තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2012 ජූලි 02, සඳුදා 12:24

ග්‍රහ බලය හා විවාහය

ලිව්වේ  ඡ්‍යොතිර්වේදී පේ‍්‍රමදාස කළුතන්තිරි
අගයන්න
(22 මනාප)
කාලයක් තිස්සේ ආදරයෙන් පේ‍්‍රමයෙන් වෙළී සිටින පෙම්වතුන් වැඩිදෙනෙකු එසේ ආදරයෙන් පේ‍්‍රමයෙන් බැඳී සිටින්නේ අනාගතයේදී යුග දිවියට පත් වී සාමයෙන් සමඟියෙන් දූ දරුවන් ලබා යහපත් ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුවෙනි. මෙසේ ආදරයෙන් පේ‍්‍රමයෙන් වෙළී සිටින පෙම්වතුන් කේන්ද්‍රය පරීක්‍ෂා කොට ඔවුනොවුන් යුග දිවියට ගැළපේදැයි විමසා යුග දිවියට පත්වෙති. තවත් සමහරු කේන්ද්‍රය නොවිමසා යුග දිවියට පත්වෙති. මේ අතර ඔවුනොවුන්ගේ කේන්ද්‍ර නොගැළපී තිබියදීත් යුගදිවියට පත් වෙති.

තවත් සමහරුන් යුග දිවියට පත් වන්නේ මංගල යෝජනාවක ප්‍රතිඵලයක් වශයෙනි. නැතහොත් දෙමාපියන් සොයා දුන් සහකරුවකු හෝ සහකාරියක සමගය. යෝජිත විවාහවලදී වැඩි වශයෙන් තීරණයට එළඹෙන්නේ පොරොන්දම් ගැළපේ නම් පමණි.

කුමන අයුරකින් යුග දිවියට පත් වුවත් ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව වන්නේ යහපත් අයුරින් පවුල් ජීවිතයක් ගත කිරීමයි. එහෙත් මෙසේ යහපත් අයුරින් යුග දිවිය ගත කිරීමට අවස්ථාව ලැබේද? සමහරු විවාහ වී දින කීපයකින් දික්කසාද වෙති. තවත් සමහරු කාලයක් ගොස් යුග දිවියෙන් සමු ගනිති.

මෙයට අමතරව තවත් සමහරුන්ගේ සහකරු හෝ සහකාරිය මිය යෑමෙන් යුග දිවිය ශෝචනීය අන්දමින් කෙළවර වෙයි.

දික්කසාද වීමට හේතු එකක් දෙකක් නොව රාශියක් පවතී. මේ අතර යුග දිවිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි හේතු සාධක ද මේ අතර ඇත.තම සහකරු හෝ සහකාරිය අනාචාරයේ හැසිරීම මේ අතර බලවත් ;මන්ම බරපතළ කාරණයකි.

අපේ පැරැණ්නෝ විවාහවීම “හිර ගැනීම” යනුවෙන් හඳුන්වති. මෙහි සාමාන්‍ය අර්ථය වන්නේ හිරවීමයි. එසේ නැතහොත් කාලයක් තිස්සේ භුක්ති විඳි නිදහස තරමක් දුරට හෝ සීමා වීමයි. යුග දිවියට පත්වීමෙන් අනතුරුව තමාට තමාගේ තනි තීරණය අනුව කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වේ. යුග දිවියට පත් අඹු සැමියෝ තමන්ගේ අභිමතය අනුව තනි තීරණ ගැනීමට ගියහොත් වැඩි කාලයක් විවාහය පවත්වා ගෙන යෑමට නොහැකි වේ. මේ නිසා විවාහයෙන් පසුව තමාගේ නිදහස සීමාවේ. මේ නිසා විවාහය හිරයක් ලෙසට අර්ථ දක්වා ඇත. සාමාන්‍යයෙන් හිර බන්ධනගත වූ පුද්ගලයෙකුට හිර දඬුවම අවසන් වීමෙන් අනතුරුව හිර ගෙදරින් පිටව යෑමට නිදහස ලැබේ. එහෙත් මේ සඳහා දික්කසාද විය යුතුමය. එසේ දික්කසාද වුව ද සමහර අවස්ථාවල දී ඊට වන්දි ගෙවිය යුතුය. එබැවින් විවාහය සඳහා සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීම විචක්‍ෂණ බුද්ධියෙන් යුතුව කළ යුතු වැදගත් සුවිශේෂ කාරණයකි.

බොහෝ පවුල් වල අවුල් වියවුල් ඇති වන්නේ ඔවුනොවුන් නිසි අයුරින් හඳුනා නොගැනීම නිසාය.මෙම කාරණයට අමතරව ලිංගික තෘප්තිය නොලැබීම, පවුල් පරතරය, රුචි අරුචිකම් නොගැළපීම එකකු අනෙකා පරදවා ප්‍රධානත්වය අපේක්‍ෂා කිරීම ආර්ථික අපහසුකම් මේ ආදි කරුණු එකක් හෝ කීපයක් යෙදුණූ විට පවුලේ අවුල් වියවුල් ඇති කෙරේ. මෙවැනි අවුල් මතම විවාහය බිඳ නොවැටේ. එහෙත් අනියම් ලිංගික සේවනය වැනි කරණයක් ඇති වුවහොත් එය යුග දිවියේ බරපතළ දෙදරීම්වලට ලක් වී අන්තිමේ දී දික්කසාදය පවා සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත.

මෙවැනි පවුල් අවුල්වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම ඔවුනොවුන්ගේ කේන්ද්‍රයේ ග්‍රහ බලපෑම් වැඩි වශයෙන් බලපා ඇති බැව් මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී ඇත. යුග දිවියේ අවුල් වියවුල් ඇති කෙරෙන ග්‍රහ යෝග එකක් දෙකක් නොව රාශියක් ඇත්තේය. මේ සඳහා ප්‍රධාන වශයෙන් යුග දිවියට බාධා ඇති කෙරෙන ග්‍රහ යෝග කීපයක් මෙම පර්යේෂණයට පාදක කර ගත්තෙමි.

විවාහය අවුල් කරන ග්‍රහ යෝග කීපයක් හෝ එකක් සමහර කේන්ද්‍රවල යෙදීමට පිළිවන. සමහර අවස්ථාවලදී එවැනි එක් ග්‍රහ යෝගයක් යෙදී තිබුණ ද එම යෝගය විවාහය බිඳ දැමීමට සමත් වන අවස්ථා ඇත. ඒ ඒ ග්‍රහයෝගය යෙදී ඇති ස්ථානය ,රාශිය, ඒ ඒ ග්‍රහයා ලබන දෘෂ්ටි වැඩි බලපෑමක් ඇති කරන්නේය. මෙයට අමතරව ග්‍රහ ගෝචරය හා මහ දශා හා අන්තර් දශා බලපෑම් ඇති වේ. මෙවැනි අයහපත් ග්‍රහයෝග යෙදී තිබිය දී අයහපත් මහා දශා අන්තර් දශා ඇති වී ග්‍රහ ගෝචරය අයහපත් වන විට එම කාලයේ දී විවාහයේ බිඳ වැටීම් හා දික්කසාදය සිදුවන බැව් මේ සම්බන්ධයෙන් කරන පර්යේෂණවල දී අනාවරණය වී ඇත.

විවාහයේ සතුටට බාධා කරන නිතර නිතර කරදර ඇති කරන ග්‍රහ යෝග යෙදී තිබිය දී එම කරදර හිරිහැර බාධක මධ්‍යයේ යුග දිවිය ගත කරන බොහෝ දෙනෙකු සිටිති. බොහෝ දෙනා විවාහයේ ඇති අවුල් වියවුල් අනාවරණය නොකළ ද ඔවුහු මානසික වශයෙන් පීඩනයට භාජනය වී සිටිති.

අපරදිග රටවල සුළු ප්‍රශ්නයක් ඇති වුවද එම හේතුවෙන් ඔවුහු දික්කසාද වෙති. එහෙත් පෙරදිග රටවල තත්ත්වය ඊට වඩා වෙනස් ය. යුග දිවියේ යම් යම් ප්‍රශ්න ඇති වුවත් එම ප්‍රශ්න හිස තබාගෙන ප්‍රශ්න මධ්‍යයේ කෙසේ හෝ යුග දිවිය ගත කිරීමට ඔවුන් ඇපකැප වී සිටීම මෙහි ඇති විශේෂත්වයකි. පෙරදිග රටවල දික්කසාද වූ අය කෙරේ වපර ඇසින් බැලීමට සමාජය පුරුදු වී සිටිය ද බටහිර රටවල දික්කසාදය යනු සාමාන්‍ය වූ සිදුවීමක් විනා බරපතළ ප්‍රශ්නයක් නොවේ. මේ නිසා එම රටවල දික්කසාද ප්‍රමාණය වැඩි වී තිබේ.

සමාජයෙන් එල්ලවන අවමානය හා දරුවන් කෙරේ ඇති අසීමිත ආදරය හා ස්නේහවන්ත භාවය නිසා පෙරදිග වැසියෝ විවාහයේ නොයෙකුත් ප්‍රශ්න තිබුණද, එවැනි ප්‍රශ්න මධ්‍යයේ විවාහය කෙසේ හෝ ගත කරනු ලැබේ. කොතරම් ගැටලු ඇති වුවත් ඒවා විඳ ගෙන විවාහ ජීවිතය ගෙවන අයට ද එම තත්ත්වය උදා වී ඇත්තේ ඔවුන්ගේ කේන්ද්‍රවල ඇති ග්‍රහ බලය අනුවය. එය මෙම පොතට ඇතුළත් කොට ඇති ග්‍රහයෝග විමර්ශනයට භාජනය කළහොත් පැහැදිලි වනු ඇත.

කේන්ද්‍රයේ හත්වැන්න විවාහය සම්බන්ධයෙන් වැඩි වගකීමක් දරන අතර හත් වැන්න අධිපතියා සිටින ස්ථානය, හත් වැන්නේ සිටින ග්‍රහයන් හා හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටීන් මේ කෙරේ වැඩි බලයක් ඇති කෙරෙන බැව් පැහැදිලිය. එසේම මෙයට අමතරව විවාහයේ අවුල් වියවුල් හා දික්කසාද ඇති කෙරෙන වෙනත් ග්‍රහ යෝග ද රාශියක් ඇත.මෙවැනි අයහපත් ග්‍රහ තත්ත්වයන් ඇති වූ විට විවාහයේ අවුල් වියවුල් ඇති කෙරේ.

විවාහය සිදුවීම, විවාහය අසාර්ථක වීම කෙරේ ග්‍රහ බලයේ යම් බලපෑමක් ඇති බැව් මේ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවල දී අනාවරණය වී ඇත.ඒ ඒ ග්‍රහ යෝග ඒ ඒ අයුරින් බලපා ඇති අයුරු ඉදිරි පරිච්ඡේදවලින් විග්‍රහ කෙරේ.

විවාහය අසාර්ථක කරන ග්‍රහයෝග යෙදී ඇති කේන්ද්‍ර හිමියන්ට යහපත් මහ දශා අන්තර්දශා යෙදී තිබෙන විට ග්‍රහ ගෝචර අයහපත් අයුරින් පවතී නම් එම අවස්ථාවලදී විවාහයේ යම් යම් අපහසුතා ඇති කෙරේ.

උත්පත්තියේදී අයහපත් ග්‍රහ යෝග යෙදී තිබියදී එම ග්‍රහ යෝගවල බලය ශුන්‍යකරන වෙනත් ග්‍රහ බල තම සහකරුගේ හෝ සහකාරියගේ කේන්ද්‍රයේ යෙදී ඇත්නම් එම ග්‍රහ බලයන්ට විවාහය අවුල් කිරීමට අවස්ථාවක් ;නාලැබේ.

අඟහරු ලග්නය, දෙක, හතර, හත, අට,දොළහ යන ස්ථානයක සිටීම විවාහයේ පැවැත්වීමට හානිදායකය. මෙවැනි කේන්ද්‍ර හිමියන් ඉහත ආකාරයට අඟහරු සිටින කේන්ද්‍ර හිමියකු සමඟ යුගදිවියට පත් වූ විට එම අයහපත් තත්ත්වය අහෝසි වේ.

යුග දිවියට යම් යම් අහිතකර බලපෑම් ඇති කෙරෙන ග්‍රහයෝග යම් කේන්ද්‍රයක පිහිටා තිබුණ ද ඔවුන් යුග දිවියට පත් නොවී සදාකල්හිම අවිවාහකව සිටීමේ අවශ්‍යතාවයක් නොමැත.මෙවැනි යෝග තම සහකරුගේ හෝ සහකාරියගේ හෝ කේන්ද්‍රයේ ඇති වෙනත් ග්‍රහයෝග අනුසාරයෙන් අහෝසි වන අවස්ථා ඇත. එවැනි කේන්ද්‍ර හිමියන් ඊට සරිලන ගැළපෙන කේන්ද්‍ර හිමියෙකු සමඟ විවාහ වුවහොත් මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමට පිළිවන

12109 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 02, සඳුදා 12:27
අදහස් එක් කිරීමට ලොග් වෙන්න