයාලා තමයි රටේ අනාගතය. විශ්වයේම අනාගතය. ඒ නිසා දැනුමින් පරිණත වෙන්න. මේ කාලේ වෙන්වෙන්නෙ ඉගෙන ගන්න. ඒක පාසල් අධ්‍යාපනයට විතරක් සීමාවෙලත් නැහැ. හරි ඉගෙනුම කියන්නෙ පොතේ පතේ දැනුමටමත් නෙවෙයි. ප්‍රායෝගික

 

දැනුම් සම්භාරයක් රැස්කරගත් දරුවා තමයි බුද්ධිමතා. අද ලෝකෙ අවශ්‍යතාවය මෙවැනි අය.

දහම් සෙවණේ

මගේ දැයේ හෙට දවස, සමස්ත ශාසනවල හෙට දවස මෙවැනි පිරිපුන් දරුවකු මත පවතියි. පාසලට, අමතර පංතියට යවන දරුවා ඉරිදා දහම් පාසලටත් එකතුකරන්න. ඒක තම තමන්ගෙ ආගම අනුව සිදු කළ හැකියි. දහම් පාසලට යොමු කරන දරුවාට ධර්මය පිළිබඳ පොතක උගන්වා ඇද්දැයි පරීක්ෂා කරන්න එපා. බෝ සෙවණේ, නා සෙවණේ, වැලි මළුවේ දුව පැන නටන දරුවාට කායික මානසික සැහැල්ලුවක් ලැබෙනවා. කාරුණික හැඟීම් පිබිදෙනවා. නපුරු නරක අදහස් සිතට ඇතුළු වන්නේ නැහැ. අනෙකා සමඟ මනා කල්‍යාණ මිත්‍රත්වයක් ගොඩ නගා ගන්නවා.

වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගරු බුහුමන් දක්වනවා. සතා සිවුපාවට අනුකම්පිතව ලෝකයා වෙනුවෙන්ම දයානුකම්පාවෙන් කරුණාවෙන් බලන්නට පුරුදු පුහුණු වෙනවා.

මුල් ළමා වියේ පටන්ම දරුවා ගුණ නැන බලෙන් යුතුව ගොඩ නගන්න. ආදරණීය මවුපියවරුනි, මෙලෙස ක්‍රමානුකූලව ගොඩනැඟූ දරුවාගේ නැවත හදන්නට අඩුපාඩු නොවේ. සමාජයට ගිය කළ ඔහු / ඇය පෙනේරයක් නොවී කිරි ගොට්ටක් වනු ඇත.

හදවත ලස්සන කරන්න

අප මහා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව තිබෙන්නේ චිත්ත පාරමිතාව උපරිමව ගොඩනගලා. ඒ සිතින් ගොඩනැගුණ ස්වේත වර්ණ කදම්භය විශ්වයට මුදා හැරියා. එය භෞතික විශ්වය තුළ තිබූ ආලෝක කදම්භය සමඟ මිශ්‍ර වුණා. බුද්ධ රශ්මියේ ෂඩ් වර්ණය එයයි. බලන්න, දේදුන්නක් දෙස. විශ්වයේ පවතින ජල අංශු එකතු වී ජලවාෂ්ප බවට පත්ව සූර්යාලෝකය හා එක්වූ විට සප්ත වර්ණ ගැන්වෙනවා. ඒ විහිදෙන වර්ණයටයි අපි දේදුන්න කියන්නෙ.

එසේම යෝගාචර භාවනාවට යොමුවූවන්ගෙ සිත් ප්‍රීතියෙන් ආලෝකය විහිදුවනවා. ධ්‍යානයට සමාපත්ති සිතක් සැබැවින්ම දරුවෙක්ගෙ සිතක් මෙනි. ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, තරහව කොහෙත්ම නැහැ. අන්න ඒකයි දරුවන්ගෙයි වැඩිහිටියන්ගෙයි වෙනස. රහතන් වහන්සේගේ සිත්හි පවතින ලක්ෂණ ළමයකුගේ සිත්හි පවතිනවා කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ‘හසිත’ මුළු හදවතින්ම සිනහ වෙන උත්තම ලක්ෂණය පුංචිවුන්ගෙ සිතේ තැන්පත් වෙනවා. ඉතිං උදාවූ ලෝක ළමා දිනයේ අපි කළේ දරුවාගේ හදවත ලස්සන කළ එකද? ආශාව, තණ්හාව, තරගකාරිත්වය පෙන්වා කිලිටි කළ එකද කියන දේ හිතන්න ඔබට භාරයි.

කතාබහේ වටිනාකම

‘ළ’පටි ‘ම’නස ‘යා’ කර ගන්නා ළමයා යන්නෙහි තේරුමයි. ඉතින් ළමයි ලෝකය දෙස බලන්නෙ වැඩිහිටියන් වුණ අපෙන්. ඔවුන් ඉදිරියේ අපි කතා කළ යුතු, හැසිරිය යුතු සීමාමායිම්, වාරණ තියෙනවා. මෙවැනි පරිසරයක හැදුණ වැඩුණු දරුවා හෙට ලෝකය දිනනවා. සැබෑවටම දිනනවා. සත්‍යයයි.

ඉස්සර කාලේ අම්මා තාත්තට කතා කළේ පුතාලගෙ තාත්තා කියලා. තාත්තා අම්මව ආමන්ත්‍රණය කළේ පුතාලගෙ අම්මා. අපේ ගෙදර එක්කෙනා කියලා. ඇතැම් විට අද සමාජයට මේක ගැළපෙන්නෙ නැතුව ඇති. ඒත් ඉතිං දරුවාගේ පුංචි ලෝකය ගොඩනගන්න අම්මා අප්පච්චිගෙ මේ කතා බහ වටිනවා. ‘සම්මානනාය’ කියන්නෙ මේකටයි. අම්මා තාත්තට ගෞරව කළා. ඇගැයීමට ලක්කළා. මිල මුදල් වස්තුවට වඩා වචනයෙන් දෙන ගෞරවයට අම්මා ආදරය කළා. රටකට දරුවන් මහත් සම්පතක්. මේකට ජාති, ආගම් භේද නැහැ. බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම්, යන මේ මොන පවුලක වුණත් අම්මා තාත්තා එකිනෙකාට කරන ගෞරවය මතින් දරුවාගේ පෞරුෂය යහපත්ව ගොඩනැගෙනවා.

ආමන්ත්‍රණයේ වැදගත්කම

දරුවකුට වුණත් නමකින් ආමන්ත්‍රණය කරන්න එපා. ඒක දුරස්ථ බවට හේතුවක්. අපේ අම්මලා ලොකු පුතා, චූටි පුතා, මද්දුම පුතා, පොඩි පුතා කියලා කතා කරපු හැටි අපිට තාම මතකයි. මාතෘත්වයට පීතෘත්වයට පුදුමාකාර බැඳීමක්, ආදරයක් ඇතිවෙනවා. ශෙහාන්, රෙහාන්, රොහාන් කිවුවම මේ බැඳීම එන්නෙ නැහැ. හදවතක බැඳීම ලබාගන්නත් අමාරුයි. පවත්වා ගන්නත් අමාරුයි. මාතෘ, පීතෘ, පුත්‍රදාරක සෙනෙහසටත් මේක පොදුයි.

සීමා මායිම් රහිතව දරුවාට ලබා දෙන ආදරයම හෙට ඔබව ද සුරක්ෂිත කරාවි.

ආයෙත් අපිට අමුතුවෙන් ‘වැටිහිටි දිනය’ ක් සමරන්න අවශ්‍ය වන්නෙ නැහැ. අපි අහලා තියෙනවා එක පැත්තක ලෝක සිතියමත් අනෙක් පස ළමයාගේ රූපයක් ඇඳපු කතාව. ඉරුණු ඒ කඩදාසියේ ලෝකය හදන්න අපහසුයි. හදන්නම බැරි තරම්. ඒත් සම්පූර්ණ ළමයා තැනීමෙන් ඉබේම ලෝකය හැදුණලු. ඒක තමයි යථාර්ථය. දරුවෙක් ගුණ නැණ බෙලන් යුක්තව තනයි නම් ලෝකයම නිරායාසයෙන් සුන්දරව ගොඩනැගේ.

   අනුශාසනාව

පූජ්‍ය  කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

1093 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 09, සඳුදා 12:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න