රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:13

යොවුන් පියස පොපියන යෞවනයටයි විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
මිසයිල, පරමාණු, තුවක්කු අද කාලයේ පොඩ්ඩන්ට සෙල්ලම් බඩුය. වයස අවුරුදු දෙකට කලින් දරුවකුට රූපවාහිනී යන්ත්‍රයක් නැරඹීම වහ කැවීමක් වගේ වුණත් අම්මලා නිදහසේ ගේ දොර වැඩ කරගන්න විතරක් නෙවෙයි එෆ්.බී යන්න, චැට් කරන්න, සාප්පු සවාරි යන්නත්, මේල්් යවන්න කාලය සොයා ගන්නෙත් ළමයින් රූපවාහිනිය ඉදිරියේ ගල් පිළිම කරලයි.

 

 

කුරිරු කාටුන් චරිත රැගත් ඔරලෝසු, ඇඳුම්, තොප්පි, පොත් දරුවන්ට අරන් දෙන්නේ දෙපාරක් හිතන්නේ නැතිවයි.

විවිධ පර්යේෂණවලට අනුව හෙළි වී ඇති කාරණා නිසා වයස අවුරුදු දෙකට අඩු දරුවන් රූපවාහිනිය නැරඹීම සපුරා තහනම්. පාසල් වයසේ දරුවකුගේ ස්ක්‍රීන් ටයිම් / තිර කාලය පැය දෙකකට වැඩි විය යුතු නැහැ. ඒ පැය දෙකත් දරුවාගේ ජීවිතය යහපත් කරන, දැනුම වඩන වැඩ සටහනකට යොමු කිරීමට තරම් අපේ මාපියන් මොළය පාවිච්චි කරන්නේත් නැහැ. මෙහි අනිසි ප්‍රතිඵලය දරුවා, නව යෞවනයකු වී සයිබර් අවකාශයේ අතරමංවීමයි. එපමණක් නොවෙයි ඇතැම් විට දරුවාගේ මළගෙදරට මාපියන්ට පමණක් නොව මිත්තණිය මුත්තණුවන්ට පවා සහභාගිවීමට සිදුවීමයි. ඒ එක තැන දවසේ වැඩි පැය ගාණක් රූපවාහිනිය ඉදිරියේ හෝ පරිගණක ක්‍රීඩා ඉදිරියේ හෝ සිටීමට පුරුදුවීම නිසයි.

වසරකට සෙල්ෆි නිසා යෞවන යෞවනියන් කී දෙනකුගේ නම් ජීවිත බිලි වෙනවාද? ෆේස්බුක් තරුණ ජීවිතවලට සෙනසුරු අපලයක්. ෆේස්බුක් ගිණුමක් අරඹා නන්නාඳුනන පුද්ගලයන් සමඟ චැට් කිරීමට උත්සාහ නොගන්නා නව යෞවන යෞවනියක සොයා ගන්න බෑ. කටේ කිරි සුවඳ යාමටත් පෙර බොහෝදෙනෙක් ෆේස්බුක්, ස්මාට් ෆෝන්, වහලකු, වහලියක් වී අවසන්.

ලෝකයේ වගේම ලංකාවෙන් ද ඊට ඕනෑ තරම් උදාහරණ. ඇමැන්ඩා අපේ රටේ නෙවෙයි. පහළොස් හැවිරිදි ඇමැන්ඩා පිටරටක. ඇය ෆේස්බුක් ගිණුමක් අරඹා දිගට හරහට චැට් කිරීමට පටන් ගත්තා. ඇය යන එන තැන්වල මෙන්ම සමාජ ජාලා මිතුරු මිතුරියන්ගෙන් ද අඩුවක් වුණේ නැහැ. මිතුරු පිරිසේ හිටිය එක් කඩවසම් හාදයකු කෙරෙහි ඇයගේ සිත ඇදී ගියා. ඒ ඔහු නිතරම ඇමැන්ඩාගේ රුව වර්ණනා කරන නිසයි. කාර්යබහුල මාපියන්ට තමන් දෙස හැරී බැලීමටවත් කාල වේලාවක් නැතිව සිටියදී ඒ වර්ණනා ඇමැන්ඩාට මී පැණිවලට වඩා මිහිරි වුණා.

මේ මිතුදම ආදරයක් දක්වා දුරදිග ගියා. ඒත් එය ෆේස්බුක් චැට් කිරීමකට පමණක් සීමා වුණා. දිනක් යාළුවා චැට් කරද්දී අපූරු ඉල්ලීමක් කළා. ඒ ඇයට නිරුවත් වී තමන් වෙත ඡායාරූපයක් එවන ලෙසයි. ආදරණීය වචනවලින් අතරමං වී සිටි ඇමැන්ඩා දෙවරක් සිතුවේ නැහැ. ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූවා. ඒත් එය ඉල්ලාගෙන වහ කෑමක් බව වැටහුණේ ඔහු ඇමැන්ඩාගේ රුව අන්තර්ජාලයට මුදාහැරීම නිසයි.

ඇමැන්ඩා මාපියන්ට සියල්ල පැසුවේ සිදු විය යුතු සියල්ල අවසන් වූ පසුවයි. ගම් ප්‍රදේශ මාරු කළත් මේ දෙපා තිරිසනාගෙන් ඇයට සැනසීමක් ලැබුණේ නැහැ. අන්තිමේදී ඇය සමු දුන්නේ ජීවිතයටයි. ඇමැන්ඩා නවීන තාක්ෂණය බුද්ධිමත් ලෙස පරිහරණය නොකිරීමෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ එක් තරුණියක් පමණයි.

තාරුණ්‍යය ජවාධිකයි. සියල්ල දන්නා බව ද සිතනවා. කලබලකාරීයි. හැම දෙයක්ම ඉක්මනින් ග්‍රහණය කරනවා. මවුපියන්ට වඩා යහළු යෙහෙළියන් කියන දේ ගණන් ගන්නවා. අම්මලා තාත්තලා, උස් මහත්වන දූ දරුවන්ගේ හොඳම මිතුරියන් හොඳම මිතුරන් විය යුත්තේ මේ නිසයි.

විරුද්ධ ලිංගික ආකර්ෂණය ඉඳිකටුුවට කාන්දමක් ඇදෙනවා වගේ. දඩබ්බර මොවුන් සමාජයෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙනවා.

කුතුහලය වැඩිකම නිසා අමාරුවෙ වැටෙනවාත් වැඩියි. ඉක්මනින් මේ අයගේ හිත් වෙනස් වෙනවා. නව යෞවනයේ මේ ස්වභාවය මාපියන් අවබෝධ කරගෙන සිටිනවාද?

වයස අවුරුදු 10 න් පසු ගොඩ නැඟෙන්නේ අම්මා තාත්තාගේ උකුළේ නැළවුණ දරු පැටියා නෙවෙයි.

දරුවෙක් නව යෞවන වියට පිවිසෙන්නේ වයස අවුරුදු 10 සිටයි. වයස අවුරුදු 10 - 19 දක්වා පවතින්නේ එම වයස් සීමාවයි.

තරුණ වයස තවත් ආකාරයකින් විග්‍රහ කර තිබෙනවා. තරුණ ජනතාව වයස අවුරුදු 10 - 24 ත් අතර පිරිස ලෙස සලකනවා.

විග්‍රහ කිරීම් කෙසේ වෙතත් මේ තමයි දරුවන් උල් පිහියක් උඩින් ඇවිදිනවාක් වගේ ජීවිතයට අවදානමක් ගන්නා කාලයක්.

වයස අවුරුදු පහ වන විට දරුවකුගේ මොළය වැඩී අවසන්. මොළයේ පිටුපස ඇති ආවේග පිළිබඳ මධ්‍යස්ථානය වයස අවුරුදු 15 වන විට වර්ධනය වී අවසන්. ඒත් මොළයේ තීරණ ගැනීම පිළිබඳ මධ්‍යස්ථානය වයස අවුරුදු විසි පහ වනතුරුම වැඩෙමින් පවතිනවා. මොළයේ ඉදිරිපස සලකන්නේ හැඟීම්, අවදානම් හැසිරීම් පාලනය කරන තිරිංග පද්ධතිය ලෙසයි.

ගැටවරයන් තමන් සියල්ල දත් අය ලෙස සිතා සිටියත් සැබැවින්ම ඔවුන්ට හිතට එන ආවේගයක් පාලනය කරන්නවත්, ගන්නා තීරණය නිවැරැදි ද නැද්ද කියා හඳුනා ගැනීමටවත් හැකියාවක් නෑ. මාපියන් මල් නොතලා රොන් ගන්නවාක් මෙන් පරෙස්සමෙන් නව යෞවන යෞවනියන් ඇසුරු කළ යුත්තේ ඒ නිසයි.

පහසුවෙන් නොමඟට යොමු කළ හැකි වයසේ දරුවන් සුමඟට යොමු කිරීමේදී මවුපියන් නියමුවන් විය යුතුයි. එපමණක් නොවෙයි ඔවුන්ගේ අනාගතය සරුසාර කරන මාධ්‍ය භාවිතයට යොමු කිරීම ද ඉතා වැදගත්. ඒ සද් අරමුණෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අපූරු වෙබ් අඩවියක් අරඹා තිබෙනවා. එහි නම “යොවුන් පියස”. භාෂා තුනෙන්ම යෞවනයන් සඳහා නිවැරැදි සෞඛ්‍ය දැනුම ලබා දෙන්න මේ වෙබ් අඩවිය සූදානම්.

https:llwww.yowunpiyasa.lk එම සුව නිධානයයි.

දරුවා කායිකව මෙන්ම මානසිකව ද සුවපත් කරන සියලුම තොරතුරු එහි අඩංගුයි.

 

 උපදෙස්

රජරට විශ්වවිද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු

විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන

937 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න