රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2016 ජූලි 26, අඟහරුවාදා 12:12

සිකුරු බලවත් නම්... වාසනාව දොර ඇරලා බලනවාමයි... විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(4 මනාප)
මේෂ ලග්නයේ සිට සිංහ ලග්නය දක්වා මාලවි කියන පංච මහා පුරුෂ යෝගය යෙදෙන ආකාරය ගැන අප පසුගිය සතියේ පැහැදිලි කළ නිසා එය ඔබේ කේන්දරයේ යෙදෙන්නේ මොන ආකාරයෙන්ද කියලා දැන් ඔබ වටහාගෙන ඇති.

 

 

තමන්ටත් මේ මාලවි කියන පංච මහා පුරුෂ යෝගය තියෙනවද? ඒ කොහොමද කියලා දැනගන්න දැන් අනෙක් ලග්න හිමියන්ද නොඉවසිල්ලෙන් ඉන්න බවත් අප දන්නවා.

එහෙම නම් ඔබේ ලග්නයටත් මෙම මාලවි යෝගය යෙදෙන්නේ මොන ආකාරයෙන් ද කියා මෙතැන් සිට විමසා බලමු.

ඔබේ ලග්නය කන්‍යාද? එහෙම නම් කේන්දරය අරගෙන බලන්න. ඔබට මාලවි යෝගය යෙදෙන හැටි. කන්‍යා ලග්නයෙන් උපත ලද කේන්ද්‍ර හිමියාට මාලවි යෝගය හත් වැන්නේ යෙදුණොත් (සිකුරු හත්වැන්නේ කියන්නේ විවාහ ස්ථානයයි) ස්ත්‍රියකට නම් ලැබෙන පුරුෂයා කඩවසම් අයකු වන අතර පුරුෂයකුට යෙදුණොත් ලැබෙන කාන්තාව ලාබාල පෙනුමක් ඇති ඉතාමත් සෞම්‍ය ආකර්ෂණීය බිරියක් වෙන්න පුළුවන්. මෙම මාලවි යෝගය කියන්නේ සියලු යස ඉසුරු සැප සම්පත් ළඟා කරන යෝගයක්. කන්‍යා ලග්න හිමියාගේ සිකුරු දෙවැන්නේ සිටීමත් ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක්. නවවැන්නේ සිටියත් එසේමයි. නමුත් එය මාලවි යෝගය නෙවෙයි. එය මාලවි යෝගය වන්නේ හත්වැන්නේ යෙදුණොත් පමණයි.

තුලා ලග්නයට කොහොමද මෙම යෝගය යෙදෙන්නේ? තුලා ලග්නකරුගේ ලග්නයේ සිකුරු බලවත් වෙලා සිටියොත් ඔහුට හෝ ඇයට මෙන්න මේ මාලවි කියන පංච මහා පුරුෂ යෝගය යෙදෙනවා. මෙහිදී බිරිය නම් ස්වාමියාටත් ස්වාමියා බිරියටත් දැඩි ලෙස ඇලුම් කරන අය වනවා. සිකුරු බලවත් වී තුලා ලග්නකරුගේ ලග්නේ සිටියොත් ඒ කෙනාට සිකුරුගෙන් ලැබෙන්නා වූ බලය, ශක්තිය, වාසනාව නිසා සමාජයේ ජීවත් වෙන්න ඉතාමත් පහසු වෙනවා. ඕනෑම කෙනෙක් මෙවන් අයට උදවු කරන්න පැකිළෙන්නේ නෑ. මගේ ලග්නේ සිකුරු කොහේද? මටත් මාලවි යෝගය තිබෙනවාද කියා වෘශ්චික ලග්න හිමියන් දැන් විමසිලිමත් ඇති. ඇයගේ හෝ ඔහුගේ හත්වැන්නේ සිකුරු සිටියොත් ඒ අයටත් මාලවි කියන පංච මහා පුරුෂ යෝගය යෙදෙනවා. මෙම යෝගය හත්වැන්නේ යෙදීමෙන් ඒ අයට වැඩි කල් මවගේ සෙනෙහස ලබාගෙන ඉන්න වෙන්නේ නෑ.

මෙයින් අදහස් වන්නේ මවුට හානි වෙනවා කියන එක නෙමෙයි පුරුෂයකුට නම් ස්ත්‍රියකගේ සෙනෙහසත් ස්ත්‍රියකට නම් පුරුෂයාගේ සෙනෙහසත් හිමිවන බවයි. සිකුරු හත්වැන්නේ සිටීම අඩු වයසෙන් විවාහ වන යෝගයක්. නමුත් මෙහිදී විවාහය ප්‍රමාද කරවන අවස්ථාවනුත් නැතුවා නොවෙයි. විවාහය පමා කරන යෝග කේන්දරයක තිබුණොත් සිකුරු හතේ සිටියත් විවාහය පමා කරන අවස්ථා අප දැක තිබෙනවා. මේ ගැනත් අප අවධානය යොමු කරගෙන යා යුතුයි. නැතිනම් ඡ්‍යොතිෂය ගැන වැරැදි ආකල්පයක් ඇති කරගන්න පුළුවන්.

දැන් බලමු ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපත ලැබූ අයගේ හතර වැන්නේ සිකුරු යෙදුණොත් තමයි මෙම යෝගය යෙදෙන්නේ. මුලින් කී ආකාරයට ඇයට හෝ ඔහුට යම් ආකාරයක සුබ ප්‍රතිඵල සැප සම්පත් ළඟාකර දෙන්න මෙම යෝගය හේතු වෙනවා.

මකර ලග්නයෙන් උපත ලද කේන්දර හිමි අයගේ මෙම යෝගය යෙදෙන්නේ දසවැන්නේය. දසවැන්නේ යෙදෙන මාලවි කියන පංච මහා පුරුෂ යෝගය මකර ලග්න හිමියාට ඉතා විශිෂ්ඨ ප්‍රතිඵල ගෙන දෙනවා. ඇයි ඒ? පස්වැන්න කියන්නේ ත්‍රිකෝණස්ථානයක්. දසවැන්න කියන්නේ කේන්ද්‍රස්ථානයක්. පස්වැන්න සහ දසවැන්න කියන දෙක අධිපති වූ විට ඡ්‍යොතිෂයේදී අප එය හඳුන්වන්නේ යෝගකාරකයා වශයෙනි. එවිට මකර ලග්න හිමියාට මාලවි කියන පංච මහා පුරුෂ යෝගය යෙදෙනවා වගේම යෝගකාරකයත් වනවා. මකර ලග්නයේ කෙනකුට සිකුරුගෙන් මාලවි යෝගය තිබියදී එම දසාව ලැබුවොත් මල් හතයි. ජීවිතයේ ලැබිය යුතු සියලුම සැප සම්පත් හිමි වනවා. කෙතරම් අපල කාලයකදී වුවත් හොඳින් අතමිට සරු කරන ග්‍රහ පිහිටීමක් වනවා.

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ සිකුරු යෙදෙන්නේ හතර වැන්නේ. හතර වැන්න ගැන අප කතා කරන විට හතර වැන්නෙන් කියැවෙන්නේ ගේ දොර යාන වාහන ආදී සැප සම්පත් ගැනයි. හතරවැන්න යනු හදවතයි. හදවතේ සිකුරු සිටින විට බොහොම පිරිසුදු හදවතක් ඇති අයකු වනවා. හතරවැන්නේ සිකුරු බලවත් වී සිටිම මඟින් උපරිමයෙන් ඥාති මිත්‍රාදීන්ට සලකන අයකු වනවා. තවත් වාසනාවන්ත ග්‍රහයෝග ඇතුළේ මෙම දශාව ලැබුවොත් එම තැනැත්තාගේ ජීවිතය ගත වන්නේ ඉතාමත් සුන්දර ලෙසයි. මෙය බොහෝ සැප සම්පත් විඳීමට තරම් හේතු වන සුබ පිහිටීමක්.

අවසාන ලග්නය මීන ලග්නයයි. මීන ලග්න කේන්දර හිමියාගේ සිකුරු ලග්නේ සිටියොත් ලග්නෙට සිකුරු ග්‍රහයා උච්චයි. නමුත් මෙතැනදී මාලවී කියන පංච මහා පුරුෂ යෝගය යෙදුණත් දශාව නම් සුබ නොවේ. ඒ ඇයි දැයි කිවහොත් අටවැන්නාධිපති කමත් දරන නිසයි. අටවැන්නාධිපති ලග්නේ සිටීම හොඳ නෑ. ලග්නේ සිකුරු බලවත් වී මාලවි කියන පංච මහා පුරුෂ යෝගය යෙදීමෙන් සිකුරු යම් සුබ ප්‍රතිඵලයක් දෙන්න පුළුවන්. නමුත් මහ දශාවක් ලැබුවොත් නම් එහි ප්‍රතිඵල ලැබෙන්නේ 50% ක් පමණයි. නමුත් මාලවි යෝගය යෙදෙනවා. මාලවි කියන පංච මහා පුරුෂ යෝගය නිසා නිතරම සිනහමුසුව සිටීමට හැකිවනවා. අන් අයට පි‍්‍රයමනාප වනවා. ප්‍රශ්න ආවත් ඒ මතම හැපෙන්නේ නැති අයකු වනවා. සැපට අධිපති වගේම ලෞකික ජීවිතයේ බොහෝ සැප සම්පත් ළඟාකර දෙන ග්‍රහයෙක් තමයි සිකුරු කියන්නේ.

පුරුෂ පක්ෂයටත් වඩා කාන්තාවකගේ කේන්දරයේ සිකුරු බලවත් වී සිටීම වාසනාවන්ත පිහිටීමක්. මෙම යෝගය හැරෙන්නට තව පංච මහා පුරුෂ යෝග හතරක් තිබෙනවා. ඒ හතර කාන්තාවන්ට බලපාන්නේ කෙසේ ද කියා අප ඉදිරියේ දී විමසා බලනවා.

 

උපදෙස් - විශ්ව කීර්ති

ඡ්‍යොතිෂ විශාරද

දේශමාන්‍ය ආචාර්ය

බී. මංජුල පීරීස්

0113153323

0112658811

7966 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජූලි 26, අඟහරුවාදා 12:13
අදහස් එක් කිරීමට ලොග් වෙන්න