රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:25

ඒරාෂ්ටක අපලයට ඇයි මෙච්චර බය විශේෂාංග

ලිව්වේ  උදංගනී ලියනආරච්චි
අගයන්න
(1 මනාපය)
ඕනෑම කෙනකුට ජීවිතයේ කරදර කම්කටොලු මතුව ඒම සාමාන්‍ය සිද්ධියක්. එහිදී කෙනකුට දරාගත නොහැකි තරම් ගැටුම් සහ විපත්තීන් මාලාවකට එකවර මුහුණදීමට සිදුවන අවස්ථා ඇත. එවැනි කෙනකු දුටුවිට අපල කාලයක් හෝ ඒරාෂ්ඨක කාලයක් යැයි ඇතැමුන් විහිළුවට මෙන් කියති.

 

 

එහෙත් කෙනකුට ජීවිතයේ මුහුණදීමට සිදුවන එවැනි අභාග්‍යසම්පන්න සිදුවීම් සියල්ලම ග්‍රහචාරය නිසා හෝ ඒරාෂ්ඨක අපලය නිසා හෝ සිදුවන්නකි යැයි සිතීම මුලාවකි. තමාගේ එදිනෙදා ජීවිතයේ කළයුතු නොකළයුතු දේ මැනවින් තෝරාබේරාගෙන ක්‍රියා කිරීම සඳහා වූ සහජ බුද්ධියත් සෑම මනුෂ්‍යයකු තුළම පවතී. උපතින්ම අපට ලැබී තිබෙන එම බුද්ධිය හා දැනුම ප්‍රයෝජනයට නොගෙන කේන්දර බල බලා සිටීමෙන් ප්‍රශ්න විසඳිය හැකියැයි සිතීම මිනිස්කමට නොහොබිනා දෙයකි.

එහෙත් කෙනකු උපන් ග්‍රහචාරය අනුව ඇතැම් අවස්ථාවල ග්‍රහපීඩන හා විශේෂයෙන් ඒරාෂ්ටක අපල ඇති කිරීමෙහි මුල්වන ග්‍රහයා වන්නේ සෙනසුරුයි. කෙනකුගේ කේන්දරයේ දොළොස්වැන්නේ ලග්නයේ සහ දෙවැන්නේ සෙනසුරු ගමන් කරන කාලයේදී එය ලග්න ඒරාෂ්ඨකය ලෙස හඳුන්වයි. උපන් කේන්දරයේ සඳු සිටින රාශිය හරහා සෙනසුරු ගමන් කිරීම ජන්ම ඒරාෂ්ඨකයයි. කෙනකු උපන් ලග්නයෙන් අට වැන්නේ සෙනසුරු ගමන් කිරීම ලග්න අෂ්ටම ඒරාෂ්ටකයයි. උපතේදී සඳු පිහිටි ස්ථානයෙන් අටවැන්නේ සෙනසුරු ගමන් කිරීමද ඒරාෂ්ටකයකි.

එසේ බලන කළ මේ ලෝකයේ ජීවත්වන ඕනෑම පුද්ගලයකු ජීවිතයේ නොයෙකුත් අවස්ථාවල විවිධාකාර ඒරාෂ්ඨකයන්ට මුහුණ පෑමට සිදුවනු ඇත. ඒ අනුව අපට පැහැදිලි වන්නේ මේ එරාෂ්ටක යනු ඉතා සාමාන්‍ය දෙයක් බවයි. එහෙයින් තමාට ඒරාෂ්ඨක අපලයක් යැයි ඡ්‍යොතිෂවේදියකු කියූ පමණින් කිසිවකුත් ඒ සම්බන්ධයෙන් කලබලයට හෝ භීතියට පත්විය යුතු නැත. මන්ද ඒ කියන ඒරාෂ්ඨකයන්ට මුහුණ නොදෙන කිසිවකුත් මිහිපිට ජීවත් නොවේ. එමෙන්ම සෑම ඒරාෂ්ඨක අපලයක්ම කෙනකුට අසුබ විපාකම ගෙනදෙන බව කීමද මිත්‍යාවකි. බොහෝ දෙනකුට නව රැකියා ලැබීම, උසස්වීම්, නව වගකීම් දැරීම පමණක් නොව රාජ්‍ය නායකධූරයන් පවා ලැබී තිබෙන්නේ ඒරාෂ්ඨක අපල කාලයේදීය.

මේ ඒරාෂ්ඨක අපල කාලයේදී දූරදර්ශී බුද්ධිමත් පුද්ගලයා එම අපලය පවා තම වාසිය පිණිස යොදවා ගැනීමට දක්ෂවෙයි. ඒ සඳහා උදාහරණයක් නම්, ඒරාෂ්ඨක අපල කාලයකදී කෙනකු නිවෙසක් සෑදීමට පටන් ගන්නේ යැයි සිතමු. එවිට ඔහු සතු සියලු ධනය එම නිවෙස සෑදීම සඳහා වැයවේ. එපමණක් නොව ඊට අමතරවද මුදල් සහ ණය මාර්ග සොයා යාමට සිදුවෙයි. බැංකු ණය යනාදියට ඉල්ලුම් කළද එය ලබාගැනීමට ඉතා වෙහෙස විය යුතුය. නිවෙස ඉදිකිරීම සඳහා සැලසුම් අනුමත කරගැනීම, ඒ සඳහා පෙදරේරුවන් සොයා ගැනීම, ඔවුන් සමඟ කටයුතු කිරීම මේ යනාදී සියල්ල ද පීඩාකාරි අත්දැකීම් බවට පත්වෙයි.

එසේ ක්‍රියා කරන විට පුද්ගලයා තුළ හටගන්නේ කායික හා මානසික වෙහෙසකි. ඔහු එම වෙහෙස පීඩාව දරාගනිමින් එකී නිවෙස ඉදිකරගෙන යාම ඇත්තෙන්ම අපල කාලයක සිදුකරන්නකි. එහෙත් ඔහුගේ එම මෙහෙයවීමේ ප්‍රතිඵලය නිමාවට පත් වන්නේ ඉතා අනර්ඝ නිවෙසක හිමිකරු බවට පත්වීමෙනි. එම නිසා ඒරාෂ්ඨක අපල කාලයේදී නව නිවෙස් ඉදිකිරීම අපලයකි.

ඒ වාගේම ඒරාෂ්ඨකයක් තිබෙන අයකු එම කාලයේදී තෝරාගත යුත්තේ තමාට මෙසේ කරගැනීමට නොහැකි වූ දුෂ්කර කාර්යයන්, එනම්, විභාග යනාදියට සූදානම් වීම, මෙතෙක්

ඉගෙන ගැනීමට නොහැකි වූ නව විෂයයන් ඉගෙනීම ඇරැඹීම, ආගමික හා ධාර්මික කරුණු අධ්‍යනය කිරීම, පොදු සමාජ සේවා කටයුතුවල නිරතවීම, තමන් පොතක් ලිවීමට පටන් ගැනීම මේ යනාදි වශයෙන් මානසික පරිවර්තනයක් සිදුවන දෙයක යොමුවීමද ඒරාෂ්ඨක අපල සපල කරගැනීමට සුදුසු මාර්ගයක් වේ.

එහෙයින් සහජ බුද්ධියෙන් සහ ක්‍රියා ශූරත්වයෙන් යුතු පුද්ගලයාට ඕනෑම ඒරාෂ්ඨක අපලයක් තමාගේ හිතසුව පිණිස යොදාගත හැකි බව වටහාගත යුතුය.

 

 

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කේ. සී. ජේ. රත්නායක

934 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 22, අඟහරුවාදා 10:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න