රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 අගෝස්තු 22, අඟහරුවාදා 09:59

භිතිකාවට පත්වූ දියණියකගේ කතාව

ලිව්වේ  ප්‍රසන්නී ගී තරංගමා
අගයන්න
(0 මනාප)
ගුරු ගීතය දයාබර අම්මේ, තාත්තේ, ආදරණිය ගුරුවරුනි, ඔබ ළඟ දැවටෙන දරු පැටවුන් දෙස දයාවෙන් බලනු මැනවි. දරුවන්ගේ ජීවිතය තීරණය වෙන්නේ ළමාවියේ දී ගොඩනැගෙන පෞරුෂය මතබව සිහිතබා ගන්න.

 

 

ගුරු ගීතයට සංවේදී වූ මාපියවරුන්ගේ හඬ විටින් විට තරුණී දුරකථනයෙන් ඇසේ. පසුගියදා එවන් මවකගේ දුක්බර කතාවක් තරුණී දුරකථනයෙන් නිම්නාද දුණි. මාපියන්ගේ නොදැනුවත් බවින් ජීවිතය විඳවන දූ දරුවෝ මේ මහපොළොව මත දුලබ නැත. ඇය ඔබට පවසන්නේ ඈ සිප්සතරින් කොතෙක් දැන උගත් වුවද ජීවිතය පිළිබඳ නොදැනුණු පැතිකඩක් නිසා තම දියණියන්ට අත් වූ කඳුළු කතාවයි.

මම ඩිප්ලෝමා දහයක් සම්පූර්ණ කළ අම්මා කෙනෙක්. විවිධ විෂයයන්ගෙන් අධ්‍යාපනය සපුරාගැනීමේ පිපාසයයි ඕනෑකමයි නිසා මගේ අධ්‍යාපනය නැවතුණේ නැහැ. අපේ පවුලේ ඥාතීන් අතරත් විභාගවලදී ලංකාවෙන්ම ඉහළම ප්‍රතිඵල ලැබූ අය ඉන්නවා. ඒනිසා ඉගෙනීමට විශේෂ හැකියාවක් විශේෂ මතකයක් මට ජානවලින්ම උරුම වී ඇතැයි සිතනවා.

බාධක අතරින් ගලා ගෙන ගිය ජීවිත

කොහොම වුණත් මගේ ජීවිතයත් බාධක අතරින් නොනැවතී ගැලූ ගඟක් වාගෙයි. ඇත්තටම මගේ ගේ ඇතුළේ ගැටි ගැටී ජීවත්විය යුතු ලොකු ගැටලුවක් තිබුණා. ඒ මගේ සහෝදරියගේ අසාමාන්‍ය ජීවන රටාවයි. ඇය බොහොම සමාජශීලි යුවතියක්. ඒත් පවුලට දරාගත නොහැකි තරම් සුව පහසු ජීවිතයක් පතන, වැඩියෙන් වියදම් කරන, වැඩි වැඩියෙන් ණය ගන්න, අනවශ්‍ය සමාජ ප්‍රශ්නවලට මැදිහත්වන ඇගේ චර්යා රටාව නිසා අපේ පවුල සංකීර්ණ ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. ඒත් ඇගේ ජීවන මඟේ වෙනසක් වුණේ නැහැ. ඇය තව තවත් ප්‍රශ්න ගෙදරට අරගෙන ආවා පමණයි. මේ ප්‍රශ්නවලට ආදරණීය සහෝදරියක් විදිහට මට දිගින් දිගටම මැදිහත් වෙන්න සිදුවුණා.

සහොදරියගේ මානසික රෝගී බලපෑම

ඔය අතරේ මගේ අධ්‍යාපන සුදුසුකම් අනුව වෘත්තිය ජීවිතය ගොඩ නැඟෙමින් තිබුණා. ඒ නිසාම මට දැන උගත් සමාජ ඇසුරේ අඩුවක් තිබුණේ නැහැ. මේ සමාජ පසුබිමත් එක්ක මට විදේශ රටක බොහෝ කලක් ජීවත් වූ දැන උගත් ධනවත් මහතකුගෙන් විවාහ යෝජනාවක් ලැබෙනවා. ඇත්තටම පරිසරයට ආදරය කරන, ජීවිතය ගැන පුළුල් ඇහැකින් දකින ඔහු සමඟ විවාහ වන්න මට ලොකු වාසනාවක් තිබුණා.

කරුණාවන්ත හදවතක් තිබූ මගේ මහත්තයාට මගේ සහෝදරියගේ ප්‍රශ්න විසඳා ගන්න මැදිහත් වුණා. ඒත් මගේ සහෝදරියට තිබෙන්නේ විසඳා හමාරවන ප්‍රශ්න නොවෙයි. ධනයෙන්, බලයෙන්, ජනප්‍රසාදයෙන් ලොකු ගමනක් යන හීනයක ඉන්න මගේ සහෝදරිය දවසින් දවස ප්‍රශ්නවල පැටලෙනවා. අවසානයේ මටත් මගේ මහත්තයාටත් සිදුවුණේ ඉවරයක් නැති සොයුරියගේ ප්‍රශ්න ජාලාවත් එක්ක ගැටෙමින් ජීවත් වෙන්නයි. ඔහුටත් මටත් උපන් එකම දියණියත් හැදුණේ වැඩුණේ මේ පසුබිමේමයි.

ඔය අතරේ ඉගෙන ගැනීමට ඇති පිපාසය නිසාම මම මනෝවිද්‍යා ඩිප්ලෝමාවක් හදාරන්න යොමු වෙනවා. එහිදී ලබන දැනුමත් එක්ක මට මගේ සහෝදරිය ‘හයිපමේනියා’ නම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හැඟෙනවා. එවැනි රෝගීන් අධි ක්‍රියාශීලීයි. ජනප්‍රිය වීමට ඕනෑම දෙයක් කරනවා. දරාගන්න බැරි තරම් වියදම් කරනවා. දරාගන්න බැරි තරම් ණය ගන්නවා. ඇතැම් විට සමාජය මේ අයව දකින්නේ බොහොම ධනාත්මකවයි. එහෙත් පවුලේ අයට එවැනි රෝගීන් නිසා සංකීර්ණ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සැබැවින්ම මේ සියලු ලක්ෂණ මගේ සොයුරියගේ ජීවන රටාව සමඟ සැසඳෙනවා.

සහෝදරියගේ තත්ත්වය ගැන නොනවත්වාම විස්තර කරන මාවත් මනෝ උපදේශකවරුන්ගේ අවධානයට ලක්වන්නේ ඔය අතරේයි.

“සහෝදරියගේ ප්‍රශ්නත් සමඟ දිගින් දිගටම ගැටුණු ඔබත් විෂාදයෙන් පෙළෙනවා.” ඔවුන් අනුකම්පාවෙන් මට පැහැදිලි කර දුන්නේ මගේ වාසනාවකටම වෙන්න ඇති. ලොකුම වාසනාව වන්නේ ඒ බව පිළිගන්න මා සූදානමින් සිටීමයි. ඒ අනුව විෂාද තත්තවයෙන් මිදෙන්න මට මානසික ප්‍රතිකාර ලබන්න සිදුවුණා. පවුලේ ප්‍රශ්න සමඟ කලක් තිස්සේ ජීවත් වූ මගේ සැමියාත්, අහිංසක දියණියත් විෂාදයට ලක්වී ඇති බව මා හඳුනා ගන්නේ ඔය අතරේදීයි. ඒ අනුව ඔවුනුත් මානසික ප්‍රතිකාරවලට යොමු වෙනවා.

පවුලම විෂාදයේ ගොදුරක්

මානසික ප්‍රතිකරවලින් මා විෂාදයෙන් මිදෙද්දී මට මගේ දියණිය ගැන ලොකු පසුතැවීමක් ඇති වුණා. ඇත්තටම කිරිකැටි ළදරුවකු කාලේ පටන්ම අම්මා විෂාද රෝගියකු වීමේ ඛේදවාචකය ඇය විඳවූ හැටි මට මෙනෙහි වුණා. මගේ දියණිය මාස ගණනක ළදරුවකු කාලේ නොනිදා හඬද්දී නළවා ගැනීම පීඩනයක් කරගත් මා ඇයට අත්ලෙන් පහර දුන්නා. මාස තුන හතරක දියණිය කෑම ප්‍රතික්ෂේප කරද්දී මා ඇයට හැඳි මිටෙන් පහර දුන්නා. පොඩි දේටත් විෂාදයෙන් පෙළුණු අම්මාගේ කෝපයට, පහරදීමට ලක් වූ අසරණ දුව ගැන මගේ හදවත හඬා වැටෙනවා.

මා තුළ තිබූ බලවත් පෞරුෂය නිසා විසිපස් වසක් තිස්සේ මා පෙළුණු විෂාද රෝගී තත්ත්වය සමාජයට හඳුනා ගන්න බැරි වෙන්නැති. එහෙත් එහි නරක ප්‍රතිවිපාක මගේ අහිංසක දරුවාට දරාගන්න බැරි වෙන්න ඇති. ඇත්තටම ඇයට අහිමි වුණේ ඇගේ පෞරුෂය ගොඩනැගෙන ළමා වියයි.

මා අද විෂාද රෝගී තත්ත්වයෙන් අත් මිදී දැන උගතුන් පුහුණු කිරීමේ වැඩසටහන්වල පවා දේශන පවත්වනවා. මේ අතරේ උපාධිධාරි ගුරුවරුන් දහසක් පුහුණු කිරීමේ වැඩසටහනක අභියෝගයත් මා ජය ගත්තා. ඔවුන් මගේ දේශන පිළිබඳ ලියා තිබූ යහපත් ප්‍රතිචාර දුටුවාම මට මා ගැන සංවේදී කඳුළක් නැඟුණා.

ඒත් නවය ශ්‍රේණියේ ඉගෙන ගන්න මගේ දූට අද පාසලක් නෑ. ඒ විෂාද රෝගී මවක් නිසා පෞරුෂත්වයට හානි සිදු වූ දුව අවබෝධ කරගන්න ඇය මෙතෙක් ඉගෙනගත් පාසල් හතටම නොහැකි වූ නිසායි. කුඩා කාලයේදී අසාමාන්‍ය පරහදීම්වලට ලක්වූ දියණිය ගුරුවරුන්ගේ දඬුවම් පිළිබඳ භීතිකාවකින් පෙළෙනවා. ගුරුවරයකු වෙනත් සිසුවකුට වේවැල් පහරක් එල්ල කළත් ඇයගේ කකුල් දෙක වෙවුලනවා. ඇය පාසල් යාම ප්‍රතික්ෂේප කරනවා. ගුරුවරුන්ට මේ පසුබිම හොඳින්ම පැහැදිලි කරදී තිබුණත් පසුගිය දවසක මගේ දූට ඉංග්‍රීසි හෝර්ම්වර්ක් නොකළ වරදට ගුරුවරයකු වේවැල් පහර හතකින් දඬුවම් ලබා දී තිබුණා. ඉන්පස්සේ ඇය ඒ පාසලට යන්න බයයි. “අම්මාට විෂාදය තිබුණාට දුවට නෑනේ.” මේ දූගේ අස්වීමේ සහතිකයත් සමඟ මට ලැබුණු සහතිකයයි.

අපේ මුළු මහත් සිරුරටම රෝග වැලඳිය හැකි නම් පොල් ගෙඩියක් තරම් මොළයටත් රෝග වැළඳිය නොහැකිද? අපේ රට බටහිර දියුණු රටවල් සමඟ බලද්දී මානසික රෝග සම්බන්ධ ආකල්පවලින් සිටින්නේ වසර දෙතුන් සීයක පසුපසිනුයි. නැති නම් මගේ දූ ගැන මට මෙවැනි අසරණකමක් දැනෙන්නෙ නැහැ.

 

පසුවදන

වැඩිහිටියන් ගන්නා සෑම තීරණයක්ම හැදෙන වැඩෙන දූ දරුවන්ගේ යහපත වෙනුවෙන්ම විය යුතුය. ඔබ ජීවත් වන්නේ තවකකුගේ පීඩනය ඔබට විතැන් කරන පසුබිමකද? ඔබේ මානසික ආතතිය දරුවන්ට අයහපත් බලපෑම් ඇතිකරවයි. ඒ නිසාම ඔබ දරුවන් හදාවඩා ගන්නේ යහපත් වාතාවරණයකදැයි සිතා බලන්න. සැබැවින්ම දරුවන්ගේ ජීවිතය තීරණ වන්නේ ළමාවියේදී ගොඩනැඟෙන පෞරුෂය මතිනි.

ඔබ කොතැනකදී හෝ පෞරුෂත්වයට හානි වූ දරුවකු දුටුවෝතින් ඔහු හෝ ඇය දෙස දයාවෙන් බලන්න. ඒ ඔබේ දයාවෙන් බිඳුණු පෞරුෂත්වය යම් තරමකට හෝ ගොඩනඟා ගන්නට ඔවුනට අත්වැලක් ලැබෙන බැවිනි.

 

සත්‍ය කතාවක් ඇසුරිනි

1064 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:08
අදහස් එක් කිරීමට ලොග් වෙන්න